‘ලොකුගේ පොකුර තව ලොකු වෙනවා’ – කැස්බෑව සෞඛ්‍ය අංශ කියයි

‘ලොකුගේ පොකුර තව ලොකු වෙනවා’ – කැස්බෑව සෞඛ්‍ය අංශ කියයි
Spread the love

කැස්බෑව ප්‍රදේශයේ සිදුකරන PCR පරික්ෂණ වලින් 30%ක ප්‍රමාණයක් කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් ලෙස හඳුනාගන්නා බවත් ලොක්ඩවුන් කළත් නැතත් නිවෙස් තුළටම වී සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි සමන්තිකා විජේසුන්දර මහත්මිය පවසයි.

පිළියන්දල ඇතුළු කැස්බෑව සෞඛ්‍ය නිලධාරී කොට්ඨාශයේ කොවිඩ් අවදානම ගැන අද (14) මාධ්‍ය දැනුවත් කරමින් විජේසුන්දර මහත්මිය මේ බව පැවසුවාය.

මේ සම්බන්ධයෙන් විජේසුන්දර මහත්මිය මෙසේද පැවසුවාය. ‘‘පීසීආර් පරීක්ෂණ වාර්තා විශ්ලේෂණය කරන කොට කැස්බෑව පත්ව ඇති අවදානම මනාව පැහැදිලි වෙනවා. අහඹු ලෙස කළ පී.සී.ආර් පරීක්ෂණවලින් 30%ක් පමණ ධනාත්මක වෙනවා කියන්නේ අසීරු තත්ත්වයක්. මොකද කොරෝනා වසංගතය ආරම්භයේ සිට පසුගිය අප්‍රේල් මාසය දක්වා කැස්බෑව ප්‍රදේශයෙන් වාර්තා වුණේ කොරෝනා මරණ හතරක් පමණයි. ඒත් මේ වන විට කැස්බෑව ප්‍රදේශයෙන් දිනකට සාමාන්‍යයෙන් කොරෝනා මරණ දෙකක් වත් වාර්තා වෙනවා. ඒ නිසා අපි ජනතාවට කියන්නේ ලොක්ඩවුන් කෙළත් නැතත් නිවෙස් තුළටම වී සිටින ලෙසයි‘‘

පිළියන්දල සහ කැස්බෑව ප්‍රදේශය මෙවැනි අවදානමක් තත්ත්වයකට පත් වූයේ ගාමිණි ලොකුගේ ඇමැතිවරයා ව්‍යාපාරික ප්‍රජාව සමග එක්ව පසුගිය දා ගත් අත්තනෝමතික ක්‍රියාමාර්ගය නිසා බවට පිළියන්දල සහ කැස්බෑව ජනතාව චෝදනා කරති.

‘මේ අත්තනෝමතික පියවර නිසා අද අපි ප්‍රජාවක් ලෙස දුක්විදිනවා. මේ මරණවලට ලොකුගේ ඇමතිවරයා සහ ඔහුට අනුබල දුන් ව්‍යාපාරික ප්‍රජාව වගකිව යුතුයි‘මේ සම්බන්ධයෙන් අප හා අදහස් දක්වමින් පිළියන්දල කාන්තාවක් පැවසුවා.