දිස්ත්‍රික්ක හයක් අනතුරේ ! – PHI සංගමය

දිස්ත්‍රික්ක හයක් අනතුරේ ! – PHI සංගමය
Spread the love

බස්නාහිර සහ වයඹ පළාත් දෙක සහ ගාල්ල දිස්ත්‍රික්කයේ කොවිඩ් රෝගීන් ධාරිතාව ඉක්මවා වාර්තාවන බව ද එම දිස්ත්‍රික්කවල රෝහල්වල ධාරිතාව ඉක්මවා ගොස් ඇති බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා ප‍්‍රකාශ කළේය.

කොවිඩ් ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය ගැන තව දුරටත් කරුණු පැහැදිලි කළ බාලසූරිය මහතා මෙසේ ද පැවසුවේය. ‘‘දිනපතා වාර්තා වන රෝගීන් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව වැඩි වෙමින් පවතින තත්ත්වය හමුවේ රට ඉතාම නරක තත්ත්වයට ගමන් කරමින් තිබෙනවා. මේ පිළිබදව සියලූ දෙනාගේ අවධානය ඉක්මනින් යොමු කළ යුතුයි. රෝහල්වල ධාරිතාව ඉක්මවා ගොස් තිබෙනවා. එනිසා රෝගීන් නිවාසවල තබාගෙන බලාගැනීමට සිදුවිය හැකියි.

‘‘වාර්තා වන රෝගීන්ගේ රෝග ලක්ෂණ බැලූවිට ඔවුන්ට වැළදී ඇත්තේ ඩෙල්ටා ප‍්‍රභේදය බව පැහැදිලියි. පවුලේ එක් අයෙකුට වැළදුණු විගස අනෙක් සියලූ දෙනාට ද බෝවීම එම ප‍්‍රභේදයේ ලක්ෂණයක් නිසා මේ ගැන අපි වඩාත් වැඩි අවධානයක් යොමු කළ යුතුයි.

‘‘මේ වනවිට සංචරණ සීමා ලිහිල් කර තිබෙන්නේ. නමුත් වගකිව යුතු පුරවැසියන් ලෙස අප සියලු දෙනා ස්වයං වාරණයක් පනවාගත යුතුයි. හැකිතාක් ගමන් බිමන් සීමා කළ යුතුයි. මේ අවස්ථාවේ රට පවතින්නේ ඉතා දරුණු හා භයානක අවස්ථාවක බැවින් කොටහළු මගුල් උත්සව, විවාහ මංගල උත්සව, සම්භාෂණ හෝ ප‍්‍රියසාද නවතාලන්නැයි මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

‘‘කොවිඩ් එන්නතෙන් සිදුවන ආරක්ෂාව ලබා ගැනීමට එන්නත් මාත‍්‍රා දෙකම ලබා ගෙන සති කිහිපයක් ගතවිය යුතු බවයි වෛද්‍ය නිර්දේශය වන්නේ. ඒ වගේම කොවිඩ් එන්නත ගෙන ඇති අයටත් රෝගය වැළදීමට හැකියාවක් තිබෙනවා. මේ එන්නතෙන් සිදුවන්නේ මරණීය තර්ජනය අවම පමණයි.

‘රජයට හෝ සෞඛ්‍ය බලධාරින්ට පමණක් නොවෙයි. මෙම විනාශයෙන් ගැලවිමේ වගකීමක් ජනතාවට ද තිබෙනවා‘ යැයි ද මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා ප‍්‍රකාශ කළේය.