දරුවන්ගේ ආරක්ෂාව ගම් මට්ටමින් ශක්තිමත් කරන්න – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

දරුවන්ගේ ආරක්ෂාව ගම් මට්ටමින් ශක්තිමත් කරන්න – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්
Spread the love

දරුවන්ගේ ආරක්ෂාව ග්‍රාමීය මට්ටමින් ශක්තිමත් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

ළමා මෙහෙකාර සේවය පිළිබඳ අනාවරණය වී ඇති තොරතුරු වලට අනුව ඉන් ඉහළ ප්‍රතිශතයක් වතු ආශ්‍රිත දරුවන්ය. මේ තත්ත්වය වළක්වා ගැනීමට අවශ්‍ය බලතල ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. වතු ආශ්‍රිත පවුල්වල තොරතුරු ග්‍රාම නිලධාරීන් සතුය. යම් නිවසක දරුවෙකු නොමැති බවට ලැබෙන තොරතුරු මත ඒ පිළිබඳව කඩිනමින් ක්‍රියාත්මක වී ළමා මෙහෙකාර සේවය නැවැත්වීමට පියවර ගත යුතු බව ජනාධිපතිවරයා පැවසීය.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හා රේඛීය ආයතන සමග අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ළමා හා කාන්තා සංවර්ධනය සඳහා “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් විශේෂ අවධානය යොමු කර තිබේ. එය යථාර්තයක් බවට පත් කරගැනීමට වෙනම රාජ්‍ය අමාත්‍යාංශයක් ද ස්ථාපිත කෙරිණ.

ළමා හා කාන්තා හිංසනයන් වැළැක්වීමට රාජ්‍ය අමාත්‍යාංශය ගෙනයන වැඩපිළිවෙළ ඇගයීමට ලක්කළ ජනාධිපතිවරයා වෙනත් රටවල ළමා සංවර්ධනය සඳහා කර ඇති පර්යේෂණය අධ්‍යයනය කර, නාගරිකව හා ග්‍රාමීයව එම ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව පෙන්වා දුන්නේය.

අනිවාර්යය කර ඇති පෙර පාසල්, පාසල් හා දහම් පාසල් අධ්‍යාපනයට සියලු දරුවන් යොමු කරවීමත්, ළමුන් පාසල් නොයැවීමට හේතු සොයා ඊට පිළියම් යෙදීමත් ළමා ආරක්ෂක අධිකාරිය සතු ප්‍රධාන වගකීමක් බව ජනාධිපතිවරයා සඳහන් කළේය. සියලු ආගම්වලට අයත් ළමුන් දහම් පාසල් වෙත යොමු කිරීමෙන් ලැබෙන අධ්‍යාත්මික ගුණ වගාව තුළින් දරුවන් හා දෙමාපියන් අතර සම්බන්ධය ශක්තිමත් කළ හැකි බව ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙනු ලැබිණ.

මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වී ඇති දරුවන් ඉන් මුදා ගත යුතු අතර ඊට සමගාමීව ඔවුන් ඒ සඳහා පෙළඹීමට බලපෑ සාධක අධ්‍යයනය කර පිළියම් දීමේ අවශ්‍යතාව රාජපක්ෂ මහතා අවධාරණය කළේය.සේවා ස්ථාන වශයෙන් ගෙන කාන්තා හිංසනය පිළිබඳව දැනුවත් කිරීම, මව්වරුන් විදේශගත පවුල්වල දරුවන් පිළිබඳ විශේෂ සැලකිල්ලට ලක්කිරීම, හිංසනයට ලක්විය හැකි බවට සැක සහිත පවුල්වල දරුවන් පිළිබඳ පෙර හඳුනාගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රකාරව ජාතික ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය එළිදැක්වීමට අවශ්‍ය සියලු කටයුතු නිම වෙමින් පවතින බව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ දී පිළිස්සීමට ලක් වී මිය ගිය දැරිය වෙනුවෙන් නිවසක් ඉදිකර දීමට හා පවුලේ ආර්ථික තත්ත්වය නඟා සිටුවීමටත්, සහෝදරියන් දෙදෙනෙකුට ස්වයං රැකියා අවස්ථා උදාකර දීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව පියල් නිශාන්ත මහතා සඳහන් කළේය.

ළමා හා ස්ත්‍රී අපයෝජන වැළැක්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග, ඒ හා සම්බන්ධ අධිකරණ කටයුතු කඩිනම් කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව  ද අමාත්‍යවරයා විසින් පෙන්වා දෙනු ලැබිණ.

ළමා ආරක්ෂක අධිකාරිය හා රේඛීය ආයතනවල කාර්ය සාධනය පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කරනු ලැබීය.