පෞද්ගලික අංශයේ ගැබිනි මවුවරුන්ටත් නිවාඩු ඕනෑ – නිදහස් වෙළෙද කලාපයෙන් ප්‍රබල ඉල්ලීමක්

පෞද්ගලික අංශයේ ගැබිනි මවුවරුන්ටත් නිවාඩු ඕනෑ – නිදහස් වෙළෙද කලාපයෙන් ප්‍රබල ඉල්ලීමක්
Spread the love

කොවිඩ් වසංගත තත්ත්වය උග්‍රවීම හමුවේ නිර්මාණය වෙමින් පවතින අවදානම්කාරි වාතාවරණය හමුවේ පෞද්ගලික අංශයේ සේවය කරන ගැබිණි මවුවරුන් ද සේවයට කැඳවීම නවතන්නැයි හාම්පුතුන්ට උපදෙස් දෙන මෙන් අපනයන සැකසුම් කලාප සේවක සේවිකාවන්ගේ සුබසාධනය සහ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාත්මක වන ස්වේච්ඡා සංවිධාන 05ක් විසින් කම්කරු අමාත්‍යවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා.

පෞද්ගලික අංශයේ සේවය කරන ගැබිණි කාන්තාවන් ගැන කිසිදු අංශයක අවධානය මේ වනවතුරුත් යොමුවී නැති බවයි එම සංවිධාන පෙන්වා දී ඇත්තේ.

ඩාබිඳු සාමූහිකය, ශ්‍රමාභිමානි කේන්ද්‍රය, ජනකලන සමාජ අසපුව, සවිස්ත්‍රි ජාතික කාන්තා ව්‍යාපාරය, සමාජ සාධාරණත්වය උදෙසා කාන්තා ක්‍රියාකාරිත්වයයන සංවිධාන මෙම ලිපියට අස්සන් කර තිබෙනවා.

එම ලිපියේ මෙසේ ද සදහන් වෙනවා. ‘‘සති 28ට වැඩි ගැබිණි මවුවරුන්ට කොවිඩ් වයිරසය ආසාදනය වුවහොත් එය ඉතා අහිතකර තත්ත්වයකට යන බව විශේෂඥවරුන් පෙන්වා දී ඇත. රාජ්‍ය අංශයේ සේවය කරන ගැබිණි මව්වරුන් සේවයට නොකැඳවීමට රජය ගත් තීරණය ඉතා වැදගත්ය. එසේම පෞද්ගලික අංශයේ සේවය කරන ගැබිණි මවුවරුන් ද සේවයට කැඳවීම නැවැත්විය හැකි නම් එය ඉතා අගනා තීරණයක් වනු ඇත.

ඇතැම් ආයතන ගැබිණි කාන්තාවන්ගේ වැටුප් හා දීමනා කපා හැර ඔවුන්ගේ සේවය නැවැත්වීමට පවා මේ අවස්ථාවේ පියවර ගෙන ඇති අතර නේවාසිකාගාරවල දී සමාජ දුරස්ථභාවය තබා ගැනීමට කිසිසේත්ම ඉඩ කඩක් නොමැති වීම සමහර ගැබිණි මවුවරුන් මුහුණ දෙන බරපතළ ප්‍රශ්නයකි. එමෙන්ම බොහෝ ආයතන මේ වනවිට සිදුකරන්නේ ආසාදිතයා පමණක් සේවයෙන් බැහැර කිරීම පමණක් වන බැවින් කම්හල් තුළ සේවය කරන ගැබිණි මවුවරුන් අවදානම් තත්ත්වයේ පසුවන බව පෙන්වාදීමට අප කැමැත්තෙමු‘ යැයි ද එම ලිපියේ වැඩි දුරටත් සදහන් වේ.