ප්‍රතිශක්තිකරණය ගැන වැරදි සහ කොවිඩ් ආසාදනය අතර සම්බන්ධය ගැන සුපිරි හෙළිදරව්වක්

ප්‍රතිශක්තිකරණය ගැන වැරදි සහ කොවිඩ් ආසාදනය අතර සම්බන්ධය ගැන සුපිරි හෙළිදරව්වක්
Spread the love

කොවිඩ් වසංගතය ව්‍යාප්ත වීම සමග ප්‍රතිශක්තිකරණය සම්බන්ධයෙන් සමාජය තුළ වැරදි මත ප්‍රචාරය වීම බරපතළ තත්ත්වයක් බව ජාතික බෝවන රෝග විද්‍යාතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.

ජාතික බෝවන රෝග විද්‍යාතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාගේ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්යය වෛද්‍ය නීලිකා මලවිගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේ පැවැති ‘කොවිඩ් ව්‍යාප්තිය පිළිබද වෛද්‍ය විද්‍යාත්මක විග්‍රහය‘ නම් මාධ්‍ය හමුව පැවැත් විණි.

මෙම විශේෂ මාධ්‍ය හමුවේදී විශේෂ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ප්‍රකාශ කළේ, ප්‍රතිශක්තිකරණය සම්බන්ධයෙන් සමාජය තුළ වැරදි මත ප්‍රචාරය වෙමින් පවතින බවයි.

‘කොවිඩ් වසංගතය ව්‍යාප්ත වීම සමග ප්‍රතිශක්තිකරණය සම්බන්ධයෙන් සමාජය තුළ වැරදි මත ප්‍රචාරය වෙමින් තිබෙනවා. මෙය බරපතළ තත්ත්වයක්. මොකද ව්‍යාජ, වැරදි මත නිසා මේ වසංගතය ව්‍යාප්තවීමට ලොකු උත්තේජනයක් ලැබෙනවා. කිරිදෙන හා ගර්භණී මවුවරු ගැනත් අපේ දැඩි අවධානයක් යොමුව තිබෙනවා. කිරිදෙන මව්වරුන්ට කොවිඩ් ආසාදනයේ වැඩි බලපෑමක් එල්ල විය හැකි බවට අනාවරණය වී තිබෙනවා. ඒ වගේම එවැනිම අවදානමක් වයස්ගත ජනතාවට ද තිබෙන බව අපි අමතක නොකළ යුතුයි‘‘

“විශේෂයෙන්ම වයස අවුරුදු 60ට වැඩි අයට, දියවැඩියාව, වකුගඩු රෝග ඇති අය විශේෂයෙන් ම මේ රෝගයෙන් ආරක්ෂාවීමට නිසි පිළිවෙත් අනුගමනය කළ යුතුයි. විවිධ මත පැතිරෙනවා විටමින් ඩී ගන්න විටමින් සී ගන්න කියලා. මේවා ගත්තා කියලා එහෙම ප්‍රතිශක්තිය වැඩිවීමක් වෙන්නේ නෑ. අවශ්‍ය වෙන්නේ නිසි ආහාර වේලක් ගන්න එක. ඊට අමතරව වෛරසය හැදෙන්නේ ස්වසන පද්ධතියේ. ස්වසන පද්ධතියේ තියෙන ප්‍රතිශක්තිය අඩු කරන දෙයක් තමයි දුම්පානය. ඒ නිසා දුම්පානය කරන අයට වෛරසය වැලඳෙන ප්‍රමාණය හා මියයන ප්‍රමාණය ඉහළ බව අපි වගේම ජාත්‍යන්තර වශයෙන් ද නිරීක්ෂණය කර තිබෙනවා. ඒ නිසා මෙවැනි පුරුදු ඇති අය විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි‘‘

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්යය වෛද්‍ය නීලිකා මලවිගේ මහත්මිය සඳහන් කළේ කාර්යාල තුළ එකට එක්ව ආහාර ගැනීම තුළින් කොවිඩ් වෛරසය ආසාදනය වීමේ වැඩි ඉඩක් තිබෙන බවයි.

‘‘අපි දන්නේ නැහැ කාටද වෛරසය ආසාදනය වී තිබෙන්නේ කියලා. මොකද විශාල පිරිසක් කිසිම ආකාරයක රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැහැ. ඒත් ඔවුන් රෝග වාහකයින් ලෙස ක්‍රියාත්මක වෙනවා. මෙය අපි දැඩිව අවදානයට ගත යුතු තත්ත්වයක්. ඒ නිසා හැකිතාක් දුරස්ථභාවය සහ මුව ආවරණ පැළදීම කරන්න. නිසි සෞඛ්‍ය පිළිවෙත් ආරක්ෂා කරන්න. මිත්‍ය විශ්වාසවලට යොමු වෙන්න එපා‘‘