එඩින්බරාහි ආදිපාදවරයා වූ ෆිලිප් කුමරු, සිය බිරිඳ වන එලිසබෙත් රැජින වෙනුවෙන් අඛණ්ඩව සහ නොසැලී දෙන ලද සහයෝගය සම්බන්ධයෙන් ලොව පුරා උපහාරයට පාත්‍ර විය.
පුළුල් විෂය දහරාවක් සම්බන්ධයෙන් ශක්තිමත් දැක්මක් සහිත, එසේම නාවික හමුදා අණදෙන නිලධාරියකු වශයෙන් කටයුතු කර ඇති පුද්ගලයකුට පමණක් නොව ඕනෑම තැනැත්තකුට එම භූමිකාව අතිශයින් දුෂ්කර වගකීමක් විය.
ඔටුන්න දරන රැජින වශයෙන් සිය බිරිඳට මුළු හදවතින් සහයෝගය දීමට සහ සිය වගකීම් සක්‍රීය ලෙස ඉටු කරනු ලැබීමට ෆිලිප් කුමරු සමත්වූයේ ද එම ශක්තිමත් චරිතය හේතුවෙනි.
කාන්තාවක් ඔටුන්න දරන වකවානුවක ඇයගේ වල්ලභයා වන පුරුෂයකුට බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පදවියක් සහතික නොකෙරෙයි.
එහෙත් රාජ්‍යත්වයට ඔහුට වඩා ලංවූ හෝ ,එසේත් නැත්නම් රාජ්‍යත්වයට ඔහු තරම් මහා වැදගත්කමක් සහිත වෙනත් කිසිවකු නොවුණි.
ෆිලිප් කුමරු (ග්‍රීසියේ පිලිප් කුමරු) 1921 ජූනි මාසයේ 10 වෙනිදා ‘කෝර්ෆු’ (Corfu) නම් ග්‍රීක දිවයිනේ උපත ලැබීය.
එවකට ග්‍රීසිය ‘ග්‍රෙගෝරියානු’ දින දර්ශනය (Gregorian Calender) අනුගමනය නොකළ හෙයින් ඔහුගේ උප්පැන්න සහතිකයේ උපන් දිනය හැටියට සටහන් කරනු ලැබ තිබෙන්නේ 1921 මැයි 21 දිනයයි.
ග්‍රීසියේ පළමු ජෝර්ජ් රජුගේ බාල පුතෙකු වූ ඇන්ඩෘ කුමරු ඔහුගේ පියා වන අතර මව ‘බැටන්බර්ග්හි’ ඇලිස් කුමරිය වූවාය. ඇලිස් කුමරිය ‘බැටන්බර්ග්හි’ ලුවිස් කුමරාගේ වැඩිමහල් දියණිය වන අතර බුරුමයේ ‘අර්ල් මවුන්ට්බැට්න්’ ආදිපාදවරයා ඇයගේ සහෝදරයා විය.
1922 කුමන්ත්රණයෙන් අනතුරුව පිහිටුවන ලද විප්ලවීය උසාවියක් විසින් ෆිලිප් කුමරුගේ පියා, ඇන්ඩෘ කුමරු, ග්‍රීසියෙන් පිටුවහල් කරන ලදි.
ඒ සමග ඔහුගේ දෙවැනි ඥාති සහෝදරයා වූ බ්‍රිතාන්‍යයේ පස්වෙනි ජෝර්ජ් රජතුමා විසින් යවන ලද බ්‍රිතාන්‍ය යුද නැවකින් ඇන්ඩෘ කුමරාගේ දරු පවුල ප්‍රංශයට ගෙන එනු ලැබුණි.
ළදරු ෆිලිප් කුමරා එම මුහුදු ගමනේ වැඩි හරියක් ගතකර ඇත්තේ දොඩම් ඇසිරීමට යොදා ගත් පෙට්ටියකින් තනා තිබුණ කුඩා තොටිල්ලකය.
සහෝදරියන් කීප දෙනකු සහිත පවුලක එකම සහ බාලම පිරිමි දරුවා වූ ෆිලිප්ගේ ළමා කාලය ආදරය පිරුණ තැනකි.
ඔහු අධ්‍යාපනය ආරම්භ කළේ ප්රංශයෙනි. එහෙත් වයස අවුරුදු හතේ දී සිය ‘මවුන්ට්බැටන්’ නෑදෑයන් සමඟ ජීවත් වීම සඳහා එංගලන්තයට පැමිණි ෆිලිප් කුමරු ‘සරේ’ ප්‍රදේශයේ ප්‍රාථමික පාසලකට ඇතුළත් කෙරිණ.
එහෙත් එම අවධියේ ඔහුගේ මව, ඇලිස් කුමරිය භින්නෝන්මාදයෙන් (schizophrenia) පෙළෙන බව වෛද්‍යවරුන් විසින් නිගමනය කරනු ලැබීමෙන් ඇය මානසික රෝහලකට ඇතුළත් කරනු ලැබුණි.
එවැනි වාතාවරණයක් යටතේ ළදරු ෆිලිප් කුමරාට සිය මෑණියන් සමග පැවැත්වීමට සිදුව ඇත්තේ අල්ප සම්බන්ධතාවයකි.
මේ අතර 1933 වසරේ ෆිලිප් කුමරු ජර්මනියට යවනු ලැබීය.
එවැනි පියවරක් ගනු ලැබ තිබෙන්නේ කර්ට් හහ්න් (Kurt Hahn) නම් අධ්‍යාපන පුරෝගාමියකු විසින් පවත්වා ගෙනයන ලද දකුණු ජර්මනියේ Schule Scholss Salem පාසලට ඇතුළත් කිරීම සඳහාය.
එහෙත් මාස කිහිපයක් ඇතුළත යුදෙව් ජාතිකයකු වූ කර්ට් හහ්න්ට (Kurt Hahn) නාසි හිංසනය නිසා ජර්මනියෙන් පළා යාමට සිදු විය.
