මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් මරණ දඩුවම් නියමව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘වෙළේ සුදා’ නොහොත් ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර ලබන 24 වැනිදා තෙක් බූස්ස බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාම වළකාලමින් අභියාචනාධිකරණය බූස්ස බන්ධනාගාර අධිකාරීවරයාට අද (17) නියෝගය කළේය.
හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කොට අධිකරණය විසින් මරණ දඬුවම නියම කරනු ලැබ සිටින තම පුතා ඝාතනය කිරීමේ සැලැස්මක් ඇති බැවින් ඔහු පොලිස් භාරයට පත්කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වෙළේ සුදා නැමැත්තා ගේ මව වන ආර්.ජී. මාලනී මහත්මිය විසින් ගොනුකර තිබූ රිට් ආඥා පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය එම නියෝගය නිකුත් කළේය.
පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුණ ඔබේසේකර හා රුවන් ප්‍රනාන්දු යන මහත්වරුන් හමුවේදී අද (17) කැඳවනු ලැබීය.
පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අභියාචනාධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, මේ දිනවල පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකරුවන් විවිධ විමර්ශනවලට බව සඳහන් කරමින් පිටතට රැගෙන ගොස් මරා දැමීමේ තත්ත්වයක් තිබෙන හෙයින් තම පුත්‍රයාට ද මෙම ඉරණමක් අත්වනු ඇතැයි තම සේවාදායිකාව බියෙන් පසුවන බවය.
පෙත්සම සළකා බැලූ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා පෙන්වා දුන්නේ මෙවැනි අතුරු නියෝගයක් සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා වගඋත්තරකරුවන් වෙත නොතීසි නිකුත් කිරීම අවශ්‍ය බවය. ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, බූස්ස බන්ධනාගාර අධිකාරිවරයා, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා වෙත නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස විනිසුරුවරුවරයා විසින් පෙත්සම්කාර පාර්ශ්වයට දැනුම් දී ඇත.
පෙත්සමේ සඳහන් කරුණු තහවුරු කිරීම සඳහා ලබන 24 වැනදා යළි කැඳවීමට තීරණය කළ විනිසුරු මඩුල්ල එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා පෙත්සමේ වග උත්තරකරුවන්ට නොතීසි යැවීමට පියවර ගන්නා ලෙසට පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කළේය.
පසුගිය මැයි 11/12 දිනවලදී අපරාධකරුවන් බව කියන ඌරුජුවා සහ කොස්ගොඩ තාරක නම් පුද්ගලයින් දෙදෙනා බන්ධනාගාරයෙන් පිටත රැගෙන යාමේදී ඝාතනය කිරීම ගැන පොලිසියට බරපතළ විවේචනයක් එල්ල වූ අතර මැයි 13 වැනි දින මාධ්‍ය නිවේදනයක් මගින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙම ඝාතන දැඩිව හෙළා දැක්කේය.
මීට පෙර අවස්ථා ගණනාවකදී ම අපරාධපරුවන් කිහිප දෙනකුම මේ ආකාරයෙන් විමර්ශන සදහා පිටත රැගෙන යාමේදී ඝාතනයට ලක්විය.