මොක්කද මේ තවම රහසක් වූ අති දරුණු ඉන්දීය කොවිඩ් ප්‍රභේදය..?

මොක්කද මේ තවම රහසක් වූ අති දරුණු ඉන්දීය කොවිඩ් ප්‍රභේදය..?
Spread the love

ඉන්දියාව තුළ හඳුනාගෙන ඇති කොරෝනාවෛරස ප්‍රභේදයක් සම්බන්ධයෙන් ලොව වටා විද්‍යාඥයින් විමර්ශනයක යෙදී ඇති නමුත් එය කෙතරම්දුරට ව්‍යාප්ත වී තිබේද යන්න හෝ ඉන්දියාව තුළ මාරාන්තික දෙවෙනි රැල්ලට එය හේතුවී තිබේද යන්න මෙතෙක් නොදනී.

මොකක්ද මේ ඉන්දීය ප්‍රභේදය?

සැමවිට ම විකෘතියට පත්වන වෛරස, ඒවායෙහි විවිධ අනුවාද හෝ ප්‍රභේද නිර්මාණය කරයි.

මෙයින් බොහෝ විකෘති එතරම් සැලකිය යුතු තරම් නොවන අතර ඇතැම් විකෘති ඒවා වෛරසය හානියෙන් අඩු කරයි. එහෙත් ඇතැම් ඒවා වඩා බෝවන සුලු මෙන්ම එන්නතකින් මර්දනය කිරීම ද අසීරු වේ.

පසුගිය ඔක්තෝබරයේ දී ඉන්දියාවෙන් පළමුවරට හඳුනාගන්නා ලද මෙම ප්‍රභේදය නිල වශයෙන් හඳුන්වනුයේ B1617 ලෙසිනි.

කොතරම්දුරට පැතිරිලා ද?

මෙම වෛරස ප්‍රභේදය කෙතරම්දුරකට හෝ වේගයකින් පැතිරී තිබේද යන්න නිර්ණය කිරීමට තරම් ප්‍රමාණවත් නියැදි පරීක්ෂාවක් ඉන්දියාව පුරා ව්‍යාප්තව ක්‍රියාත්මක නොවේ.

පසුගිය ජනවාරියේ සිට මාර්තු දක්වා කාලය තුළ බටහිර ඉන්දීය මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය තුළ එක්රැස් කරන ලද නියැදි 361ක් අතරින් 220 ක මෙම ප්‍රභේදය නිරීක්ෂණය කෙරිණි.

මේ අතර GISAID ගෝලීය දත්ත පදනමට අනුව, අවම තරමින් රටවල් 21ක් තුළ එය සොයාගනු ලැබ ඇත.

එක්සත් රාජධානිය තුළට එය පැමිණ ඇත්තේ ජාත්‍යන්තර ගුවන් ගමන් හරහා බව පෙනෙන්නට තිබේ. පෙබරවාරි 22 දා සිට එසේ හඳුනාගන්නා ලද රෝගීන් සංඛ්‍යාව 103 කි.

ඉන්දියාවෙන් පිටත්වන බොහෝ සංචාරකයින් එක්සත් රාජධානියට ඇතුලුවිම මේ වනවිට තහනම් කර තිබේ.

මෙය “විමර්ශනයට ලක්ව ඇති ප්‍රභේද” කිහිපය අතරින් එකක් ලෙස එංගලන්තයේ මහජන සෞඛ්‍ය අංශය විසින් ලැයිස්තුගත කරනු ලැබුව ද “සැලකිල්ලට බඳුන්වන ප්‍රභේදයක්” ලෙස වර්ගීකරණයට තරම් බරපතල තත්ත්වයෙහි ලා මෙතෙක් නොසලකා ඇත.

People wait in queue for their turn for COVID-19 testing at a test centre in Jammu, the winter capital of Kashmir, India, 20 April 2021.
ජම්මු, කාශ්මීරය තුළ කොවිඩ් පරීක්ෂණය සඳහා පෙළගැසී සිටින ජනතාව

එය වඩා බෝවන සුලු හෝ අනතුරුදායක ද?

මෙම ප්‍රභේදය වඩා බෝවන සුලු හෝ එන්නත්වලට ප්‍රතිරෝධය දක්වන්නේදැයි යන්න විද්‍යාඥයෝ තවමත් නොදනිති.

ලුයිසියානා ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ වෛරසවේදී මහාචාර්ය ජෙරමි කාමිල් පවසන පරිදි මෙහි එක් විකෘතියක්, දකුණු අප්‍රිකාව හා බ්‍රසීලයෙන් හඳුනාගන්නා ලද ප්‍රභේදවලට සමාන වේ.

කළින් ඇතිවූ ආසාදනයක අත්දැකීම හෝ එන්නතක් පදනම්ව කොරෝනාවෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා ප්‍රතිශක්තිකරණ පද්ධතියේ හටගන්නා ප්‍රතිදේහ මගහැර යාම සඳහා මෙම ව්කෘතිය වෛරසයට උදව් දෙනවා විය හැකිය.

එහෙත් පෙනෙන්නට ඇති පරිදි මේ වනවිට වඩාත් පිඩාකාරී තත්ත්වයක් පළවන්නේ එක්සත් රාජධානියෙන් හඳුනාගෙන ඇති ප්‍රභේදයක් සම්බන්ධයෙනි. බ්‍රිතාන්‍යය තුළ මූලිකව පවතින එය රටවල් 50 ට අධික ප්‍රමාණයක පැතිර ගොස් තිබේ.