යුද වාර්තාවලට
ජර්මනියෙන් පළාගොස් ස්කොට්ලන්තයට සේන්දු වූ කර්ට් හහ්න් එහි ‘Gordonstoun’ නමින් පාසලක් පිහිට වූ අතර, ෆිලිප් කුමරාටත් අධ්‍යාපන වාර දෙකකට සීමා වූ සිය ජර්මන් ජීවිතයට සමු දෙමින් එම පාසල කරා පැමිණීමට සිදු විය.
“තමා තමන් මත රැඳිය යුතුය” යන්න තේමාව කරගත් ‘Gordonstoun’ පාසල් අධිකාරිය සහ එහි පරිසරය දෙමව්පියන්ගෙන් වෙන් වීමෙන් අනතුරුව ‘තමාට තමාමය’ යන හැඟීමේ එල්බ සිටි යොවුන් ෆිලිප් කුමරාට ඔබින කදිම පරිසරයක් විය.
තරුණ ෆිලිප් කුමරු යුද හමුදාව දෙසට යොමු වෙන්නේ දෙවැනි ලෝක මහා සංග්‍රාමය කෙමෙන් දිග හැරීමත් සමඟය.
ෆිලිප් කුමරුන්ගේ ආරම්භක ඉලක්කය බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව වූ නමුත්, සිය මව් පාර්ශ්වය නාවික හමුදා අංශයට සමීප සම්ප්රදායක් සහිත වූවන් හෙයින් ඔහුත් නාවික හමුදාව තෝරා ගැනීමට තීන්දු කළ අතර ඔහු ‘ඩාර්ට්මත්’ (Dartmouth) නාවික හමුදා පාසලේ කැඩේට් නිලධාරියකු බවට පත්විය.
එවකට බ්‍රිතාන්‍ය අධිරාජයා වූ හයවැනි ජෝර්ජ් රජතුමා සිය බිසව සහ දියණියන් වන එලිසබෙත් සහ මාග්‍රට් සමඟ ‘ඩාර්ට්මත්’ නාවික හමුදා පාසලේ සංචාරයක නිරත වූ අතර යොවුන් කුමරියන් දෙදෙනාගේ පරිවාර නිලධාරියා හැටියට කටයුතු කිරීම කැඩේට් නිලධාරී පිලිප් කුමරා වෙත පැවරුණි.
‘ඩාර්ට්මත්’ නාවික හමුදා පාසලේ එදා සිටි පුද්ගලයන් පවසන ආකාරයට, ෆිලිප් කුමරුන් තුළ දැඩි බැඳීමක් ප්‍රදර්ශනය නොවුනත් එවකට දහතුන් වෙනි වියේ පසු වූ එලිසබෙත් කුමරියට එම හමුව ඉතා ගැඹුරු ආශ්වාදයක් වුණි.
ඉතා කෙටි කාලයක් ඇතුළත සිය අනාගත අපේක්ෂාවන් තහවුරු කරමින් 1940 ජනවාරි මාසයේ Dartmouth නාවික හමුදා පාසලේ සිය පන්තියේ පළමුවෙනියා බවට පත්වෙමින් සමත් වූ පිලිප් කුමරු පළමු වරට සක්‍රීය යුද සේවයට එක්වීම සඳහා ඉන්දීය සාගරයේ යුද කටයුතු කෙරෙහි අවධානය යොමු කළේය.
මධ්‍යධරණී සාගර නාවික බලකායට අයත් ‘HMS වැලියන්ට්’ ( HMS Valiant) යුද නැවෙහි සේවය සඳහා ඔහු යවනු ලැබුණි.
1941 ‘කේප් මැටපන්’ (Battle of Cape Matapan) සටනේ දී ෆිලිප් කුමරුගෙන් ලද දායකත්වය යුද පණිවුඩවලට පවා ඇතුළත්ව ඇත.
‘HMS වැලියන්ට්’ (HMS Valiant) යුද නැවේ පිරික්සුම් ආලෝක දහරා අංශයේ ප්‍රධානියා හැටියට රාත්‍රි කාලයේ තීරණාත්මක යුද මෙහෙයුම්වල දී ඔහුගේ කාර්යභාරය අතිශයින් වැදගත් විය.
“වෙනත් නැවක් මගේ දර්ශන පථයට හසු වුණා. එම නැවේ මැද කොටස ආලෝකවත් වුනා. ප්‍රහාරයක් එල්ල කළ හැකි මට්ටමේ තිබුණ එම නැවට ෂෙල් වෙඩි මුරයක් එල්ල කිරීමත් සමග හිටි හැටියේම එය තිබුණ තැනින් අතුරුදහන් වුණා.”
1942 ඔක්තෝබර් මාසය වනවිට ෆිලිප් කුමරු බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ වයසින් අඩු පළමු ලුතිනන්වරුන් කිහිප දෙනාගෙන් එක් නිලධාරියෙකි.
එවකට ඔහු සේවය කරන ලද්දේ ‘HMS වොලස්’ (HMS Wallace) ප්‍රහාරක නෞකාවේය.
විවාහ ගිවිස ගැනීම
එම කාලසීමාව තුළ යොවුන් එලිසබෙත් කුමරිය සහ ෆිලිප් කුමරා අතර ආදර හසුන් හුවමාරු වෙමින් පැවති අතර ඔහුට අවස්ථා කීපයක්ම රජ පවුල සමග ගත කිරීමට ඇරයුම් ලැබුණි.
1943 නත්තල් සමයේ සිදු වූ එවැනි හමුවකින් අනතුරුව එලිසබෙත් කුමරිය නාවික හමුදා නිල ඇඳුමින් සැරසුණ ෆිලිප් කුමරාගේ ඡායාරූපයක් සිය කණ්ණාඩි මේසය මත තැබුවාය.
