ඩෙල්ටා ව්‍යාප්තිය ගැන PHI සංගමය ‘රජයට සහ සෞඛ්‍ය බලධාරීන්ට’ අනතුරු අඟවයි !

ඩෙල්ටා ව්‍යාප්තිය ගැන PHI සංගමය ‘රජයට සහ සෞඛ්‍ය බලධාරීන්ට’ අනතුරු අඟවයි !
Spread the love

කොවිඩ් -19 ඩෙල්ටා ප්‍රභේදය ලංකාවේ වසංගත තත්ත්වයක් ඇති කරන ප්‍රමුඛතම ප්‍රභේදය බවට ඉදිරියේදී පත්විය හැකි බවත් ඉදිරියේ දී රටේ ඇති වෙන ව්‍යවසනකාරී තත්ත්වය වළක්වා ගැනීමට මේ මොහොතේ සිට හෝ කටයුතු කළේ නැතිනම් රට ඉතා අවාසනාවන්ත තැනකට තල්ලු වීම නොවැළැක්විය හැකි බවත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

මෙහිදී කොවිඩ් වසංගතයේ වත්මන් තත්ත්වය ගැන කරුණු පැහැදිලි කරමින් උපුල් රෝහණ මහතා කියා සිටියේ කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක කළ බොහෝ රටවල් ද ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් යළි සංචරණ සීමා පැනවීමට පියවර ගෙන ඇති බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු උපුල් රෝහණ මහතා මෙසේද පැවසුවේය.

“ ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය හමුවේ අද අප ඉන්න මේ තත්ත්වය කිසිසේත් නොසලකා හැරිය හැකි තත්ත්වයක් නෙමෙයි. එය ඉතාම භයානක අවධානම් තත්ත්වයක්. ලෝකයේ අපට වඩා කොවිඩ් එන්නත්කරණය සිදුකළ බොහෝ රටවල් මේ වන විට අඩපණ වෙලා තියෙනවා. එම රටවල් මේ වන විට දරුණුම කොවිඩ් -19 වසංගත තත්ත්වයන්ට මුහුණදෙමින් ඉන්නවා. ඒ වගේම ඊශ්‍රායලය, දකුණු කොරියාව ආදි බොහෝ රටවල් නැවත වරක් අගුළු දමමින් ඉන්නවා. ජනතාවගේ සංචරණය සීමා කරමින් ඉන්නවා.

‘‘නමුත් දිගින් දිගටම ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ඩෙල්ටා ආසාදිතයින් හමුවෙද්දි රජය හා ප්‍රතිපත්ති තීරකයෝ තියෙන සංචරණ සීමා ලිහිල් කරමින් ඉන්නවා. පාලකයෝ වගේම මහජනතාවත් සියල්ල අමතක කරමින් කටයුතු කරමින් සිටින බව අපිට පෙනී යනවා.

‘මේ නොසැලකිලිමත් තත්ත්වයේ ආදීනව‘ඉදිරි දින කිහිපයේ දී දකින්න ලැබෙයි. කොවිඩ් -19 ඩෙල්ටා ප්‍රභේදය ලංකාවේ වසංගත තත්ත්වයක් ඇති කරන ප්‍රමුඛතම ප්‍රභේදය බවට පත්වෙයි. වසංගතයේ ප්‍රමුඛතම ප්‍රභේදය බවට ඩෙල්ටා ප්‍රභේදය පත්වුවහොත් ලංකාවට මීට කලින් මුහුණ දුන්න වසංගත තත්ත්වයට වඩා අවදානම් තත්ත්වයක මුහුණ දෙන්න සිදුවෙයි.

‘‘අනිවාර්යයෙන් ම මේ තත්ත්වය බැරෑරුම් ලෙස රජය හා ජනතාව වටහාගත යුතුයි. ඉදිරියේ දී රටේ ඇති වෙන ව්‍යවසනකාරී තත්ත්වය වළක්වා ගැනීමට මේ මොහොතේ සිට හෝ කටයුතු කළේ නැතිනම් ඉතා අවාසනාවන්ත තැනකට තල්ලුවෙයි. ඒක නතර කරන්න හැකියාවක් නැහැ‘‘ උපුල් රෝහණ මහතා වැඩි දුරටත් කීවේය.