යූරියා වෙනුවට ඉන්දියාවෙන් ‘නැනෝ නයිට්‍රජන් දියර පොහොර‘

යූරියා වෙනුවට ඉන්දියාවෙන් ‘නැනෝ නයිට්‍රජන් දියර පොහොර‘
Spread the love
මෙරට වගාවන්ට අවශ්‍ය නයිට්‍රජන් ලබා ගැනීම සඳහා ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ගෙන්වීමට ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පැවති සාකච්ඡාවකදී තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා පැවසීය.

ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අද (18) පැවති සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා, රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, කෘෂිකර්ම හා ගොවිජන අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ද සහභාගිවී තිබේ.

එහිදී තීරණය කර ඇත්තේ ඉන්දියාවේ සමූපකාර සේවයට අයත් ගුජරාට් ප්‍රාන්තයේ පිහිටි ඉන්දියානු ගොවි පොහොර සමුපකාර සමාගම නිෂ්පාදනය කරන නයිට්‍රජන් නැනෝ යූරියා දියර පොහොර මෙරටට ආනයනය කිරීමටය.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා, ‘‘මේ දක්වා මෙරට වගාවට අවශ්‍ය නයිට්‍රජන් ලබාදීමට යොදාගත්තේ යූරියා පොහොර. නමුත් අපි ඒ වෙනුවට තුන්වන හා හතරවන පරම්පරාවේ නැනෝ නයිට්‍රජන් දියර පොහොර ගොවීන්ට ලබාදීමට පියවර ගන්නවා. මේ පොහොර යෙදීමෙන් පසට හා ජලයට මුසුවන අහිතකර ද්‍රව්‍ය ප්‍රමාණය අවම වෙනවා. නැනෝ යූරියා දියර පොහොර නිෂ්පාදනයේ පේට්න්ට් බලපත්‍රය හිමි ගුජරාට් ප්‍රාන්තයේ පිහිටි ඉන්දියානු ගොවි පොහොර සමුපකාර සමාගම හෙවත් ඉෆ්කෝ සමාගමටයි. සාම්ප්‍රදායික යූරියාවල අසමතුලිතතාවය සහ අධික ලෙස භාවිතය වැළැක්වීම සඳහා නැනෝ තාක්‍ෂණය පදනම් කරගත නැනෝ යූරියා දියර පොහොර සංවර්ධනය කර තිබෙනවා. ඔවුන් මේ දියර පොහොර වාණිජමය වශයෙන් නිෂ්පාදනය කිරීම ආරම්භ කර ඇත්තේ පසුගිය ජුනි මාසයේදී යි‘‘