සංචාරක ව්‍යාපාරයට යළි කණ කොකා හඬයි ද ?

සංචාරක ව්‍යාපාරයට යළි කණ කොකා හඬයි ද ?
Spread the love

VFS Global විසින් මෙහෙයවන ලද වීසා නිකුත් කිරීමේ ක්‍රමය අත්හිටුවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය මේ වන විට සැලකිය යුතු අර්බුදයකට මුහුණ දෙමින් සිටින බව ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමයේ සභාපති නිෂාඩ් විජේතුංග ප්‍රකාශ කරයි. සංචාරකයින් සහ සංචාරක නියෝජිතයින් රට තුළට ඇතුළු වීමට අවශ්‍ය අනුමැතිය ලබා ගැනීමේ දුෂ්කරතාවයන්ට මුහුණ දෙන බැවින් මෙම තත්ත්වය උද්ගත වී ඇති බව ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.

නැවත ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍ර (ETA) පද්ධතියට සංක්‍රමණය වීම වීසා සම්බන්ධ බාධාවන් අවම කරනු ඇති බවට බලධාරීන්ගේ සහතිකය තිබියදීත්, යෝජිත විසඳුම් ඵලදායී වී නැති බව ද පෙන්වා දෙන විජේතුංග මහතා ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන සංචාරක කර්මාන්තයකට මෙම තත්ත්වය සැලකිය යුතු අභියෝගයක් බවත් පෙන්වා දෙයි.

තාක්ෂණික ගැටලු හේතුවෙන් විදේශ දූත මණ්ඩල හරහා වීසා නිකුත් කිරීමේ උත්සාහයන් අගෝස්තු 6 වන දා නතර විය. අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක වූ මෙම පද්ධතිය දැන් නොමැත.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරන ලද ඔන්ලයින් ක්‍රමය කඩිනමින් යථා තත්ත්වයට පත් නොකළහොත් ශ්‍රී ලංකාවට ශීත සංචාරක සමය අහිමි වීමේ දැඩි අවදානමක් ඇති බවට සංචාරක කර්මාන්තකරුවන්අනතුරු අඟවා ඇත. බොහෝ අසල්වැසි රටවල් සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා වීසා අවශ්‍යතා ඉවත් කර හෝ නොමිලේ ලබා දී ඇති බව ද ඔවුහු පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමයේ  සභාපති නිෂාඩ් විජේතුංග මෙසේ ද පැහැදිලි කළේය,  “අපගේ සාමාජිකයින් පැමිණීම්වල දැඩි පහත වැටීමක් සහ අවලංගු කිරීම් ඉහළ යාමක් අත්විඳිමින් සිටිනවා. දැන් තිබෙන එකම විකල්පය වන්නේ ගුවන් තොටුපළට පැමිණීමෙන් පසු වීසා බලපත්‍රයක් ලබා ගැනීමයි. පැමිණීමේ අංක සහ වසරේ ඉතිරි කාලය සඳහා සකසා ඇති සංචාරක ආදායම සඳහා වන සියලුම ඉලක්ක ළඟා කර ගත නොහැකි වේවි. 2024/25 ශීත ඍතුව සඳහා වෙන්කිරීමේ වාරය සැප්තැම්බර් මාසයේදී ආරම්භ වන අතර, ගැටලුව නොවිසඳී ඇත්නම්, අපට ශීත ඍතු වෙන්කිරීම් ද අහිමි විය හැකියි,”

සංචාරක සංගම් බලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ කඩිනමින් ගැටලුව විසඳන ලෙසත්, උපදෙස් පරිදි Mobitel සහාය දක්වන මාර්ගගත වීසා වේදිකාව නැවත ස්ථාපිත කරන ලෙසත් ය. කෙසේ වෙතත්, මහජන ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දී ඇත්තේ පෙර පැවති ක්‍රමය යථා තත්ත්වයට පත් කිරීම නුදුරු කාලීනව කළ නොහැකි බවයි.

“අපි සමස්ත ආගමන පද්ධතියම ප්‍රතිසංස්කරණය කරමින් සිටින බැවින් අපට පැරණි ක්‍රමයට ආපසු යා නොහැකයි. එසේ කිරීමට දරන ඕනෑම උත්සාහයකට මාස කිහිපයක් ගත වෙනවා” මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පසුගිය සතියේ මාධ්‍ය හමුවකදී පැවසීය.

ප්‍රශ්න විසඳා ගැනීමට සංචාරක අමාත්‍යවරයකු නොමැති වීම ද කර්මාන්තයේ ගැටලුකාරී බව විජේතුංග මහතා පෙන්වා දුන්නේය.