එළවළු වල ගුණත්වය බසී – මිල ගණන් අහස උසට

එළවළු වල ගුණත්වය බසී – මිල ගණන් අහස උසට
Spread the love
  • ලාභ ගන්න ගොවීන් කරන කූඨ වැඩ ගැන චෝදනා
  • එළවළුවල ගුණත්වය අන්තට බැහැලා
  • අතරමැදි ජාවාරමුන් නිසා එළවළු මිල අහස උසට යනවා

නුවරඑළිය ඇතුළු උඩරට ප්‍රදේශවලින් අනෙකුත් ආර්ථික මධ්‍යස්ථානවලට එළවළු   තොග ලැබීමේ සැලකිය යුතු අඩුවීමක් වාර්තා වුව ද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද (22) දින අළුයම කැරට්, ලීක්ස්, බෝංචි, අර්තාපල් වැනි එළවළු සීමිත ප්‍රමාණයක් ලැබී තිබුණු බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පවසති.

ලැබී තිබුණු සීමිත තොග සඳහා ඉහළ මිලක් පැවති නමුත් ඒවා මිලදී ගැනීම සඳහා වෙළෙඳුන්ගේ පැමිණීම අඩු වී ඇතැයි නුවරඑළියේ සිට එළවළු දඹුල්ලට රැගෙන ආ අතර මැදි වෙළෙන්දෝ පවසති.

අද දින අළුයම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ලීක්ස්  කිලෝව රුපියල් 390-420ත් අතර මිලක් පැවති අතර කැරට් කිලෝවක් රුපියල් 240 සිට රුපියල් 300 දක්වා වූ මිල ගණන් යටතේ අලෙවි විය.

ඇතැම් ගොවීන් කියා සිටියේ නුවරඑළිය  දීස්ත්‍රික්කයේ  එළවළු අනෙකුත් ආර්ථික මධ්‍යස්ථාන වලට  ප්‍රවාහනය කිරීම සීමා කොට තිබුණද ඒවා නිෂ්පාදනය  කළ ගොවීන්ගේ ඉල්ලීම් මත  දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වලට රැගෙන ආ බවය.

නුවරඑළිය ප්‍රදේශයේ වගා කෙරෙන ලීක්ස් සහ කැරට් ආදී එළවළු වල ගුණාත්මක භාවය අඩු වී ඇතැයි එම ගොවීන් පෙන්වා දුන් අතර ඔවුන් කියා සිටියේ වෙනදා මෙන් නොව ලීක්ස්, කැරට් හා අර්තාපල්  ප්‍රමාණයෙන් ඉතා කුඩා බවය.

‘අල කුඩා වුවත් හොඳ මිලක් ලැබුණා’ අතරමැදි වෙළෙඳුන් කියා සිටියේය.

මේ අතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද (22) දින පහත රට එළවළු වර්ග ලැබීම යම් මට්ටමකින් ඉහළ අගයක් ගෙන තිබුණි. අළුයම් කාලයේ ආර්ථික මධ්‍යස්ථානය තුළ කැරට්, ලීක්ස්, මාලුමිරිස්, බෝංචි, යන එළවළු වර්ග කිලෝවක් තොග මිල  රුපියල්  250 සිට 450 දක්වා වූ විවිධ මිල පරාසයන් යටතේ අලෙවි වීම සිදු වූ අතර වම්බටු, මෑකරල්, දඹල, පතෝල, කරවිල, බණ්ඩක්කා, ආදී එළවළු කිලෝ එකක තොග මිල රුපියල් 120- 280 දක්වා මිල පරාසයක් යටතේ අලෙවි වීම විශේෂත්වයකි.

එමෙන්ම  දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ සිටී ගොවීන් රැසක්  කියා සිටියේ එළවළු වගාව සඳහා අවශ්‍ය තෙල් පොහොර නොමැතිවකම මෙන්ම වර්ෂ අවසානයේ දී පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා එළවළු හිඟ වීම සාමාන්‍යයෙන් සිදුවන බවය.

කෙසේ  වෙතත් ආර්ථික මධ්‍යස්ථානයට එළවළු මිලදී ගැනීම සඳහා පැමිණ සිටි ව්‍යාපාරික ප්‍රජාව සිටියේ එළවළු නරක් වීම නිසා තමන්ට ව්‍යාපාරය පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් උදා වී තිබෙන බවය.

ඇතැම් ගොවීන් ඉතා සූක්ෂම ලෙස බර වැඩි කර ගැනීම් සඳහා ආහාරයට ගැනීමට  නොහැකි වූ එළවළු වර්ග මැදි කිරීම, ලීක්ස් වලට පස් ගුලි තැවරීම ආදී ක්‍රියාවන් නිසා තමන්ට   වෙළඳාම් කටයුතු සිදුකිරීම දැඩි අසීරුතාවයකට පත්ව තිබෙන බව ද ඔවුහු පෙන්වා දුන්හ.

ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ සිටි ව්‍යාපාරිකයෙකු කියා සිටියේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ මෙන්ම රටේ ආර්ථික  මධ්‍යස්ථාන රැසක අතරමැදි වෙළඳ කණ්ඩායම් නිසා මෙතරම් එළවළු මිල ඉහළ යන බවය.

ඒ පිළිබඳව වැඩි දුරටත් විග්‍රහ කරමින් ඔහු මෙසේ ද පැවසුවේය.

‘’ආර්ථික  මධ්‍යස්ථාන වල ඉන්න අතරමැදි  කණ්ඩායම් ඉතා සූක්ෂම ලෙස ගොවීන්ගේ එළවළු ලබාගෙන අවස්ථා දෙක තුනක් එම මධ්‍යස්ථානයේ ම තබාගෙන වැඩි මිල ගණන් යටතේ අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක කරනවා. එළවළු මිල මෙතරම් ඉහළ යන්නේ ඒ නිසයි. මේ ජාවාරම වැළැක්වීමට අවශ්‍ය නම් රජයේ ආරක්ෂක අංශ යොදා හෝ මෙම තත්ත්වය සොයා බැලීමට හැකියි. අපි ජනාධිපතිවරයාගෙන් සහ ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ මේ අතරමැදි ජාවාරම වළක්වා දෙන්න කියලයි. ඒකට ඕනෑම උදව්වක්, තොරතුරු ලබාදීමක් කරන්න අපි සූදානම්’ යැයි ද ඔහු සඳහන් කළේය.

සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල