‘මහ කන්නට රසායනික පොහොර නෑ‘ – කෘෂිකර්ම ඇමති

‘මහ කන්නට රසායනික පොහොර නෑ‘ – කෘෂිකර්ම ඇමති
Spread the love

මෙවර මහ කන්නය සඳහා රසායනික පොහොර  ලබාදීමට හැකියාවක් නැතැයි ද සහනාධාරය දෙනු ලබන්නේ කාබනික පොහොර වගාවන්ට නැඹුරු වූ ගොවීන්ට පමණකැයි ද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

මහනුවර ගන්නෝරුවේ පැවැති කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික පර්යේෂණ සැසිය  අමතමින් අමාත්‍යවරයා මේ බව  පැවැසීය

මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ කෘෂිකර්ම අමාත්‍යවරයා කියා සිටියේ හරිත කෘෂිකර්මාන්තය ආරම්භ කරන්නේ වී ගොවිතැන සඳහා පමණක් බවයි.

‘ පොහොර සහනාධාර දෙන්නේ කාබනික කෘෂිකර්මාන්තය සදහා පමණයි. හරිත කෘෂිකර්මාන්තයට නැඹුරු වන ගොවීන්ට ඊට අවශ්‍ය පහසුකම් දෙනවා. රසායනික පොහොර මිලදී ගෙන අනෙක් ගෙවීන්ට වගා කටයුතු කළ හැකියි.  සාමාන්‍යයෙන් පොහොර ආනයනය කරන්න මාස දෙකක් වත් කල් යනවා. ඒ නිසා මෙවර මහ කන්නයට රසායනික පොහොර ගෙන්වන්න විදිහක් නෑ. ඊළඟ යල කන්නයට තමයි පොහොර ගෙවන්න වෙන්නේ. නමුත්  එළවළුවලට අවශ්‍ය පළිබෝධනාශක තිබෙනවා. අපි කරන වැඩසටහනේ හොඳ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ . මාධ්‍ය මෙහි හොඳ පැත්ත කතා කළේ නැහැ. ඒ ගැන කණගාටු වෙනවා.

රසායනික පොහොර භාවිතය නිසා සිදුවන සෞඛ්‍ය ගැටලු සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිවක් සොයා බලා නැහැ. වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා හා කළ සාකච්ඡාවකින් පසු ඒ පිළිබඳ නිසි විමර්ශනයක් කිරීම සඳහා කාර්ය සාධක බලකායක් පත් කිරීමට හැකි වුණා . එම කාර්ය සාධක බලකාය මගින් රසායනික පොහොර භාවිතය නිසා ජනතාවගේ සෞඛ්‍යයට සිදුවන හානිය සම්බන්ධව සොයා බැලීමට නියමිතයි‘‘