අර්තාපල් ලංකාවට හදුන්වා දී ස්ථාපනය කිරීමෙන් පසුව ගෙවුණු අවුරුදු 50 ක කාලය තුළ වැලිමඩ – ඌව පරණගම ඉතිහාසයේ අඩුම අර්තාපල් අස්වැන්න මේ කන්නයේ කුඹුරුවලින් මේ දිනවල වාර්තා වේ. බොහෝ කුඹුරු (අල) වගාවේ ගෙඩි 6 කට වඩා නැත. ඇත්තේ කුඩා අල ගෙඩිය.
මේ ඡායාරූපවලින් දැක්වෙන්නේ වැලිමඩ රත්කරව්ව – බොරලන්ද ලංකාවේ හොඳම අල හැදෙන නිම්නයේ අල ගලවන තැනක දසුන්ය. ලංකාවේ අල වගාව ස්ථාපනය කල රහංගල ගොවිපලට ආසන්නයේ ය. නෝමන් ගුණතිලක ‘අල මහත්තයාගේ‘ ගල් පිළිමය නෙලා ඇති හීන්නාරගොල්ල පන්සල ආසන්නයේ රත්කරව්ව කුඹුරකය.
මෙවර වගා කන්නයට වල් බෙහෙත් (වල් නාශක) නැත. කුඹුර වල් වලින් වැසිලාය. දිලීර නාශක තිබුණේ නැත. බ්ලයිට් රෝගය වගාව විනාශ කර ඇත. කෘමි හානිය (කුඩුස්සෝ, කලු පනුවෝ) සිදුවන විට දවස් තුනක්ම කෘමි නාශක තිබුණේ නැත. කෘමීන් ගසේ සාරය උරා බී ගස බාල කර ඇත.
වෙනදා හැදෙන රවුම් බෝල අල ගෙඩි නැත. පදුරකට රඹුටන්, වගේ ගෙඩි 5-6 කි. පුවක් ගෙඩි වගේ තවත් දෙක තුනකි. වෙනදා වගේ අල ගෙඩි 10-15 නැත. අස්වැන්නක් ඇත්තේම නැත.
‘‘වෙනදා මේ කුඹුරෙන් අල ගෝනි 40 ක් ගලවනවා. දැන් යන්තම් 7 -8 ක් ආවොත් පුදුමයි. අපි විනාශයි මහත්තයෝ‘‘ මේ වැලිමඩ අල ගොවියාගේ පොදු කතාවය.
වෙනදා කුඹරක අල ගලවනවා කියන්නේ සතුටු සාගරයකි. කන්න බොන්න, තැබ්බෙන අල හට්ටියකි. දවල් වෙනකොට හපුතලෙන් ගේන ගල් අරක්කු බෝතලයකි. අද ඒ මොකවත් නැත. මිනිස්සු කුණුහරුපෙන් ආණ්ඩුවට බනිමින් අල ගලවති. මේ ගොවියන්ට යන – එන මං නැත. හෙට අනිද්දාට රටටම එහෙම වනු ඇත.
මට කියන්නට ඇත්තේ එකම එක දෙයකි. කාබනික වගාව වැලිමඩ – ඌව පරණගම – හපුතලේ – බණ්ඩාරවෙල – හාළි ඇළ ගොවියා විනාශ කර අවසන්ය.
වැලිමඩ මේ කුඹුර වගා කර ඇත්තේ පොහොර ටිකක් කෘෂි රසායන ටිකක් තිබුණ යුගයකය. ආණ්ඩුවේ පොහොර තහනම – කෘෂි රසායන තහනම ඉවත් කළේ නැතිනම්, ඊලඟ කන්නයට පොහොර බෙහෙත් දෙකම නැත.
අල හැදුවොත් ලැබෙන්නේ එළබටු ගෙඩි තරම් අල බව ගොවියා දැන් සහසුද්දයෙන්ම දන්නේය. කැරට් හැදුවොත් අල එරෙන්නේ නැති බව සහසුද්දයෙන්ම දන්නේය.
ගෙවල්වල, කොන්ක්‍රීට් වහල උඩ, ඔය කැමති කැමති තාලයට කාබනික වගාවක් කර ගන්නවා නම් හොඳය. නැතිනම්, බඩගින්නේ ඉන්න වෙන එක නම් ස්ථීරය.