පුරවැසියන්ගේ ‘දුරකතන ඇමතුම් ටැප්’ කිරීමට පකිස්ථාන බුද්ධි අංශයට අවසර

පුරවැසියන්ගේ ‘දුරකතන ඇමතුම් ටැප්’ කිරීමට පකිස්ථාන බුද්ධි අංශයට අවසර
Spread the love

ජාතික ආරක්ෂාව වෙනුවෙන් පුරවැසියන්ගේ දුරකතන ඇමතුම් සහ කෙටි පණිවිඩ ‘ග්‍රහණය කිරීමට’ පකිස්ථානයේ ෆෙඩරල් රජය අන්තර්-සේවා බුද්ධි අංශයට (ISI) අවසර දී තිබේ. මේ සම්බන්ධයෙන් විපක්ෂය නියෝජනය කරන දේශපාලන නායකයින් පමණක් නොව සමාජ ක්‍රියාකාරීන් ද කනස්සල්ල පළ කරන අතර, ඔවුන්ගේ අදහස වන්නේ, මෙම ක්‍රියාමාර්ගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති පුරවැසියන්ගේ අයිතිවාසිකම්වලට පටහැනි බව ය.

ජුලි 8 වන දින නිකුත් කරන ලද දැනුම්දීමකට අනුව, ජාතික ආරක්ෂාව සහ අපරාධවලට ඇති බිය පදනම් කරගෙන, 1996 පකිස්ථාන විදුලි සංදේශ පනතේ 54 වන වගන්තිය යටතේ ෆෙඩරල් රජය ISI නිලධාරීන්ට මෙම බලය ලබා දී ඇත.

මේ යටතේ ඕනෑම පුද්ගලයෙකුගේ දුරකථන සංවාදයකට සවන්දීමට සහ ඒවා පටිගත කරීමට බුද්ධි අංශවලට නීතිමය රැකවරණයක් ලැබෙනු ඇත. ඒ අනුව මෙය අභියෝගයට ලක්කරමින් ලාහෝර් මහාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇති අතර එය විභාගයට ගන්නේ ද නැද්ද යන්න අද දිනයේ තීරණය කිරීමට නියමිතය.

1996 විදුලි සංදේශ පනතේ 54/1 වගන්තියට අනුව, ජාතික ආරක්‍ෂාව සඳහා හෝ වරදක සන්දර්භය තුළ ඕනෑ ම විදුලි සංදේශ පද්ධතියක් හරහා ඇමතුම් සහ පණිවිඩ ග්‍රහණය කිරීමට හෝ ඇමතුම් පටිගත කර ගැනීමට ඕනෑ ම පුද්ගලයෙකුට බලය පැවරීමට ෆෙඩරල් රජයට බලය තිබේ.

කෙසේ වෙතත්, ෆෙඩරල් රජය පවසා ඇත්තේ, ඇමතුම් පටිගත කිරීමේ හෝ සවන්දීමේ ක්‍රියාවලිය සඳහා බුද්ධි අංශය විසින් නම් කරනු ලබන නිලධාරීන් එරට රාජ්‍ය සේවයේ 18 වැනි ශ්‍රේණියට වඩා පහළ අය නොවන බවය.