රජ පවුලට සම්බන්ධ ඉහළ සමාජයේ ඇතැමුන් අකමැත්ත පළ කරන ලද නමුත් ඔවුන් දෙදෙනා අතර සම්බන්ධය ගැටුමකින් තොරව පෙරට යමින් තිබුණි. ඉහළ සමාජයේ එක් තැනැත්තෙක් ෆිලිප් කුමරු හඳුන්වා දී තිබුණේ “දැඩි එසේම ආචාර ධර්ම අතින් දුර්වල” චරිතයක් ලෙසය.
එවැනි විරෝධතා පළ වෙමින් තිබුණත් යොවුන් කුමරිය මුළු හදවතින්ම සිය පෙම්වතා සමඟ ආදරයෙන් බැඳී සිටි අතර, ඔහු 1946 ගිම්හානයේ දිනක හයවැනි ජෝර්ජ් රජු හමුවේ රාජකීය දියණිය විවාහ කර ගැනීමේ අවසරය පැතුවේය.
කෙසේ වෙතත්, විවාහ ගිවිස ගැනීම ප්‍රකාශයට පත් කරනු ලැබීමට පෙර ෆිලිප් කුමරා අලුත් රටක පුරවැසිභාවය මෙන්ම අලුත් වාසගමක් ද ලබා ගැනීම අත්‍යවශ්‍ය පියවරක් විය.
ඒ අනුව ඔහු උපතින් ලද ‘ග්‍රීක්’ නිල කුමර නාමය අත්හැර බ්‍රිතාන්‍ය පුරවැසි භාවය ලබා ගනිමින් මව් පාර්ශ්වයේ ඇන්ග්ලිකානු “මවුන්ට්බැට්න්” නාමය සිය වාසගම කර ගත්තේය.
සිය දියණියගේ විවාහ දිනයට දිනක් තිබියදී හයවැනි ජෝර්ජ් රජු ‘His Royal Highness’ නම්බුනාමය ෆිලිප් කුමරා වෙත පිරිනැමීය.
විවාහ දින උදෑසන රජතුමා සිය අනාගත බෑණනුවන්ට එඩින්බ්‍රාහි ආදිපාද පදවිය සහ මෙරියනෙත් (Merioneth) ‘අර්ල්’ පදවිය මෙන්ම ‘ග්‍රිනිච් බැරන්’ පදවියත් පිරිනමන ලදී.
රාජකීය විවාහය 1947 නොවැම්බර් මාසයේ 20 දින වෙස්ට්මිනිස්ටර් ඇබී දේවස්ථානයේ දී සිදු කරනු ලැබුණි.
වින්ස්ටන් චර්චිල් සඳහන් කළ පරිදි එම විවාහ මංගල උත්සවය මගින් පශ්චාත් යුද කාලීන බ්‍රිතාන්‍යය වර්ණවත් කෙරිණ.
යුද සේවයට විරාමයක්
විවාහයෙන් අනතුරුව ෆිලිප් කුමරු යළි නාවික හමුදා සේවයට වාර්තා කළ අතර කෙටි කලකට ඔහු මෝල්ටාවට යවනු ලැබුණි.
එම කාලය තුළ වෙනත් හමුදා පවුල්වලට මෙන් නව රාජකීය යුවළටත් සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකි විය.
ඔවුන්ගේ පුත් චාල්ස් කුමරු 1948 දී බකිංහැම් මාළිගයේ දී උපත ලද අතර දියණිය ‘ඈන්’ කුමරිය 1950 දී පවුලට එක් වූවාය.
‘HMS මැග්පී’ (MHS Magpie) නාවික සේනාංකයේ අණදෙන නිලධාරියා ලෙස ඔහු පත් කරන ලද අවස්ථාවේ ඕනෑම නාවික නිලධාරියකු තුළ රජයන සිහිනය සැබෑ කර ගැනීමට 1950 සැප්තැම්බර් මාසයේ 02 දා ෆිලිප් කුමරු සමත් විය.
එහෙත් ඒ සමඟම ඔහුගේ නාවික හමුදා දිවියේ අවසන් අදියරත් ලඟාවෙමින් තිබුණි.
හයවැනි ජෝර්ජ් රජුගේ රෝගී තත්වය උත්සන්න වෙත්ම එලිසබෙත් කුමරියට දියණිය හැටියට සිය පිය රජුගේ කාර්යභාරයට උර දීමට සිදු වීමත් සමඟ ඇයගේ සැමියාට සිය බිරිඳ අසල ගත කිරීමට සිදු විය.
ෆිලිප් කුමරු 1951 වසරේ නාවික හමුදා දිවියට විරාමයක් තැබුවේය. අනතුරුව ඔහු කිසිදාක නාවික හමුදා සේවයට වාර්තා නොකළේය.
ෆිලිප්, එඩින්බරාහි ආදිපාදවරයා කණස්සල්ල සිතෙහි ගුලිකර සිටින චරිතයක් නොවන නමුත් සිය නාවික හමුදා ජීවිතය පෙරට ගෙන යාමට අවස්ථාව නොලැබීම සම්බන්ධයෙන් පසු කාලයේ සිය කනගාටුව ප්‍රකාශයට පත් කර ඇත.
ඔහුගේ දක්ෂතා අනුව ෆිලිප් කුමරාට නාවික හමුදාවේ ඉහළම පදවියට (First Sea Lord) ගමන් ගැනීමේ අවස්ථාව තිබුණ බව සමකාලීන නාවික නිලධාරීහු පවසති.
1952 වසරේ දී හයවෙනි ජෝර්ජ් රජු සහ බිසව වෙනුවෙන් සංවිධානය කර තිබුණ පොදු රාජ්‍ය මණ්ඩලීය චාරිකාවක් සඳහා සහභාගි වීමට සිදු වුණේ නව රාජකීය යුවළටය.
