‘ඇෆ්ලටොක්සින්’ නැමැති පිළිකා කාරක අඩංගු බවට සැක සහිතව පරීක්ෂණයට බදුන් කළ පොල්තෙල් තොග හතරෙහිම ‘ඇෆ්ලටොක්සින්’ නැමැති පිළිකා කාරක අඩංගු බවට තහවුරු වී ඇති බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා මහතා පවසයි.
සමාගම් හතරකින් මෙරටට ආනයනය කළ පොල්තෙල්වල ‘ඇෆ්ලටොක්සින්’ නැමැති පිළිකා කාරකය අඩංගු දැයි සිදුකළ දෙවන සාම්පල පරීක්‍ෂවේ අවසන් වාර්තාව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත අද (29) භාරදී තිබේ.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපතිවරයා පැවසුවේ එක් ආයතනයක් මෙරටට ආනයනය කළ පොල්තෙල් වල එම පිළිකා කාරකය අඩංගු බව සිදුකළ දෙවන පරීක්ෂණයෙන් ඊයේ වාර්තා වු බවයි. ඒ අනුව අනෙකුත් ආයතන 03 විසින් ආනයනය කරන ලද පොල්තෙල්වලට අදාළ දෙවන සාම්පලවල පරීක්ෂණ වාර්තාව රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත අද භාරදුන් බව ද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපතිවරයා පැවසීය.
මේ අතර ඇෆ්ලටොක්සීන් නමැති පිළිකා කාරකය අඩංගු පොල්තෙල් විවෘත වෙළෙඳපොලේ තිබේදැයි පරීක්‍ෂා කිරීමට පාරිභෝගික අධිකාරිය විසින් දිවයිනම ආවරණය වන පරිදි එක් දිස්ත්‍රික්කයකින් සාම්පල් පහ බැගින් සාම්පල් 125 ක් ලබා ගත් බව සමූපකාර සේවා, අළෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
අදාල පොල්තෙල් ආනයනික සමාගම් නීති විරෝධී ලෙස ගුදම්වලින් ඉවත්කර තිබුණ හොත් නීතිමය පියවර ගන්නා බව ද ලසන්ත අලගියවන්න ඇමැතිවරයා පැවසීය.