“එක්සත් රාජධානියේ ප්‍රභේදයට වඩා ඉන්දීය ප්‍රභේදය බෝවනවාදයි යන්න ගැන මට තිබෙන්නේ සැකයක්. අප කලබල නොවිය යුතුයි” මහාචාර්ය කාමිල් පැවසීය.

මේ ගැන එතරම් අවබෝධයක් නැත්තේ ඇයි?

විද්‍යාඥයින් පවසන පරිදි ඉන්දීය ප්‍රභේදය පිළිබඳ ඇති දත්ත බොහොමයක් අසම්පූර්ණය. ඒ පිළිබඳ හුවමාරු වී ඇත්තේ නියැදි ස්වල්ප ප්‍රමාණයකි. ඉන්දියාවෙන් 298 ක් සහ ලොවපුරා 656 ක් වන පරිදි එම නියැදි හුවමාරු වෙද්දී එක්සත් රාජධානි ප්‍රභේදයේ අනුක්‍රම 384,000 ට වැඩි ප්‍රමාණයක් හුවමාරු වී තිබේ.

ඉන්දියාවෙන් පළමු රෝගියා වාර්තාවීමෙන් පසු ලොව පුරා එම රෝගීන් වාර්තා වී තිබෙන්නේ 400 ට අඩු ප්‍රමාණයක් බව වෛද්‍ය කාමිල් පැවසීය.

Medical staff take nasal swabs for a Rapid Antigen Testing (RAT) test amidst rising Covid-19 coronavirus cases, in Mumbai on April 19, 2021

ඉන්දියාවේ දෙවෙනි රැල්ලට හේතු වුණා ද?

පසුගිය වසරේ උපරිම තත්ත්වයේ තිබියදී වාර්තා වූ 93,000 ක දෛනික රෝගීන් ප්‍රාමාණය අභිබවා යමින් අප්‍රේල් 15 වෙනිදා සිට ඉන්දියාව තුළ දිනකට රෝගීන් 200,000 ක් පමණ වාර්තා වේ.

මරණ සංඛ්‍යාව ද ඉහළ යමින් පවතී.

“ඉන්දියාවේ ඉහළ ජනගහනය වගේම ජන ඝනත්වය, මෙම වෛරසයට විකෘති අත්හදාබැලිය හැකි සර්ව සම්පූර්ණ පරිසරයක්” යැයි කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ සායනික ක්ෂුද්‍ර ජීවවිද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වන රවී ගුප්තා පැවසීය.

කෙසේවෙතත් විශාල ඒකරාශීවීම් මෙන්ම මුව ආවරණ නොපැළඳීම හෝ සමාජ දුරස්ථභාවය රඳවා නොගැනීම වැනි වළක්වාගැනීමේ පියවර අනුගමනය නොකිරීම ඉන්දියාවේ රෝගීන් රැල්ලට හේතු වී තිබිය හැක.

Wellcome Sanger Institute හි ආචාර්ය ජෙෆ්රි බැරට් පවසන පරිදි අලුත් ප්‍රභේදය ආශ්‍රිත හේතු ඵල සම්බන්ධයක් තිබිය හැකි වුව ද තවමත් ඊට සාක්ෂි නොමැත.

පසුගිය වසරේ අවසාන භාගයේ පමණ සිට ඉන්දීය ප්‍රභේදය පවතින බව පෙන්වා දෙන ඔහු, “ඉන්දියාවේ පවතින රැල්ලට මෙය හේතුවක් වී තිබෙනවා නම් මේ තත්ත්වයට ඒමට ඊට මාස ගණනාවක් ගතවෙලා තිබෙනවා. එයින් කියවෙන්නේ එය කෙන්ට් B117 ප්‍රභේදයට වඩා සම්ප්‍රේෂණයෙන් අඩු බවයි.” යැයි පැවසීය.

එන්නත් විසඳුමක් වේ ද?

බරපතල රෝග වැළක්වීමේදී, දැනට පවතින එන්නත් මගින් ප්‍රභේදය පාලනය කිරීමට සහයක් ලැබෙනු ඇතැයි විද්‍යාඥයෝ විශ්වාසය පළකරති.

මහාචාර්ය ගුප්තා සහ ඔහුගේ අනෙකුත් පර්යේෂකයින් විසින් ‘නේචර්’ සඟරාවේ පළකරන ලද පත්‍රිකාවකින් කියැවුණේ ඇතැම් ප්‍රභේද දැනට පවතින එන්නත් මගහරිනු ඇති බවකි. එහි ප්‍රතිඵලය වනුයේ, එන්නත් වඩා කාර්යක්ෂම කිරීම සඳහා ඒවා වෙනස්කිරීමට සිදුවීම ය.

කෙසේවෙතත්, දැනට පවතින ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙල හරහා රෝගය පැතිරීම මන්දගාමී කරනු ඇතැයි පෙනෙන්නට තිබේ.

“රෝගය වැළඳීමෙන් තොර වීම සහ මිය යාමේ අවදානම සහිතව රෝහල්ගතවීම යන දෙක අතර වෙනස ගැන අවබෝධය එන්නත මගින් බොහෝ දෙනාට ලැබේවි.” යැයි මහාචාර්ය කාමිල් කියා සිටියේය.

“කරුණාකර ඔබට ලැබෙන පළමු එන්නත ලබාගන්න. දෙපැත්තට වැනෙමින් හා සර්ව සම්පූර්ණ එන්නතක් බලාපොරොත්තුවෙන් හිඳීමේ අත්වැරැද්ද කරන්න එපා.”

Text by – bbc sandesaya