කොවිඩ් මරණ අනුපාතය අඩු කරන්න අලුත් ක්‍රමයක් සොයයි

කොවිඩ් මරණ අනුපාතය අඩු කරන්න අලුත් ක්‍රමයක් සොයයි
Spread the love

කොවිඩ් -19 ආසාදිතයන් පිළිබඳ දත්ත වාර්තා කිරීමේදී සංඛ්‍යාවල වෙනසක් සිදුවීම ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය සොයාබලමින් සිටින බවත්, එය ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගනු ඇති බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසීය.

අධ්‍යක්‍ෂවරයා මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී අද (16) පැවති මාධ්‍ය හමුවේදීය.

කොවිඩ් මරණ අනුපාතය ගණනය කරන්නේ රෝගී සංඛ්‍යාවට සාපේක්‍ෂව බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ අධ්‍යක්ෂවරයා මෙරටින් වාර්තා වූ රෝගීන් සංඛ්‍යාවේ සැබෑ දත්ත ලැබුණු පසු මරණ අනුපාතය ද අඩුවනු ඇතැයි ද මෙය දත්ත වාර්තා කිරීමේ ගැටලුවක් මිස දත්ත සැඟවීමක් නොවන බව ද කීවේය.

දත්ත පද්ධතියේ සිදුවූ එම වරද නිවැරදි කරගැනීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා දිස්ත්‍රික්ක හා පළාත් මට්ටමේ නිලධාරීන් ගෙන්වා අවශ්‍ය අධ්‍යයනය කටයුතු සිදුකරමින් සිටින බව කී බටුවන්තුඩාව මහතා සිදුවූ වරද වහා නිවැරදි කිරීමට අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව ද ප්‍රකාශ කළේය.