සිතුවිලි වෙනසක්
1952 පෙබරවාරි මාසයේ හයවැනි ජෝර්ජ් රජුගේ අභාවය රාජකීය යුවළට දැන ගන්නට ලැබුනේ ඔවුන් කෙන්යාවේ වන අරණක නවාතැන්පොළක ගත කරමින් සිටින අතරය.
මාරක ලේ කැටියක් (thrombosis) නිසා හටගත් හෘදයාබාධයක් රජුගේ අභාවයට හේතු විය.
පිය රජුගේ අභාවයත් සමඟ බ්‍රිතාන්‍ය රැජින බවට පත්ව සිටි සිය බිරිඳට එම ශෝකජනක පණිවුඩය දැනුම් දීමට සිදුවූයේ ෆිලිප් කුමරාටය.
“ඒ මොහොතේ ෆිලිප් තුළ දක්නට ලැබුණේ ලෝකයෙන් භාගයක්ම ඔහු මත කඩා වැටුණ වගේ ස්වභාවයක්” ඔහුගේ මිතුරෙක් පසු කාලයෙහි විස්තර කළේය.
නාවික හමුදාවේ කාර්යභාරයෙන් ඉවත් වුණත් ඔහුට ඔහු විසින්ම නිර්මාණය කරගත යුතු නව භූමිකාවක් විය.
එය කුමක් විය යුතුද? යන සමස්ත ප්රශ්නය පෙරට ආවේ එලිසබෙත් කුමරිය බ්‍රිතාන්‍ය රැජිණිය ලෙස ඔටුනු පැළඳීමත් සමඟය.
එම මෞලි මංගලෝත්සවය ලංවෙද්දී නිකුත් කෙරුණ රාජකීය ආඥාවක් මගින්, රැජින සහභාගි වෙන සියලු අවස්ථාවන්හි ඇය පසුපස ගමන් ගනු ලබන සෙස්සන් අතර ඉදිරි ස්ථානය ෆිලිප් කුමරාට හිමිවිය යුතු බව ප්‍රකාශයට පත් කරනු ලැබුණි.
එහෙත් ඔහුට ව්‍යවස්ථානුකූලව කිසිදු පදවියක් හිමි නොවීය.
රාජ්‍යත්වය නවීකරණයට සහ කාර්යක්ෂම සංවිධිත මට්ටමකට ගෙන එනු ලබන්නේ කෙසේද? යන්න සම්බන්ධයෙන් ෆිලිප් කුමරුන් තුළ අදහස් ගොන්නක් වූයේ නමුත් මාළිගයේ පැරණි පරිපාලකයන් ගණනාවක් කෙරෙන් එල්ල වූ වෙනස් කළ නොහැකි විරෝධය හමුවේ ඔහු එකල දිනෙන් දින කලකිරුණ තත්වයකට පත්ව සිටියේය.
අමිහිරි ගැටුමක්
ෆිලිප් කුමරු ඔහු සතු ශක්තිය සක්‍රීය සමාජ ජීවිතය වෙනුවෙන් ද යොමු කළ තැනැත්තෙකි.
ඔහු සහ ඔහුගේ මිතුරු පුරුෂයන් කණ්ඩායමක් ලන්ඩන් නගර මධ්‍යයේ සුප්‍රකට ‘සෝහෝ’ (Soho) කලාපයේ පිහිටි ආපන ශාලාවක ඉහළ මහලේ කාමරවල සතිපතා හමුවූහ.
ඒවා ප්‍රණීත දිවා ආහාර වේල් සහ රාත්‍රී සමාජ ශාලා සංචාර දක්වා විහිදුණ අතර සමාගම් ප්‍රිය සිය මිතුරු කැල සමග පින්තූරවලට පෙනී සිටීමට නිතරම මෙන් ෆිලිප් කුමරාට සිදු වුණි.
සිය දරුවන්ට තමාට උරුම පරම්පරා නාමය තැබීමට ඔහු ගෙන ගිය අරගලයෙන් ආදිපාදවරයා පරාජය වූයේ නමුත්, තවත් අතකින් පවුල තුළ සිය බල අධිකාරිය නිදහසේ පවත්වා ගෙන යාමට ඔහුට අවකාශ ලැබී තිබුණි.
සිය සැමියා වන ෆිලිප් ආදිපාදවරයාගේ ‘මවුන්ට්බැට්න්’ (Mountbatten) වාසගම නොව දරුවන්ට උරුම විය යුත්තේ ‘වින්ඩ්සර්’ (Windsor) යන සිය වාසගම යයි රැජින විසින් තීන්දු කරනු ලැබීම ආදිපාදවරයාට එල්ල වූ දැඩි පහරක් විය.
“තමාගේම දරුවන්ට තම වාසගම දායාද කළ නොහැකි වූ මේ රටේ ජීවත්වෙන එකම මිනිසා මමයි,” ආදිපාදවරයා සිය මිතුරන් සමඟ සඳහන් කළේය.
“මම කිසිම වැදගත් කමක් නැති කාලකන්ණි ඇමීබාවෙක් විතරයි.”
පියෙක් හැටියට ෆිලිප් කුමරු රළු සහ අසංවේදී චරිතයක් වූ බව පෙනී යයි.
සිය පියා විසින් ප්‍රසිද්ධියේ සිදු කරන ලද තරවටු කිරීම් නිසා තමා යොවුන් වියේ දී කඳුළු සලා ඇති බව චාර්ල්ස් කුමරු ප්‍රකාශ කළ බව ඔහුගේ චරිතාපදානයේ කතුවරයා වන ජොනතන් ඩිම්බල්බි (Jonathan Dimbleby) පවසයි.
