ගෑස් අර්බුදයේ ඉදිරි දවස් පහ තීරණාත්මකයි

ගෑස් අර්බුදයේ ඉදිරි දවස් පහ තීරණාත්මකයි
Spread the love

ගෑස් අර්බුදයට විසඳුම් සෙවීම ‘අද නොවෙයි හෙට‘ ට කල් දැමීම හේතුවෙන් රට තුල දැවැන්ත ගෑස් අර්බුදයක් මතුව ඇත. ඉදිරි දින 4 ගෑස් හිඟය උපරිම මට්ටමට පැමිණෙනු ඇති අතර, සෑම දින 2 ½ කට වරක්ම රටට ගෑස් නැවක් ගෙන්වා ගැනීමට අසමත් වන්නේ නම් රටේ දෛනික ජන ජීවිතය බිඳ වැටෙත තත්වයක් නිර්මාණය විය හැකි බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

ලිට්රෝ සමාගමේ ගෑස් වෙළෙදපොල පංගුව 71% ක් වු අතර ඉතිරි 29% ලාෆස් සතු විය.  රටේ ගෑස් සිලින්ඩර      ලක්ෂ 101 ඇත. එයින් ලාෆස් සමාගම සතු සිලින්ඩර ලක්ෂ 29 කි. බෙහෝ නිවේස්වල ගෑස් සිලින්ඩර දෙක බැගින් ඇත. දෙකම පිරී ඇත්තේ ඉදහිටය.

ගෑස් හිඟයත් සමඟම ලක්ෂ 29 ක් සිලින්ඩර හිස් විය. දෙවන සිලින්ඩරය ලෙස නිල් ගෑස් ලබාගත් පිරිස වහා ගෑස් ලබාගැනීමට පොරකන්නට විය. දැන් කහ පාට ගෑස් ද නිල් පාට ගෑස් ද දෙකම නැත.

ලාෆ්ස් කි.ග්. 12.5 සිලින්ඩරය භාවිතා කරන ලක්ෂ 9 කට ද, ක්.ග්. 5 සිලින්ඩරය භාවිත කරන ලක්ෂ 4 කට ආසන්න ප්‍රමාණය ද දැන් අන්ත අසරණය. ඉදිරි දින 4 තුල අර්බුදය පුපුරා යන්නේ  ලිට්රෝ සමාගමේ කි.ග්. 12.5 සිලින්ඩරය ලක්ෂ 60 න් ආසන්න වශයෙන් ලක්ෂ 38 තනි සිලින්ඩර හිමිකරුවන් වන නිසාය.  දැන් ගෑස් සොයා තැන තැන යන පිරිසට තව දින 4 ක් තුල තවත් ලක්ෂ 12 ක් එක් වන්නේය.  

ලිට්රෝ සමාගම සතු එකම සක්‍රීය ගෑස් සිලින්ඩර් පිරවුම් අංගනය කෙරවලපිටියේ පිහිටා ඇත.  එහි සම්පූර්ණ ගෑස් ධාරිතාවය මෙ.ටො. 8000 කි. සාමාන්‍ය  තත්වය යටතේ ගෑස් ටැංකියක 10% – 15% ක ඇත්තේ වායුව යි. දියර ගෑස් 85% ක් ආසන්න ප්‍රමාණයකි. ඒ අනුව, ලිට්රෝ දියර ගෑස් ධාරිතාව මෙ.ටො. 7000 කි.

ගෑස් මෙ.ටො. 3000 ක් පමණ ඉතිරිව තිබිය දී රටට ගෑස් නැවක් රැගෙන ඒම ලෙට්රෝ සමාගමේ ව්‍යවහාරයයි. ලිට්රෝ සැපයුම්කාර ඕමාන් ට්‍රෙිඩින් සමාගම සතුව නැව් දෙකක් ඇති අතර ඒවා මෙ.ටො. 3500 ට ආසන්න ධරිතාවයෙන් යුතුය. ඕමානයේ සිට ලංකාවට ගෑස් නැවක් පැමිණීමට දින 5 ½ ක් ගත වන අතර මෙහෙයුම් කටයුතු සඳහා අතිරේක දිනක් ගත වේ.

කහපාට ලාෆස් ගෑස් වෙළෙඳපොලට නිකුත් වූ අවධියේ ලෙට්රෝ දිනකට ගෑස් මෙ.ටො. 1150 ක් පුරවා බෙදාහරිනු ලැබීය. දැන් එය මෙ.ටො. 1350 දක්වා ඉහළ ගොස් ඇත. ඉදිරි දින 2 තුල පොලිම්වල ගෑස් සැපයීමට නම් දින 2 ½ වරක් ගෑස් නැවක් (මෙ.ටො. 3500) ක් කෙරවලපිටියට පැමිණිය යුතුය.

එවැනි අඛණ්ඩ සැපයීමක් සිදු කිරීමේ හැකියාව ලිට්රෝ සමාගමට දැනට නැත.  ලාෆස් ආයතනය මෙන් ගෑස් ගබඩා කිරීමේ පර්යන්ත පහසුකම් ද, තම සමාගම සතු ඔවුනගේම නැව් ද (ලාෆස් සමාගමට නැව් 3 ක් හා කුලියට ගත් නැවක් ඇත) ද නැත.

ගෑස් අර්බුදය පිළිබඳ මම දැන් සති දෙකක සිට සවිස්තර අනතුරු ඇඟවීම් සිදු කර ඇත. මාගේ පූර්ව කථනය වූවේ අගෝස්තු තෙවන සතියේ දී ගෑස් අර්බුදයේ උපරිමයට ලගා වනු ඇති බවය. දින 13 කට කලින් එම අවස්ථාව උදාවී ඇති අතර දින 2 ½ කට වරක් කෙරවලපිටිය ගෑස් පර්යන්තය වෙත සැපයුම් ගෙන්වා ගැනීම ලිට්රෝ සමාගම හා රජය සතු වගකීමකි.