ඇමෙරිකාව සහ චීනය අධිපත්‍ය පැතිරූ ටෝකියෝ ඔලිම්පික් උළෙල අවසන් වෙයි

ඇමෙරිකාව සහ චීනය අධිපත්‍ය පැතිරූ ටෝකියෝ ඔලිම්පික් උළෙල අවසන් වෙයි
Spread the love

ගෝලීය කොවිඩ් වසංගත අවදානම හමුවේ ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත් වූ 2020 ඔලිම්පික් උළෙල අද (08) අවසන් වුණා. පෙර වසරවල මෙන් දැවැන්ත ප්‍රේක්ෂක සහභාගීත්වයක් සහිතව උළෙල අවසන් නොවූවත් එහි අභිමානවත් බවට එයින් කිසිම බාධාවක් නොවූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ.

මෙවර ටෝකියෝ ඔලිම්පික් උළලේදී ද සුපුරුදු ලෙස රන් පදක්කම් 39ක්, රිදී පදක්කම් 41ක් සහ ලෝකඩ පදක්කම් 33 සමග පදක්කම් 113ක් දිනා එක්සත් ජනපදය ප්‍රථම ස්ථානය දිනා ගත්තත් චීනය ඔවුන්ට කරට කර සටනක් ලබා දුන්නා. ඒ අනුව ඇමෙරිකාවට වඩා එක් රන් පදක්කමක් පසුපසින් සිටින මහජන චීනය රන් පදක්කම් 38ක්, රිදී පදක්කම් 32ක් සහ ලෝක පදක්කම් 18ක් සමග පදක්කම් 88ක් දිනා ගෙන දෙවැනි තැනට පත් වුණා.

සත්කාරක ජපානය පදක්කම් සටහනේ තෙවැනි ස්ථානය දිනා ගත්තේ රන් පදක්කම් 27ක් ද සමග පදක්කම් 58ක් ජයග්‍රහණය කරමින්. සිවුවැනි ස්ථානය මහා බ්‍රිතාන්‍ය විසින් දිනා ගත්තේ රන් පදක්කම් 22ක් ද සමග පදක්කම් 65ක් දිනා ගනිමින්.

තහනම් උත්තේජක චෝදනාවලට දඩුවමක් වශයෙන් ඔලිම්පික් උළෙල තහනම් කර සිටින රුසියාව ‘රුසියානු ඔලිම්පික් කමිටුව‘ යන නම යටතේ තරග කර රන් පදක්කම් 20ක් සමග පදක්කම් 71ක් දිනා ගැනීම විශේෂත්වයක්. එය රුසියාව මෑත කාලයේ වාර්තා කළ ඉහළම පදක්කම් ගණන බවට පත් වුණා.

සමස්තයක් ලෙස රටවල් 63ක් එක් රන් පදක්කමක් හෝ දිනා ගෙන ඇති අතර කුමන හෝ පදක්කමක් දිනාගත් රටවල් ගණන 86ක්.

ඒ අනුව ශ්‍රී ලංකාව ද ඇතුළුව රටවල් 100කට අධික ප්‍රමාණයක් කිසිම පදක්කමක් දිනා නොගැනීම ද විශේෂත්වයක්.