වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත් දෙකක් අද (අගෝ. 08) පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත විය. අද පෙරවරු 10.30 සිට මෙම පනත් කෙටුම්පත් දෙක පිළිබඳ දෙවැනිවර කියවීමේ විවාදය පැවති අතර එහිදී උක්ත පනත් කෙටුම්පත් සම්මත කිරීමේ වැදගත්කම පිළිබඳ මන්ත්‍රීවරයන් විසින් අදහස් ඉදිරිපත් කරන ලදී.
විවාදය අවසානයේ එළැඹි කාරක සභා අවස්ථාවන්හිදී පනත් කෙටුම්පත් සඳහා සංශෝධන ඉදිරිපත් කරන ලද අතර අනතුරුව පනත් කෙටුම්පත් දෙක ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත විය.
වෛද්‍ය ආඥා පනතේ වගන්ති සංශෝධනය කිරීම අරමුණ කර ගත් මෙම වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත් දෙක සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පසුගිය ජූලි 02 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
පනත් කෙටුම්පත ගැන සඳහන් කළ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පැවසුවේ ගෝලීය ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන හිමිකරගෙන සිටින විදේශීය වෛද්‍ය විද්‍යාල ශ්‍රී ලංකාවට පිළිගැනීමට මෙමගින් හැකිවන බවයි.
‘ගෝලීය ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම වෛද්‍ය විද්‍යාල 1000 අපි හඳුනා ගන්නවා. විදේශීය වෛද්‍ය විද්‍යාලවලින් සුදුසුකම් ලැබූ ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් 300ක් පමණ සිටිනවා. ඔවුන් සුදුසුකම් ලබා ඇති වෛද්‍ය විද්‍යාල අපේ රට හඳුනා නොගැනීම නිසා ඔවුන්ට ශ්‍රී ලංකාවේ සේවය කිරීමට නොහැකි වී තිබෙනවා. ඔවුන් සුදුසුකම් ලබා ඇති විශ්ව විද්‍යාල මෙම පනත අනුව ශ්‍රී ලංකාව විසින් පිළිගනු ලබන බැවින් මෙම නව පනත් කෙටුම්පත මඟින් ඔවුන්ට ශ්‍රී ලංකාවේ සේවය කිරීමට හැකි වෙනවා. ශල්‍යවෛද්‍යවරුන්, ළමා රෝග විශේෂඥයින් සහ මනෝ වෛද්‍යවරුන් ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයට විසඳුම් සෙවීමට ද මෙමගින් අපට අවස්ථාව හිමිවෙනවා” සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
විදේශ රටවලට සංක්‍රමණය වූ ඇතැම් වෛද්‍යවරුන් ශ්‍රී ලංකාවේ තත්ත්වය යහපත් වී ඇති බැවින් යළි දිවයිනට පැමිණීමට කැමැත්ත පළ කර ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.
නව නීති සම්පාදනය මෙම වෛද්‍යවරුන්ට නැවත පැමිණීමට උපකාරී වනු ඇති බව ද ඔහු පැවසීය.