ෂෙයික් හසීනාට වැරදුණේ කොතැනද ? ජනපති කළ හෙළිදරව්ව

ෂෙයික් හසීනාට වැරදුණේ කොතැනද ? ජනපති කළ හෙළිදරව්ව
Spread the love

කලීඩා සියා මහත්මිය සිරෙන් නිදහස් කිරීම පිළිබඳ මම සතුටු වෙනවා. ෂෙයික් හසීනා මහත්මිය මෙය බොහෝ කලකට පෙර සිදු කළා නම්, ඇයට තවමත් බංගලාදේශයේ අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කළ හැකිව තිබුණා යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනපතිවරයා මේ බව සඳහන් කළේ අද (06) පෙරවරුවේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී ආරම්භ කෙරුණු 2024 පරිසර, සමාජීය හා පාලනය (ESG) පිළිබඳ සමුළුව අමතමිනි.

කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධි ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය විසින් “පැහැපත් අනාගතයක් සඳහා තිරසර මංපෙත්” යන තේමාව යටතේ සංවිධානය කරන ලද මෙම සමුළුව අද දිනය පුරා පැවැත්වෙන අතර පරිසර, සමාජ සහ පාලනය යන ක්ෂේත්‍රයන්හි විශේෂඥයින් 15 දෙනෙකු පමණ තිරසරභාවය සඳහා පරිවර්තනය වීම වෙනුවෙන් වැදගත්වන දැනුම, අවබෝධය සහ නවෝත්පාදන විසඳුම් බෙදා ගැනීම වෙනුවෙන් ඊට එක්ව සිටී.

මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙසේ ද ප්‍රකාශ කළේය. ‘අපගේ මිත්‍ර රටක් වන බංගලාදේශයේ දේශපාලනය පිළිබඳ කතා කිරීමට මා අදහස් නොකරන නමුත් ඒ පිළිබඳ යමක් සඳහන් කළයුතුයි. ෂෙයික් හසීනා මහත්මිය අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්ව ගියත්, අප ඉතා අසීරු අවස්ථාවක සිටිදී ඇය අපේ රටට ඩොලර් මිලියන 200ක් ලබා දුන් බව මම සිහිපත් කළ යුතුයි.

ඒ නිසා මේ මොහොතේ ඇත්තටම වැටී සිටින පුද්ගලයෙකු ගැන හොඳ වචනයක් ප්‍රකාශ කිරීම සාධාරණ යැයි මම සිතනවා. කලීඩා සියා මහත්මිය සිරෙන් නිදහස් කිරීම පිළිබඳ මම සතුටු වෙනවා. ෂෙයික් හසීනා මහත්මිය මෙය බොහෝ කලකට පෙර සිදු කළා නම්, ඇයට තවමත් බංගලාදේශයේ අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කළ හැකිව තිබුණා. බංග්ලාදේශයේ තත්ත්වය ඉක්මනින් සමථයකට පත්වේවායි අප ප්‍රාර්ථනා කරනවා. බංගලාදේශ නැවත යථා තත්ත්වයට පත්වෙනු ඇති බවට මට සැකයක් නැහැ.කෙටි කාලීනව යම් යම් ප්‍රශ්න ඇති වේවි, නමුත් මතක තබා ගන්න ශ්‍රී ලංකාවේ අපටත් ඒ දේම සිදුවුණා. බංගලාදේශයේ විශාලතම ආයෝජකයින්ගෙන් අප ද එක් රටක් වන නිසා අපි ඒ රටේ රැකියා අවස්ථා ඇති කර තිබෙනවා.

ලෝකය තුළ පවතින තත්ත්වයන් යහපත් නොවන බව මෙම සිදුවීම්වලින් පැහැදිලි වෙනවා. නමුත් ශ්‍රී ලංකාව මෙම කටයුතුවලින් ඉවත් වන බවක් එයින් අදහස් වන්නේ නැහැ