පියා සහ වැඩිමහල් පුත්‍රයා අතර සම්බන්ධය පහසු එකක් නොවූ බව ද ජොනතන් ඩිම්බල්බි වැඩිදුරටත් සඳහන් කරයි.
චරිත ශක්තිය
වැඩිමහල් පුත් චාර්ල්ස් කුමරුන් ද තමා අධ්‍යාපනය ලද සිය පැරණි ගෝර්ඩන්ස්ටන් (Gordonstoun) පාසලට යා යුතු බවට ෆිලිප් කුමරු බල කළ අතර ඊට හේතු වුණේ සිය පුත්‍රයා තුළ දක්නට වූ එක්තරා ආකාරයක හුදෙකලා ගතිය වෙනස් කිරීමට පාසල් පරිපාලනය ආධාරයක් වේය යන ඔහු තුළ වූ විශ්වාසයයි.
එහෙත් නිවස මතක් වීම සහ නිතරම වෙනත් සිසුන්ගේ ඉලක්කයක් වෙමින් හිරිහැර ආදියට ගොදුරු වීම නිසා චාල්ස් කුමරු එම පාසලට වෛර කළේය.
ආදිපාදවරයාගේ ආකල්ප මගින් පිළිබිඹු කෙරුණේ ඇතැම්විට හුදෙකලාව ගත කිරීමට පවා සිදු වූ ළමා කාලයක් සහිත ඔහුගේම ජීවිතයේ දුෂ්කර ස්වභාවයයි.
මුල් අවධියේ පටන්ම ස්වයං පැවැත්මක් සහිතව සිය ජීවිතය ගොඩ නගා ගැනීමට ෆිලිප් කුමරුන්ට සිදු වූ අතර, ඒ සඳහා ඔහු සතුව පැවති ශක්තිය එක සමානව හැම කෙනෙකුම සතු නොවන බව වටහා ගැනීම ඔහුට දුෂ්කර කරුණක් විය.
ආදිපාදවරයාගේ අවධානයට ලක් වූ එක් ප්‍රධාන දිශාවක් වුණේ යොවුන් දරුවන්ගේ ශුභසාධනයයි.
ඔහුගේ එම අභිලාෂය මල්පල ගන්වමින් 1956 දී ‘එඩින්බරා ආදිපාද සම්මාන’ වැඩ පිළිවෙළ ආරම්භ කළ අතර විස්මය දනවන සුළු මට්ටමින් එය අතිසාර්ථක සමාජ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වෙමින් පවතී.
සාමූහික සමාජමය ක්‍රියාකාරිත්වය නංවාලීම, මූලාශ්රමය දැනුම ලබා ගැනීම කෙරෙහි යොමු කිරීම සහ ස්වභාව ධර්මයට ගරු කිරීම යන ඉලක්ක මත සැලසුම් කොට ඇති ‘එඩින්බරා ආදිපාද සම්මාන’ වැඩ පිළිවෙළ යටතේ ලොව පුරා වයස අවුරුදු 15-25 අතර සාමාන්‍ය මෙන්ම ආබාධිත ළමුන් ද ඇතුළුව හැට ලක්ෂයක් පමණ යොවුන් වියේ පසු වෙන්නන් පසුගිය කාලය තුළ පාසලෙන් බැහැර ක්‍රියාකාරකම් සඳහා සහභාගී කර ගනු ලැබ ඇත.
“යොවුන් දරු දැරියන් ඕනෑම ක්ෂේත්රයක ක්‍රියාකාරකම් වලට සාර්ථකව සහභාගී කර ගන්න පුළුවන් නම්, එම සාර්ථකභාවයේ සංජානනය තවත් විශාල පිරිසක් වෙත පැතිර යනවා,” ආදිපාදවරයා බීබීසිය සමඟ සාකච්ඡාවක දී සඳහන් කළේය.
ෆිලිප් කුමරු තමාගේ නිල නාමයෙන් පෙරට යමින් ඇති ‘එඩින්බරා ආදිපාද සම්මාන’ වැඩ පිළිවෙළ සඳහා තම කාලයෙන් වැඩි කොටසක් කැප කරන අතර එම සංවිධානයේ විවිධ උත්සවවලට මෙන්ම දෛනික මට්ටමින් එහි කටයුතු වලට පෞද්ගලික මට්ටමින් තමාම සහභාගි වෙමින් එය පණ ගැන්වීමට දායක විය.
සදාචාරමය යහපත් දැක්ම
1961 වසරේ ඉන්දියාවේ සිදු කරන ලද සංචාරයක් අතරවාරයේ ව්යාඝ්රයකුට වෙඩි තබනු ලැබීම නිසා මහා විරෝධයකට මුහුණ දුන් නමුත්, එඩින්බරා ආදිපාදවරයා පරිසරය සහ වනසතුන් රැක ගැනීම සම්බන්ධයෙන් ද මහත් උනන්දුවෙන් උපදේශාත්මක කාර්යභාරයක් ඉටු කළේය.
ව්‍යාඝ්‍රයා ජය සංකේතයක් හැටියට දැක්වෙන පිංතූරයක් ප්රචාරයට පත්වීමෙන් තත්වය ඉතා නරක අතට හැරී තිබුණි.
කෙසේවුවද, ආදිපාදවරයා සිය ශක්තිය සහ බලපෑම සැලකිය යුතු මට්ටමින් ලෝක වන සත්ව අරමුදල (WWF) වෙනුවෙන් යෙදවීය.
පසු කාලයෙහි ‘සොබා දහම සඳහා ජගත් අරමුදල’ යනුවෙන් නම් කෙරුණ එම සංවිධානයේ පළමු සභාපති පදවිය ඔහුට පිරිනමනු ලැබුණි.
“අන්‍යෝන්‍ය පැවැත්මක් සහිත මෙවැනි ජෛව විවිධත්වයක් අපි වාසය කරන පෘථිවියේ පැවැත්ම ඉතාම සිත් ගන්නා සුළු දෙයක්ය කියල මම හිතනවා,” ආදිපාදවරයා බීබීසියට ප්‍රකාශ කළේය.
