‘ඌරු ජුවා සහ කොස්ගොඩ තාරක ඝාතනය’ නීති විරෝධී බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පොලිස්පතිට කියයි

‘ඌරු ජුවා සහ කොස්ගොඩ තාරක ඝාතනය’ නීති විරෝධී බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පොලිස්පතිට කියයි
Spread the love

කොවිඩ්-19 වසංගත රැල්ල සහ සංචරණ සීමා පිළිබද ජනතාව දැඩි අවධානයක් යොමු කර සිටියදී සිදු වූ ‘කොස්ගොඩ තාරක‘ සහ ‘ඌරුජුවා‘ නම් පාතල කල්ලි සාමාජිකයින් දෙදෙනාගේ ඝාතන දෙක ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක කමිටුව දැඩිව හෙළාදැක තිබෙනවා.

‘ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක කමිටුව විසින් පොලිසියේ අත්අඩංගුවේදී සැකකරුවන් ඝාතනය කිරීම පිළිබදව නිකුත් කරන නිවේදනය‘ යනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් අද (13) දින මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.

මෙම නිවේදනය මගින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය කියන්නේ, ‘මෑතදී පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් දෙදෙනකු වන මෙලාන් මබුලා නොහොත් ‘ඌරු ජුවා‘‘ සහ තාරක පෙරේරා විජේසේකර නොහොත් ‘කොස්ගොඩ තාරක‘ ආසන්න දින දෙකක් තුළදී ඝාතන කිරීම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක කමිටුව දැඩි ලෙස හෙළාදකී. මෙම මරණවලට අධිකරණමය නොවන ඝාතනවල සියලු ලක්ෂණ ඇති අතර සිය භාරයේ සිටින පුද්ගලයින්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු‘‘ යනුවෙනි.

පුද්ගලයන්ගේ ස්වභාවය සහ ඒ ඒ පුද්ගලයින්ට එරෙහි චෝදනාවල ස්වභාවය නොසලකා තමන් භාරයේ සිටින පුද්ගලයින්ගේ ආරක්ෂාව සහතික කිරීමට පොලීසියට මෙන්ම රජයට ද අත්හළ නොහැකි වගකීමක් පැවරී ඇති බවද නීතීඥ සංගමය සිය නිවේදනය මගින් පෙන්වා දෙයි.

අත්අඩංගුවේ සිටින නිරායුධ සැකකරුවන් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා පොලීසිය අවස්ථා ගණනාවකදී අපොහොසත් වී ඇති බවත් එම සිදුවීම පිළිබඳව බැරූරුම් ලෙස අවධානය යොමු කර එවැනි සිදුවීම් වළක්වාගැනීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් සහ රජයෙන් ඉල්ලා සිටින බවත්  ශ්‍රී ලංකා නීතීඥ සංගමය සිය මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම තත්වය පිළිබඳව පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව යන ආයතනද එම ඝාතනයට පෙර දැනුවත් කර තිබූ බව ද නීතිඥ සංගමයේ නිවේදනයෙන් වැඩි දුරටත් සදහන් කර තිබේ.