එළඹෙන ඔක්තෝම්බර් පළමුවෙනිදා සිට මෙරටට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක් වූ දේශීය හා විදේශීය ගුවන් මගීන්, ගුවන්ගත වන විට කරන ලද පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල වලින් ආසාදිතයෙකු නොවන්නේ නම් මෙරටදී යළි පී.සී.ආර්. පරීක්ෂණයකට භාජනය නොකර ඔවුන් ගුවන්තොටුපළේදී සමාජගත කිරීමට තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් වන තාක්ෂණික කමිටුව විසින් අදාළ තීරණය ගනු ලැබීය. සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී අද (28) සවස පැවති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය විය.
සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ඉල්ලීමක් මත මෙම සාකච්ඡාව පැවැත්වුණු අතර එ් සඳහා සෞඛ්‍ය හා සංචාරක අමාත්‍යාංශයන්හි ඉහළ නිලධාරීන් සහ සංචාරක ක්ෂේත්රයේ නියුතු විවිධ සංවිධාන වල නියෝජිතයන් පිරිසක්ද එක්ව සිටියහ.
පූර්ණ එන්නත්කරණය නොවූ විදේශිකයින්ට , විදෙස් සංචාරකයින්ට ජෛව බුබුළක් ලෙස සිය හෝටලය වෙත යාමට අවස්ථාව ලබා දෙන බවත් එහිදීද පී.සී.ආර්. පරීක්ෂණයක් කරන බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය. එහෙත් ශ්‍රී ලාංකිකයන්ට ගුවන්තොටුපළේදී හෝ රැඳී සිටින හෝටලයේදී පී.සී.ආර්. පරීක්ෂණය කිරීමෙන් පසු එහි ප්‍රතිඵල මගින් ආසාදිතයෙකු නොවන්නේ නම් ඔවුන් නිවෙස් කරා යොමු කිරීමට හැකියාව පවතින බවත්, එහිදී 12 වන දිනයේදී නැවත වරක් කරන පී.සී.ආර්. පරීක්ෂණයකින්ද ආසාදිතයෙකු නොවන්නේ නම් ඔවුනට සමාජගත වීමේ හැකියාවක් පවතින බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි.
නිවෙස් නිරෝධායනය සඳහා පහසුකම් නොමැති පිරිස් සඳහා රජයේ නිරෝධායන මධ්‍යස්ථාන හෝ ඔවුන් විසින් තෝරා ගන්නා හෝටලයකදී දින 14 ක් නිරෝධායනය වී ඔවුනට සමාජගත වීමේ හැකියාවක් ඇතැයිද හෙතෙම පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් වන චක්‍රලේඛණයක් නිකුත් කිරීමට නියමිත අතර එය ඔක්තෝම්බර් 01 දා සිට බලාත්මක කෙරේ.
මේ වන විට මෙරටට පැමිණෙන ගුවන් මගීන් පැය 72 ට පෙර පී.සී.ආර්. පරීක්ෂණයකට අනිවාර්යයෙන්ම යොමු වියයුතු අතර , එම පරීක්ෂණ ප්‍රතිඵල වලින් ආසාදිතයෙකු නොවන්නේ නම් පමණක් ඔවුනට ගුවන්ගත වීමට අවස්ථාව හිමි වේ. පූර්ණ එන්නත්කරණයට ලක් වූ ගුවන් මගීන් පමණක් ඉන් සති දෙකකට පසු මෙරටට පැමිණෙන්නේ නම් ඔවුන් නැවත මෙරටදී පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කර එහි ප්‍රතිඵල වලින් ආසාදිතයෙකු නොවන්නේ නම් පමණක් සමාජගත කරනු ලැබේ.
ව්‍යසන තත්ත්වයන් තුළ ජනතාවගේ රැකවරණය අන් සියල්ලටම වඩා වැදගත් බවත් කුමන බාධාවකටත් වඩා පුරවැසියාගේ ආරක්ෂාව මෙන්ම සෞඛ්‍ය පද්ධතිය ඉන් එහා තත්ත්වයක් බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙහිදී කීය.
මෙනිසා යම් යම් නීති රීති හා කොන්දේසි ගණනාවක් මත සිට කටයුතු කෙරුණු බවද එහෙත් වත්මන් තත්ත්වයන් නැවත සමීක්ෂණයට ලක්කෙරෙමින් සෞඛ්‍ය ප්‍රධානීන් විසින් ගනු ලැබූ තීන්දු එක් කර තීරණ ගණනාවක් ගැණුනු බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.රට යම් යම් සීමාවන් තුළ සිට ක්‍රමානුකූලව විවෘත කිරීම
අත්‍යවශ්‍ය සාධකයක් වන බවද හෙතෙම පෙන්වා දුන්නේය. මෙරටට විදේශ විනිමය ලබා දෙන ප්‍රමුඛතම ක්ෂේත්රයක් ලෙස වාර්ෂිකව ඩොලර් මිලියන 4.5 ක් ලබා දෙන සංචාරක ක්ෂේත්රයට නීතියේ රාමුව හා සෞඛ්‍ය අංශ වල උපදෙස් මත පුරවැසි ආරක්ෂාව තහවුරු කරමින් ලබාදිය හැකි අවස්ථාවන් නිසි ලෙසින් ලබා දෙන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී කීය.
කොවිඩ් ව්‍යසනය මත ගනු ලබන තීන්දු තීරණ සංචාරක ක්ෂේත්රයට පමණක් නොව මෙරට ආර්ථිකයටද වැදගත් වන බව සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතා මෙහිදී කීය.