“මිනිසුන් හැටියට ජීවිතය නැත්නම් මරණය – එසේත් නැත්නම් වඳ වීම හෝ පැවැත්ම සඳහා අපට බලයක් ඇත්නම් අපි එය භාවිත කළ යුතු වන්නේ එක්තරා ආකාරයක සදාචාරමය සංජානනයක් සමග යයි කියල මම හිතනවා. අපි අපේ වඳ වීමට අකැමැති තත්වයක් තුළ වෙනත් දෙයක් වඳ කරන්නේ ඇයි?”
ඔහු එසේ පවසන අතරවාරයේ වලි කුකුළු වර්ගයක් වන ‘Grouse’ පක්ෂීන් දඩයම යුක්ති සහගත කරනු ලැබීම ඇතැම් පරිසරවාදීන් වික්ෂිප්ත කිරීමට හේතු විය.
“ඔබ ක්‍රීඩාවක් කරනවා නම්, ඔබ හරියටම ගොවියෙක් කරනවා වගේ එය ඊලඟ අවුරුද්ද සඳහාත් පවත්වා ගන්න ඕන. ඔබ එය බෝ කරන්න ඕන. වඳ කරන්න නරකයි.”
කෙලින් කතා කිරීම
ඉහත කී ආකාරයේ මතභේදාත්මක අවස්ථා මතු වුනත්, ලෝකයේ වනාන්තර සංරක්ෂණය සඳහා කැපවීම සහ විනාශකාරී මත්ස්‍ය දඩයමට එරෙහිව ගෙන ගිය මතවාදය වෙනුවෙන් ආදිපාදවරයා ලොවෙන් බුහුමන් ලැබීය.
දැනට ‘Work Foundation’ යනුවෙන් හැඳින්වෙන කාර්මික සමාජයේ භාරකරු හැටියට කටයුතු කිරීමෙන් සහ කර්මාන්ත ශාලාවන්හි සංචාරය කිරීම මගින් ඔහු කර්මාන්ත අංශය කෙරෙහි ඔහු තුළ පැවති උනන්දුව ප්‍රදර්ශනය කළේය.
ආදිපාදවරයාගේ කෙළින් කතා කිරීමේ ගුණාංගය ඇතැමුන් විසින් අර්ථකථනය කරනු ලැබ තිබෙන්නේ ‘නොසැබියාවක්’ හැටියටය.
එවැනි ප්‍රකාශන නිසා ඇතැම් අවස්ථාවන්හි ඔහු දුෂ්කර තත්වයන්ට පවා මුහුණ දී ඇත.
විශේෂයෙන්ම ආදිපාදවරයා තත්වය වරදවා තක්සේරු කිරීම් සම්බන්ධයෙන් ‘කීර්තියක්’ ලැබ ඇත්තේ විදේශ සංචාරයන්හි දී කරන ලද ප්‍රකාශන සමඟය.
1986 වසරේ රැජින සමඟ චීනයේ නිරත වූ සංචාරය අතරවාරයේ ඔහු කාගේත් විනෝදයට හේතු වූ ප්‍රකාශයක් කර තිබුණි.
“දිග හීන් ඇස්” ගැන ආදිපාදවරයා එම ප්‍රකාශය කර තිබුණේ තමාට සිතෙන දෙයක් පිළිබඳ පෞද්ගලික අදහස් පළකිරීමක් හැටියටය.
එම ප්‍රකාශය චීනය තුළ අවුලක් නිර්මාණය නොකළත් ‘ටැබ්ලොයිඩ්’ පුවත්පත්වලට එය සමාජමය කැළඹීමක් ඇති කළහැකි විශාල මාතෘකාවක් වුණි.
2002 වසරේ ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වූ එඩින්බරාහි ආදිපාදවරයා එරට මුල් පදිංචිකරුවන් වන ‘ඇබෝරිජීන්’ ව්‍යාපාරිකයන් හමු වූ අවස්ථාවක මෙවැනි විමසීමක් කළේය.
“නුඹලා තවමත් එකිනෙකාට හෙල්ල විසි කර ගනිමින් සිටිනවා.”
ගැටුම්කාරී තත්වයන්
ඉහත සඳහන් කරන ලද ආකාරයේ ප්‍රකාශන නිසා ආදිපාදවරයා ඇතැම් කොටස්වල දැඩි දෝෂ දර්ශනයට ලක් වෙන අතරවාරයේ අනිත් අතින් තවත් කොටසක් දේශපාලන නිර්දෝෂීභාවය මගින් හණමිටිකාරයකු බවට පත්වීම බැහැර කරනු ලැබීමෙන් මතු වූ ඔහු තුළ වූ මිනිසා දුටුවෝය.
සැබවින්ම, ඔහුගේ ඇතැම් ප්‍රකාශන බොහෝ දෙනකු විසින් දකින ලද්දේ, සිතට සහනයක් ලබා දීමට සහ තමා සමග ගත කරන පුද්ගලයන් අතර සතුටක් ජනනය කිරීමට කියන ලද දෙයක් මිස ඊට වඩා වැඩි දෙයක් නැති “ප්‍රමාද දෝෂයෙන්” කියවුන වචන හැටියටය.
සිය මුළු මහත් ජීවිත කාලය පුරාම පිලිප් කුමරු ක්‍රීඩාව කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වීය.
ඔහු ඔරු පැද්දේය. ක්‍රිකට් ක්‍රීඩා කළේය. පෝලෝ ක්‍රීඩාවේ නිරත වුණේය. අස් රිය පැදවීමේ ශූරයකු ද විය. අශ්වාරෝහකයන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ සභාපති පදවියේ ඔහු වසර ගණනාවක්ම කටයුතු කළේය.
