කොව්ඩ් වසංගතය මැද ‘ඩෙංගු අවදානමක්‘

කොව්ඩ් වසංගතය මැද ‘ඩෙංගු අවදානමක්‘
Spread the love

කොවිඩ් වසංගතය නිසා සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දැඩි වෙහෙසකට පත්ව ඇති අවස්ථාවක ඩෙංගු රෝග ව්‍යාප්තිය උත්සන්න වුවහොත් සෞඛ්‍ය පද්ධතිය බරපතල අවදානමකට ගොදුරු විය හැකි බව වෛද්‍යවරු පවසති.

මෙම අවදානමෙන් මිදීමට නිවාස සහ කාර්යාල පරිශ්‍ර, ඉදිකරීම් වැඩබිම් ආදී ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදුව තබා ගන්නා ලෙස වෛද්‍යවරු මහජනතාවගෙන් ඉල්ලා සිටිති.

මේ දිනවල සීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝගය පාලනය කිරීම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම පිණිස “ඩෙංගු රෝග ව්‍යාප්තිය සීඝ්‍ර ලෙස වර්ධනය වීම හා එය මැඩ පැවැත්වීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේද” යන මැයෙන් අද (06) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධානය කළ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී  වෛද්‍යවරු මේ අදහස් පල කළහ. ප්‍රවෘත්ති සාකච්ඡාව දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

මහජනතාවගේ නොදැනුවත් බව සහ වගකීම් විරහිත ක්‍රියාකාරිත්වය රෝගය සීඝ්‍රයෙන් පැතිර යාමට හේතු වී ඇත. මෙහිදී රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට මහජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත.ඩෙංගු රෝගය හඳුනා ගැනීමේ පරීක්ෂණවල මිළ ගණන් අඩු කිරීම, රෝගීන් සුවපත් කර නිවෙස් කරා යැවීමට ක්‍රමවේදයක් සකස් කර තිබීම, රෝගීන් හඳුනාගතහොත් ඒ පරිසරය පරීක්ෂාවට ලක්කිරීම ඊට අයත්ය. මේ සඳහා පැමිණෙන නිලධාරීන්ට අවශ්‍ය සහයෝගය දෙන මෙන් මහජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.

රෝගය ව්‍යාප්තිය පාලනය කිරීමේදී පළාත් පාලන ආයතන, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ සෙසු කාර්ය මණ්ඩල ඒකාබද්ධව ඩෙංගු මදුරුවන් බෝවන පරිශ්‍ර පිරිසිදු කිරීම රෝග ව්‍යාප්තිය පාලනයට කිරීමට මනා පිටුවහලක් වේ. තමන්ගේ නිවසේ මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමෙන් මෙම වැඩපිළිවෙලට දායක වීමට මහජනතාවට විශේෂ වගකීමක් තිබේ.

කොවිඩ් සහ ඩෙංගු යන රෝග දෙකම වෛරසයකින් බෝවන අතර රෝග දෙකෙහිම රෝග ලක්ෂණ සමාන බැවින් උණ ගැනීමක් වුවහොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වී නිසි ප්‍රතිකාර ගත යුතුයි.  PCR පරීක්ෂණය සහ ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂණය සිදු කිරීමෙන් රෝගය හඳුනා ගත හැකිවන අතර රුධිර පරීක්ෂාව තව දුරටත් තහවුරු කර ගෙන ප්‍රතිකාර සඳහා යොමු වීම තුළින් මෙම රෝගය නිට්ටාවට සුව කළ හැක.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය ලක්ෂ්මී සෝමතුංග, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය එම්. අර්නෝල්ඩ්, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමල්කා පන්නිලහෙට්ටි, ද සොයිසා කාන්තා රෝහලේ කායික රෝග විශේෂඥ ප්‍රියංකර ජයවර්ධන යන මහත්ම මහත්මීහූ මේ සාකච්ඡාවට සහභාගී වූහ.