ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පරාජයට හේතු ගැන සුපිරි හෙළිදරව්වක්

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පරාජයට හේතු ගැන සුපිරි හෙළිදරව්වක්
Spread the love

දක්ෂතා මත පදනම්ව වැටුප් ගෙවද්දී මේ අය ගහන ක්‍රිකට් අපට බලන්න පුළුවන්

මොකක්ද මේ අපේ අයට තිබුණු හදිස්සිය. රිවර්ස් ස්ව්ප් ගහනවා, එහේ ගහනවා, මෙහේ ගහනවා, උඩ ගහනවා, ගිය වෙලාවේ ඉඳන් පුදුම හදිස්සියක්නේ තිබුණේ. හරියට විස්තර ප්‍රකාශකයා ‘දැවීගියා‘ කියන කොට අවුට් වෙලා එනවා වගේනේ පෙනුණේ.

‘ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට අවශ්‍ය සියලු පහසුකම් පරිපාලනය ලබාදී තිබියදී මොනවද මේ ගහපු ක්‍රිකට්’ කියා තමන් තුළ විශාල ප්‍රශ්නයක් ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා පවසයි.

අද (04) දින ‘දිනමිණ’ සමඟ විශේෂ සංවාදයකට එක් වෙමින් වික්‍රමරත්න මහතා සඳහන් කළේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී අපේ ක්‍රීඩකයන්ට තිබූ කඩිකුලප්පුව කුමක් දැයි තමන් නොදන්නා බවයි. ඉදිරියේදී දක්ෂතා මත පදනම්ව වැටුප් ගෙවද්දී මේ අය ගහන ක්‍රිකට් අපට බලන්න පුළුවන් යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපතිවරයා පැවැසීය.

‘මොකක්ද මේ අපේ අයට තිබුණු හදිස්සිය. රිවර්ස් ස්ව්ප් ගහනවා, එහේ ගහනවා, මෙහේ ගහනවා, උඩ ගහනවා, ගිය වෙලාවේ ඉඳන් පුදුම හදිස්සියක්නේ තිබුණේ. හරියට විස්තර ප්‍රකාශකයා ‘දැවීගියා‘ කියන කොට අවුට් වෙලා එනවා වගේනේ පෙනුණේ. ක්‍රීඩකයෝ වුණාම දැනගන්න ඕනේ තැනට සුදුසු විදිහට ක්‍රීඩා කරන්න. මේ පරාජය පුහුණුකරුවන්ගේවත්, පරිපාලනයේවත් වරදක්වත් නොවෙයි. පිට්ටනිය මැදට යන අයගේ තමයි වගකීම’ වික්‍රමරත්න මහතා පැවැසීය.

‘මිකී ආතර් ලෝකයේ හොඳම දක්ෂතා ඇති පුහුණුකරුවෙක්. ග්‍රාන්ට් ෆ්ලවර් හොඳම පිතිකරු පුහුණුකරුවෙක්. පිතිකරුවන් ලකුණු ගැහුවුවේ නැති වුණාම ග්‍රාන්ට් ෆ්ලවර් ෆේල් ද? එහෙම එකක් නෑ. පිට්ටනිය මැදට ගියාම ඒ අය දැන ගන්න ඕනේ සෙල්ලම් කරන්නේ කොහොමද කියලා.

මේ රටේ අපි එදා ඉඳලා ක්‍රිකට් දැක්කනේ. හෂාන් තිලකරත්නලා බෝලේ ඇඟේ වද්දගෙන. විකට් එකේ ඉඳගෙන ලකුණු සීයකුත් ගහලා කණ්ඩායමත් බේරගෙන එනවා. අද එහෙම අය කෝ. මා හිතනවා අපට වැරදුණේ කණ්ඩායමක් ලෙස ඔවුන්ගේ වගකීම හරි හැටි හඳුනා නොගැනීමයි.

දකුණු අප්‍රිකා තරගාවලිය පැත්තකින් දාමු. ඒකේ වේග පන්දු යවන්නන්ට උචිත තණතිලි. නමුත් ගාල්ලේ තරග දෙක. මෙහේ දඟ කැවෙන විකට්ටුවක කොහොමද ගහන්නේ කියලා තේරුම් ගත්තේ නෑ. අපි තමයි දඟ කැවෙන විකට් එකක ලෝකයේ හොඳින්ම පන්දුවට පහරදුන් කණ්ඩායම. අද ඒ වුණාට අනිත් පැත්තට ගියා. මේක පරිපාලනයේ නොහැකියාව නොවෙයි. ඒ අය ක්‍රීඩකයන් ලෙස වගකීම නොගෙන ක්‍රීඩා කිරීම’

‘කණ්ඩායමේ කවුරු හරි ඇවිල්ලා මේ කෝච් හොඳ නෑ. ලෝකේ හොඳම කෙනා මෙයා. ආන්න එයාව අපට ගෙනත් දෙන්න කිවුවොත් දෙන්න සූදානම්. අපට මේ පහසුකම නෑ ඒක දෙන්න කිව්වොත් ඒකත් දෙනවා. මට කියන්න කවුරු හරි ඇඟිල්ල දික් කරලා මේ පහසුකම අප ක්‍රිකට් කණ්ඩායමට දීලා නෑ කියලා. සෑම දෙයක්ම දීලා තියනවා. හැබැයි අපේ පැත්තෙන් එක වරදක් වුණා උපායශීලී නොවීම. උදාහරණයක් විදිහට කොදෙව් රටට යන්න තියෙනවානම් එයට මාස දෙකකට කලින් නැඟී එන කණ්ඩායමක් යවන්න අවශ්‍යයි. ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් තුන් හතර දෙනෙක් එක්ක. පුහුණුකරුවන් දෙන්නෙක් විතර යවන්න ඕනේ. එතකොට අපට දැන ගන්න පුළුවන් තණතිලි හැසිරෙන ආකාරය කල් ඇතිවම. ඒක වාසියක් කරගත හැකියි’

