දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම් ඝාතන සිද්ධියට සැකපිට වසර හතරක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ට එරෙහි පවරා තිබූ නඩුව ඉවත දමමින් ඔහු නිදහස් කිරිමට මඩකලපුව මහාධිකරණ විනිසුරු එස්. සුසයිදාසන් මහතා අද (13) නියෝග කළේය.
පසුගිය සදුදා (11) මහාධිකරණයේදී මහාධිකරණ විනිසුරු ඩි සුසයිදාසන් මහතා ඉදිරියේදී විභාගයට ගත් විට නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා නඩුවේ සාක්ෂි ගොනුකර ඉදිරියට ගෙන යාමට අවශ්‍යතාවක් නොමැති බව අධිකරණයට දැනුම් දීමෙන් අනතරුව එය විමර්ශනය කළ අධිකරණය අද (13) එම නඩු තීන්දුව ලබා දෙන බව පවසා තිබිණි.
අද යළි නඩුව විභාගයට ගත් අවස්ථාවේදී කරුණු සියල්ල සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කරන ලදි.
එම සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි නැගෙනහිර පළාත් සභා හිටපු මන්ත්‍රී එඩ්වින් කිරුෂානන්දන් සහ ප්‍රදීප් මාස්ටර් ඇතුළු සිව්දෙනෙකු නිදහස් කිරීමට නියෝග කෙරිණි.