කිරිදෙන මවුවරුන්ට ‘කොවිඩ් එන්නත ලබා ගැනීම’ කිසිම ගැටලුවක් නෑ

කිරිදෙන මවුවරුන්ට ‘කොවිඩ් එන්නත ලබා ගැනීම’ කිසිම ගැටලුවක් නෑ
Spread the love

කිරිදෙන සියලුම මව්වරුන් එන්නත් ලබාගැනීමට සුදුසු බවත් එන්නත ලබා ගැනීම මව්කිරී දීම වෙනස් කිරීමට ද හේතුවක් නොවන බවත් වංසගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

අද (18) මාධ්‍ය සාකච්ඡාවකදී සමරවීර මහතා මේ බව සදහන් කළේය.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා, ‘‘ගර්භණී අවස්ථාවේදී එන්නත ලබාදීම සම්බන්ධයෙන් මේ දක්වා සම්පූර්ණ නිර්දේශයක් ලැබිලා නෑ. මොකද තාමත් මේ ගර්භණී මව්වරුන් අතර එන්නත් ලබාගැනීම පිළිබඳව පර්යේෂණ සිදුවෙලා නෑ. එන්නත ලබාගැනීමට නොහැකි වෙනත් කිසියම් කාරණයක් නොමැති නම් සාමාන්‍ය කෙනෙකු ලෙස ඕනෑම කිරිදෙන මවකට පුළුවන් වෙනවා එන්නත ලබාගන්න. ඒ වගේම එන්නත ලබා ගැනීම මව්කිරි දීම වෙනස් කිරීමට හේතුවකුත් නෙමෙයි. මේ මව්කිරි දෙන සියලුම මව්වරුන් එන්නත් ලබාගැනීමට සුදුසුයි. ගර්භණී කාන්තාවන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබෙනවා.”

මෙහිදී අදහස් දැක්වූ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති මහාචාර්ය ශාමන් රජීන්ද්‍රජිත් මහතා පැවසුවේ කොවිඩ් ආසාදිත මවුවරුන් සෞඛ්‍යාරක්‍ෂිතව දරුවන්ට මවුකිරිදීමේ වරදක් නොවන බවත් මවුකිරි දෙන මවුවරුන්ට ද කොවිඩ් මර්දන එන්නත් ලබාගත හැකි බවත්ය.