ආදිපාදවරයා සහ ඔහුගේ වැඩිමහල් පුත්‍රයා අතර පැවති ගැටුම ලෝකයට හෙළිදරව් වුණේ ජොනතන් ඩිම්බල්බි (Jonathan Dimbleby) විසින් රචනා කරන ලද ‘චාල්ස් කුමර චරිතාපදානය’ දොරට වැඩීමත් සමගය.
එහි දැක්වෙන ආකාරයට ඩයනා කුමරිය විවාහ කර ගන්නා ලෙස චාල්ස් කුමරුන්ට බල කරනු ලැබ ඇත්තේ ඔහුගේ පියා වන ආදිපාදවරයා විසිනි.
එහෙත් සිය දරුවන්ගේ විවාහ කැඩී ඉහිරී ඔවුන්ගේ පවුල් විසිර යමින් පැවති අවුරුදුවල එඩින්බරාහි ආදිපාදවරයා, බොහෝ විවේචකයන් විසින් දැක තිබුණ මට්ටමට වඩා ඔහුගේ දරුවන්ගේ පවුල් සම්බන්ධයෙන් දැඩි අවධානයකින් කටයුතු කර ඇත.
රජ පවුලෙන් විවාහයක් කර ගැනීම තුළින් තමා මුහුණ දුන් දුෂ්කරතා පිළිබඳ ස්වීය මතකයන් විසින් සමහර විට ඇති කෙරුණ උත්තේජනය විසින් ආදිපාදවරයා එම ප්‍රශ්න තේරුම් ගැනීමේ ප්රයත්නයක ගැලී සිටියේය.
වන්දනා ගමනක්
එඩින්බරාහි ආදිපාදවරයා තම දරුවන් හතර දෙනාගෙන් තුන් දෙනකුගේම-වැඩිමහල් චාර්ල්ස් කුමරු, දියණිය ඈන් කුමරිය සහ දෙවන පුත් ඇන්ඩෘ කුමරු- විවාහ ජීවිත අසාර්ථක භාවයෙන් කඩා වැටීම සම්බන්ධයෙන් බලවත් කනස්සල්ලට පත් විය.
එහෙත් එවැනි පෞද්ගලික කාරණා ගැන ප්‍රසිද්ධියේ කතා කිරීම ප්‍රතික්ෂේප කළ ආදිපාදවරයා “තමා එවැනි කරුණු පිළිබඳව ඉන් පෙර කතා නොකළා සේම ඉදිරි කාලයේදීත් එම පිළිවෙතේම රැඳී සිටින,” බව 1994 වසරේ පුවත්පතකට ප්‍රකාශ කර ඇත.
ඊළඟ අවුරුදුවල ආදිපාදවරයාගේ ජීවිතයේ මුහුණුවර තුළින් පෙන්නුම් කෙරෙන්නේ එක්තරා ආකාරයක අමිහිරි ස්වභාවයකි.
එය ඔහු වැඩි වශයෙන් විදේශ සංචාරයන්හි නිරත වූ කාල පරිච්ඡේදයකි.
සොබා දහම සඳහා වූ ලෝක වන සත්ව අරමුදලේ කටයුතු සඳහා මෙන්ම රැජින සමග සිදු කරන ලද විදේශ සංචාර ඊට ඇතුලත් විය.
ආදිපාදවරයා 1994 වසරේ ජෙරුසලමේ සංචාරයක නිරත විය.
එහි අරමුණ සිය මවගේ අපේක්ෂාව අනුව ඇය මිහිදන් කෙරුණ සොහොන් කොත කරා යාමය.
1995 වසරේ උදා වූ යුද විරු පනස්වැනි සංවත්සරය (VJ Day) ඔහුගේ ජීවිතයේ තවත් සංවේදී දිනයකි. දෙවන ලෝක මහා සංග්‍රාමයේ නිමාව සටහන් කරමින් ජපානය සිය යටත් භාවය ප්‍රකාශයට පත් කරන ලද මොහොතේ පිලිප් කුමරු ‘තෝකියෝ’ බොක්කේ බ්‍රිතාන්‍ය ප්‍රහාරක නෞකාවක යුද සේවයේ නිරතව සිටියේය.
දෙවන ලෝක මහා සංග්‍රාමය ජයග්‍රහණය කිරීමේ පනස් වෙනි සංවත්සරය නිමිත්තෙන් ලන්ඩන් නගර මධ්‍යයේ (The Mall) පැවැත්වුන ආචාර පෙළපාලිය පිළිගනිමින් එලිසබෙත් රැජින බලා සිටියදී පිලිප් කුමරු ඈත පෙරදිග යුද මෙහෙයට සහභාගි වූ සිය යුද විරු සගයන් සමඟ එක්ව එහි ගමන් ගත්තේය.
හිතෛෂී ස්වරයක්
යටත් වූ ජපානයේ යුද සිරකරුවන් සම්බන්ධයෙන් ෆිලිප් කුමරුන්ගේ දයාව පළ විය. ඔවුන්ට සිදු කළ දේ ගැන සමාව දිය නොහැකි බව ඔහුගේ මතය විය.
ඩයනා වේල්ස්හි කුමරියගේ අභාවයත් සමඟ රජ පවුල සම්බන්ධයෙන් මතු වෙමින් පැවති එදිරිවාදී මහජන ආකල්ප හමුවේ එඩින්බරාහි ආදිපාදවරයා තුළ පැවති රළු පුරුෂභාවය මෘදු අතට හැරුණ අවුරුදු කීපයක් පසු කාලයෙහි දක්නට ලැබෙයි.