‘ක්‍රිකට් වෙනුවෙන් නාමල් රාජපක්ෂ ඇමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡා සුබවාදීව බලන්න ඕනේ. ඒ සාකච්ඡාවට එක්වූ මහේලගේ හොඳ අදහස් තිබුණා. එතැනදී සාකච්ඡා වුණ දෙයක් තමයි පළමු පෙළ තරගාවලිය ටියර් බී එකට නැති කර අලුත් ව්‍යුහයක් සැකසීම. මේ දැන් තිබෙන ක්‍රමය කලින් කළ ක්‍රීඩා සමාජ ඇති වුණාම හැදුණ ක්‍රමයක්. මේවා ඡන්ද බලාගෙන කල වැඩ නොවෙයි. එදා අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජය, කුරුණෑගල, මහනුවර, මාතර ක්‍රීඩා සමාජ පළමු පෙළ තරගාවලියට ක්‍රීඩා කළා. නමුත් අද ඔවුන්ට දක්ෂතා පෙන්වන්න බැරිවෙලා පහළට වැටුණා. ඒ වගේ ක්‍රමවේදයක් අපේ කාලේ ඉඳලාම තිබුණා. ටියර් ‘බී‘ එකට තැනක් දුන්නේ අපේ ක්‍රීඩකයන්ට පිටරට ගිහින් සල්ලි හොයන ක්‍රමවේදයක් හදන්නයි. මොකද මෙහේ පළමු පෙළ තරග 5ක් ගැහුවුවාම එංගලන්තයේ ක්‍රීඩා සමාජයකට ගහන්න පුළුවන්. කෙටි කාලයකදී අපේ ක්‍රීඩකයකුට මිලියනයක් වගේ මුදලක් උපයාගන්න හැකියි’

‘අලුත් පළාත් තරගාවලියකට යෝජනාවක් ආවා. ඒක අපේ කැලැන්ඩරයට දාන්න කටයුතු කරනවා. ඇමැතිතුමා කිවුවා දිරිගැන්වීමේ දීමනා සහිත ක්‍රමයක් යෝජනා කරන්න කියලා. නිකම්ම සල්ලි දෙනවාට වඩා ඒ ක්‍රමය හොඳයි. බේස්රේට් එකක් දීලා දිරිගැන්වීමේ ක්‍රමයක් ඇති කිරීම හොඳයි. තවත් යෝජනාවක් ආවා ක්‍රීඩකයන්ගේ පුද්ගලික දක්ෂතා අනුව අයි. සී. සී ශ්‍රේණිගත කිරීම් ඉහළට යද්දී ඔවුන්ට වෙනම ගෙවීමක් කරන්න. මේ සියලු යෝජනා ක්‍රිකට් දියුණුවට හොඳයි. ඇමැතිතුමාටත් අපටත් ඕනෑ ක්‍රිකට් දියුණු කරන්නයි. දෙපැත්තම එකතුවෙලා ශක්තිමත් ක්‍රමවේද හදනවා’ වික්‍රමරත්න මහතා පැවැසීය.

ඉදිරියේ පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී තම කණ්ඩායම යළිත් නියත වශයෙන්ම ජයගන්නා බව ද ඒ මහතා අවධාරණය කළේය.

‘ගතවූ කාලයේ කොරෝනා අර්බුද මැද අප විශාල වැඩ කොටසක් කළා. පාසල් ක්‍රීඩාව දියුණු කරන්න විතරක් මිලියන 500ක් දුන්නා. ඒ වගේ වියදමක් ඉතිහාසයේදී වෙලා නෑ. පාසල් ක්‍රිකට් සංගමය උනන්දුවෙන් වැඩ කරනවා. පාසල් ක්‍රිකට් හොඳ මට්ටමකට ගෙන ආ යුතුයි. ක්‍රීඩා සමාජවලට සල්ලි දෙන්නේ නෑ. නමුත් ඔවුන්ගේ යටිතල පහසුකම් දියුණු කරනවා. දැන් බලන්න අම්බලන්ගොඩ ධර්මාශෝක – දේවානන්ද හොඳම පාසල් දෙකක් ති‍ෙයනවා. කරන්දෙණිය සෙන්ට්‍රල් එක ති‍ෙයනවා. ඒකට ක්‍රීඩාපිටියක් නෑ. හොඳ ග්‍රවුන්ඩ් එකක් අපි හදනවා. ඒක අල්ලසක් දීමක් ද? දියුණුව දකින්න බැරි උදවිය එක එක දේ කියාවි. හොරු කියයි. දූෂිතයෝ කියයි. ශ්‍රී ලංකා ක්‍රිකට් හැම වියදමක්ම රජයේ විගණනයට යටත්. මොනවා කිවුවත් අපි අපේ ගමන යනවා. ඒක ජනතාවාදී ගමනක් බව අපේ ඡන්දදායකයෝ පිළිගන්නවා. ඒකයි අපි හැමදාම දිනන්නේ. ගිය නිලවරණයට වඩා අපට දැන් ඡන්ද වැඩියි’ ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපතිවරයා පැවැසීය.

ප්‍රින්ස් ගුණසේකර