තාම ඩෙල්ටා වයිරසයේ බලපෑම ආරම්භ වුණා පමණයි – ඉදිරි සති දෙක තීරණාත්මකයි

තාම ඩෙල්ටා වයිරසයේ බලපෑම ආරම්භ වුණා පමණයි – ඉදිරි සති දෙක තීරණාත්මකයි
Spread the love

‘යම් පුද්ගලයකුට කෑම නැති වුණහොත් කවුරුන් හෝ එය ලබා දෙනු ඇති බවත් ඔක්සිජන් නැති වුවහොත් සිදුවෙන දේ සිතාගැනීමට තමා ජනතාවට යෝජනා කරන බවත් නව වයිරස ප්‍රභේද සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

වත්මන් වසංගත තත්ත්වය ගැන පැහැදිලි කිරීමක් කරමින් ආචාර්ය ජීවන්දර කියා සිටියේ ජනතාව තමන්ම ” ලොක්ඩවුන් විය යුතු බවට තමා යෝජනා කරන බවයි.

ඩෙල්ටා වයිරසය ඉදිරි සති දෙකේදී ප්‍රබලව ක්‍රියාත්මක වනු ඇති බවත් මේ තත්වය තේරුම් ගෙන සංචරණ හැකිතාක් සීමා කරන ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ආචාර්ය ජීවන්දර සඳහන් කළේය.

‘‘තාම ඩෙල්ටා වයිරසයේ බලපෑම ආරම්භ වුණා පමණයි. එහි භයානක බව හොඳින් දැනෙන්නේ ඉදිරියේදීයි. මේ නිසා ඉදිරි සති දෙක තුන ඉතාම තීරණාත්මකයි. ඒකට හේතු කිහිපයක් තිබෙනවා. චීනයේ වුහාන් ප්‍රාන්තයේ පැතිර ගිය වයිරස ප්‍රභේදයට වඩා දෙගුණයක පමණ වේගයෙන් ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය පැතිරෙනවා. මුව ආවරණය තප්පර පහක් ගලවාගෙන සිටියහොත් ආසාදිතයකු බවට පත්වීමට එම කාලය හොඳටම ප්‍රමාණවත්. මෙම වයිරස ප්‍රභේදය පැතිරීම වැළැක්වීමට නම් මේ අවස්ථාවේදී දැඩි ක්‍රියාමාර්ගවලට යා යුතු‘ යැයි ද ආචාර්ය චන්දිම ජීවන්දර මහතා අවධාරණය කළේය.