’පැන්ඩෝරා පේපර්ස්’ ලොව කලඹයි – නිරූපමා රජපක්ෂත් ඒ අතර

’පැන්ඩෝරා පේපර්ස්’ ලොව කලඹයි – නිරූපමා රජපක්ෂත් ඒ අතර
Spread the love

ලෝක නායකයන්, දේශපාලකයන්, ප්‍රකෝටිපතියන් ඇතුළු ලොව ප්‍රබලයන්ගේ බොහෝ දෙනකුගේ අයථා මුදල් රැස් කිරීම්, බදු පැහැර හැරීම්, මුදල් විශුද්ධිකරණ කටයුතු ඇතුළු රහස්‍ය ධනය සහ රහස් මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් තොරතුරු ‘පැන්ඩෝරා පේපර්ස්’ හරහා අනාවරණය වීමත් සමඟ මහත් ආන්දෝලනයක් හටගෙන තිබේ.

‘පැන්ඩෝරා පේපර්ස්’ අනාවරණය සිදු කළේ විමර්ශන මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයයි. ලොව ප්‍රධන පෙළේ මාධ්‍ය ආයතන නියෝජනය කරන ගවේෂණාත්මක මාධ්‍යවේදීන් 650 කට වැඩි පිරිසක් මෙම අනාවරණය සිදු කිරීමට දායක වී ඇත.

ඒ, වසර 7 ක් තිස්සේ ගෝලීය මූල්‍යායතන 14 කින් එක්රැස් කරගත් මූල්‍ය ලේඛන පාදක කර ගනිමිනි. ඒ අනුව ඊයේ (3) පැන්ඩෝරා පෙපර්ස් හරහා ප්‍රසිද්ධියට පත්වුණු වාර්තා සහ ලිපි ගොනු ගණන මිලියන 12 ඉක්මවයි. ලෝක ඉතිහාසයේ මහා පරිමාණයෙන් මූල්‍ය වංචා අනාවරණයක් සිදුවුණු පළමු අවස්ථාව මෙයයි.

‘පැන්ඩෝරා පේපර්ස්’ (පැන්ඩෝරා පත්‍රිකා) අතරේ, ශ්‍රී ලංකාවේ හිටපු අමාත්‍යවරියක වන නිරූපමා රාජපක්ෂ මහත්මියගේ නම ද සඳහන් වෙයි. නිරූපමා රාජපක්ෂ සහ ඇගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් සමග එක්ව ඇය ව්‍යාජ සමාගමක් පවත්වාගෙන ගිය බවත් ඒ හරහා ලන්ඩන් සහ සිඩ්නි නගරවල නිවාස මිලට ගැනීම සහ වෙනත් ආයෝජනවල යෙදීම සිදුවූ බවත් පැන්ඩෝරා පත්‍රිකා අනාවරණය කර ඇත.

‘පැන්ඩෝරා පේපර්ස්’ හරහා මූල්‍ය අකටයුතුකම්වලට සම්බන්ධ වූ බව අනාවරණය වූ රාජ්‍ය නායකයන් සහ පුබලයන් අතර ඉදිරියෙන්ම පසුවන්නේ ජෝර්දානයේ දෙවැනි අබ්දුල්ලා රජුය. දෙවැනි අබ්දුල්ලා රජු, බ්‍රිතාන්‍ය සහ අමෙරිකා එක්සත් ජනපදයේ පවුම් මිලියන 70ක් දේපළ රහසිගතව රැස් කර තිබේ.

බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් සහ බිරිඳ චෙරීගේ නම ‘පැන්ඩෝරා පේපර්ස්’ අනාවරණයට ඇතුළත් වෙයි. දෙදෙනා පවුම් මිලියන 6.45 ක මුදලක් ගෙවා දේපල මිලදී ගත් අවස්ථාවේදී ඒ වෙනුවෙන් ගෙවිය යුතු පවුම් තුන් ලක්ෂ 12,000 ක මුද්දර ගාස්තු නොගෙවා ඇති බව ‘පැන්ඩෝරා පේපර්ස්’ අනාවරණය කර ඇත.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට අයත් මොනාකෝ රාජ්‍යයේ රහසිගත දේපළ ඇති බව ‘පැන්ඩෝරා පේපර්ස්’ අනාවරණය කරයි. මහ මැතිවරණයකට මුහුණ දීමට සූදානමින් සිටින චෙක් අග්‍රාමාත්‍ය ඇන්රේච් බබීස් පවුම් මිලියන 12 ක මුදලක් ගෙවා දකුණු දිග ප්‍රංශයෙන් මන්දිර දෙකක් මිලදී ගෙන ඇත.

සිය රටේ දේපල කොල්ලකන බවට චෝදනා ලැබ සිටින අසර්බයිජානයේ ජනාධිපති ඉලාම් අලියෙෆ් ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයින් එක්සත් රාජධානියෙන් ලබාගෙන ඇති දේපලවල වටිනාකම ඩොලර් මිලියන 400 කට අධික යැයි ‘පැනමා පේපර්ස්’ අනාවරණය පෙන්වා දෙයි. ජනාධිපති ඉලාම් අලියෙෆ් සිය 11 හැවිරිදි පුතුට ද ලන්ඩනයෙන් ඩොලර් මිලියන 30 ක ගොඩනැගිල්ලක් මිලදී ගෙන ඇතැයි පැවැසෙයි.

ඊට අමතරව, චෙක් අග්‍රාමාත්‍ය ඇන්රේච් බබීස්, කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා, ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්, සුපිරි පොප් ගායිකා ෂකීරා, නිරූපිකා ක්ලෝඩියා ෂිෆර් මෙන්ම ප්‍රකට ඉන්දීය ව්‍යාපාරික අනිල් අම්බානි ඇතුළු තවත් බොහෝ දෙනකු අයථා මුදල් එක් රැස් කිරීම් සම්බන්ධයෙන් ‘පැන්ඩෝරා පේපර්ස්’ අනාවරණය කර ඇතැයි පැවැසෙයි.

අනාවරණයෙන් පසු ෂකීරා සහ තෙන්ඩුල්කාර්ගේ නීතීඥවරුන් පවසා ඇත්තේ ආයෝජන පිළිබඳ අදාල බලධාරීන් දැනුවත් කර ඇති බවය. ෂකීරාගේ නීතීඥයා පවසා ඇත්තේ ඇයට එම ආයෝජනවලින් කිසිදු බදු සහනයක් නොවන බව ය. ෂකිරා පදිංචි වී සිටින්නේ මහා බ්‍රිතාන්‍යයේය. ඇය නියමිත පරිදි බදු ගෙවීම් සිදු කර ඇති බව ඇගේ නියෝජිතවරයා මාධ්‍ය වෙත දන්වා තිබේ.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ කැබිනට් අමාත්‍යවරුන්, හමුදා ප්‍රධානීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සතු රහසිගත සමාගම් පිළිබඳ විස්තර සහ ඩොලර් මිලියන ගණනක මුදල් රැස් කිරීම් පිළිබඳ විස්තර ද ප්‍රසිද්ධියට පත් වී ඇත.

අග්‍රමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව කිසිදු චෝදනාවක් එල්ල වී නොමැති අතර, අග්‍රාමාත්‍යවරයා එම චෝදනා සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කළේය. පැන්ඩෝරා පත්‍රිකාවල නම් සඳහන් සියලු දෙනා සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණ පවත්වන බව අග්‍රාමාත්‍යවරයා එම ප්‍රකාශය හරහා අවධාරණය කර තිබේ. පාකිස්තාන මුදල් අමාත්‍යවරයා සහ ජල සම්පත් අමාත්‍යවරයාගේ නම් අයථා මුදල් රැස් කිරීමේ ලැයිස්තුවේ ඉදිරියෙන්ම ඇති බව ද පැවැසෙයි.

(ඩේලිමිරර්)