සිය ලේලිය සම්බන්ධයෙන් එදිරිවාදී පිළිවෙතක පිහිටා කටයුතු කළ බවට එල්ල වෙමින් පැවති විවේචන නිෂ්ක්‍රීය කිරීමේ ප්රයත්නයක් වශයෙන්, එඩින්බරාහි ආදිපාදවරයා සහ ඩයනා කුමාරිය අතර හුවමාරු වූ ලිපි කීපයක් 2007 වසරේ දී ප්‍රසිද්ධ කරනු ලැබුණි.
ආදිපාදවරයා සිය ලේලිය වූ ඩයනා කුමරියට විශාල සහයෝගයක් දී ඇති බව “ආදරණීය පියා වෙත” (Dear Pa letters) යනුවෙන් නම් කරනු ලැබ ඇති එම ලියුම් මගින් පෙන්නුම් කෙරෙයි.
වේල්ස් කුමරිය එම ලිපි මගින් සිය මාමණ්ඩියට දැඩි හිතෛෂී ස්වරයකින් ආමන්ත්‍රණය කරන්නීය.
ඩයනා කුමරියගේ අවසන් පෙම්වතා වූ ඩොඩී ගේ පියා වන මොහාමඩ් අල් ෆයඩ් ඩයනා කුමරියගේ මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දෙමින් එය ෆිලිප් කුමරාගේ නියෝගයක් අනුව සිදු කෙරුණ ඝාතනයක් ලෙස හඳුන්වා දුන්නත් එම අදහස මරණ පරීක්ෂකවරයා විසින් දැඩිව ප්‍රතික්ෂේප කරනු ලැබුණි.
එඩින්බරාහි ආදිපාද ෆිලිප් කුමරු බ්‍රිතාන්‍ය සමාජ කේන්ද්‍රයේ තමා විසින්ම තමා ස්ථානගත කරන ලද ස්ථිරසාර අභිලාෂයක් සහිත නිදහස් මිනිසකු විය.
කාර්යක්ෂම චරිතයක්
ෆිලිප් කුමරු ඔහුට අයත් භූමිකාව නිසාම හැමවිටම දෙවැනි ස්ථානය හිමි වූ ස්වභාවික නායකයෙකි.
“මම මට හොඳම දේය කියල හිතන දේවල් කළා පමණයි” ආදිපාදවරයා බීබීසියට වරක් ප්‍රකාශ කළේය.
“මගේ අභිලාෂයන්, එහෙමත් නැත්නම් මම කරුණු කාරණා සම්බන්ධයෙන් ප්‍රතිචාරය දක්වන ආකාරය, මම කටයුතු කරන ආකාරයේ සමස්ත ස්වභාවය ක්ෂණිකව එක්වරම වෙනස් කරන්න මට බැහැ. ඒක මගේ ස්වභාවය.”
2011 වසරේ ආදිපාදවරයාගේ අනූවෙනි උපන්දින සමරුව උදාවේ ඔහුට උපහාරය පළ කළ එවකට අගමැති ඩේවිඩ් කැමරන් විසින් ඉහත කී චරිත ස්වභාවය පිළිගනු ලැබ ඇත.
“බ්‍රිතාන්‍ය ජනතාව වෙනුවෙන් ආදිපාදවරයා හැම විටම ඔහුටම ආවේණික මාවතක ප්‍රායෝගිකව කටයුතු කළා. ඔහු දක්ෂ ඍජු, නිරහංකාර, අනම්‍ය චරිතයක්. මම විශ්වාස කරනවා – ඔහුගේ කාර්යභාරය ආකර්ෂණීයයි,” හිටපු අගමැතිවරයා සඳහන් කර ඇත.
බ්‍රිතාන්‍ය ජීවිතය කෙරෙහි මහා දායකත්වයක් සැපයීම අතින් පිලිප් කුමරු සිය පදවිය සාර්ථකව උපයෝගි කර ගත්තේය.
එසේම වෙනස්වන සමාජ ආකල්ප සමග රාජ්‍යත්වය අනුගත කිරීමට ඔහුගේ භූමිකාව මහෝපකාරී විය.
ඒ සියල්ලටම වඩා ආදිපාදවරයා ගේ සුවිශාල ජයග්‍රහණය වන්නේ සිය බිරිඳ වන බ්‍රිතාන්‍ය රැජිනගේ දීර්ඝ වූ පාලන කාලය පුරා ඇය වෙනුවෙන් නිසැකව ,අඛණ්ඩව සහ ශක්තිමත් ලෙස දෙන ලද සහයෝගයයි.
ආදිපාදවරයා තම කාර්යභාරය ලෙස විශ්වාස කළ ඔහුගේ අභිප්‍රාය සිය චරිතාපදානයේ කතුවරයා සමග මෙසේ සඳහන් කළේය.
“රැජිනගේ පාලනය සහතික කිරීම.”
රාජකීය යුවළ විවාහප්‍රාප්ත වීමේ පනස්වැනි සංවත්සරය නිමිත්තෙන් පැවැත්වුන උත්සවයේ දී කතා කළ එලිසබත් රැජින බ්‍රිතාන්‍ය ඉතිහාසයේ දීර්ඝම කාලයක් රාජකීය වල්ලභයා වෙමින් වාර්තාවක් තැබූ සිය සැමියාට මෙසේ සිය උපහාරය පළ කළාය.
“ඔහු ප්‍රසංශා අභිනන්දන පහසුවෙන් භාර ගනු ලබන තැනැත්තෙක් නොවෙයි. එහෙත් ගත වූ අවුරුදු රාශිය පුරා මගේ ශක්තිය වී රැඳී සිටිමින් ඔහු ඉතා සරල චරිතයක් වුනා. මමත් ඔහුගේ සමස්ත පවුලත්, මේ රට සහ ලෝකයේ වෙනත් බොහෝ රටවලුත් ඔහුට සදහටම හිමි වෙන, එසේත් නැත්නම් අප සදහටම දන්නා තරමටත් වඩා ප්‍රමාණයකින් විශාල පරිමාණයෙන් ඔහුට ණයගැතියි.