සංචාරක වීසාවලින් ඩුබායි යවන ‘ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ගේ ඛේදවාචකය‘

සංචාරක වීසාවලින් ඩුබායි යවන ‘ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ගේ ඛේදවාචකය‘
Spread the love

මෙසේ ගෘහ සේවය සඳහා රැගෙන යන කාන්තාවන් මාස කිහිපයක් ගත වන තුරුත් එම ස්ථානවල රඳවාගෙන විවිධ දුක් කම්කටොලු ගැහැට විඳීමට සිදු වී තිබෙන බවත් එහි රැඳී සිටින මෙරට රැකියා උප නියෝජිත කණ්ඩායම් මෙරට සිට  යන ගෘහ සේවිකාවන්ට විවිධ හිරිහැර කරදර සිදු කරමින් ආහාර පවා සීමා කිරීම් වල නිරතව සිටින බව ද ඇය පැවසුවාය.

සංචාරක වීසා වලට ඩුබායි රටේ ගෘහ සේවය සඳහා රැගෙන ගිය කාන්තාවන් දෙසීයකට පමණ අධික පිරිසක් ඩුබායිහි නිවසක කාමර වල සිරවී සිටින බව එම ස්ථානයෙන් මිදී මෙරටට පැමිණි කාන්තාවක විසින් හෙළිදරව් කළාය.

දඹුල්ල සුමංගල පුර ප්‍රදේශයේ පදිංචි ඉෂාරා කල්හාරි මහත්මිය  මාධ්‍යවේදීන් කැඳවා තමන් අත්විඳි මෙම සිද්ධීන් පිළිබඳව හෙළිදරව් කිරීමට ඉදිරිපත් වූවාය.

මෙරට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී ඇති විදේශ සේවා නියෝජිත ආයතන හරහා ඩුබායි හි  ගෘහ සේවය සඳහා මෙරට කාන්තාවන් මේ දිනවල විශාල වශයෙන් යවන බවත් එම සෑම අයෙකුම  සංචාරක වීසා වලට  ගොස් එරට නියෝජිත ආයතනයක රඳවාගෙන රැකියා වලට යොමු කිරීම් සිදුකරන බවද ඇය සඳහන් කළාය.

මෙසේ ගෘහ සේවය සඳහා රැගෙන යන කාන්තාවන් මාස කිහිපයක් ගත වන තුරුත් එම ස්ථානවල රඳවාගෙන විවිධ දුක් කම්කටොලු ගැහැට විඳීමට සිදු වී තිබෙන බවත් එහි රැඳී සිටින මෙරට රැකියා උප නියෝජිත කණ්ඩායම් මෙරට සිට  යන ගෘහ සේවිකාවන්ට විවිධ හිරිහැර කරදර සිදු කරමින් ආහාර පවා සීමා කිරීම් වල නිරතව සිටින බව ද ඇය පැවසුවාය.

ඩුබායිහි රඳවාගෙන සිටිය දී තමන් සියසින් අත් දුටු දේ පිළිබඳව ඇය මෙසේ විස්තර  කළාය

“මම ජීවත් වෙන්න විදිහක් නැතුව දරුවෝ  දෙන්න හදාගන්න තමයි රට යන්න තීරණය කළේ. පුංචි පැලක ජිවත් වෙන්නේ  මම  කුරුණෑගල ප්‍රදේශයේ විදේශ රැකියා ආයතන එකට ගිහිල්ලා පාස්පෝට් සියල්ල  බාර දීලා තමයි රට යන්න සූදානම් වුණේ. මට මාසයකට සංචාරක වීසා ගහලා දුන්නා ඩුබායි යන්න ඒ අනුව මම ගියා ඩුබායි වල්ට.”

අපි ඒ රටට ගිහිල්ලා ඉන්නකොට ගුවන්තොටුපොළෙන් ම මහතෙක් ඇවිල්ලා අපිව අරන් ගියා. අරන් ගියපු තැනට  ඇතුල් වෙන කොටම අපේ ජංගම දුරකථන ඔක්කොම ඒ අය ගන්නවා. පුංචි කාමරයක දානවා. දාලා කවුරු හරි අපිව ගන්න අවම  හිනාවෙලා ඉන්න කියලා කියනවා. ගෙදරින් එන ඇමතුමක්වත් අපට ගන්නවත් අවස්ථාවක් දෙන්නේ නැහැ. කලාතුරකින් අපිට ඇමතුමක් ගන්න ඕනේ කිව්වාම ස්පිකර් දාලා කතා කරන්න ඕන එයාගේ අඩුපාඩු එතන තියෙන සිද්ධීන් කිසිවක් කියන්න තහනම් කරලා තමයි තියෙන්නෙ “

එතැන විශාල පිරිසක් කාන්තාවො ඉන්නවා රස්සාවකට යන්න බැරුව.

“හැමදාම වගේ ඒ රටේ   බාබලා එතෙන්ට එනවා  ආපුහාම අපි එක් එක්කෙනා එයාලට පෙන්වනවා ගාන කතා කරනවා. අපට කියනවා හිනාවෙලා ඒ අයට මූණ  දෙන්න කියලා. අපි බැරිවෙලාවත් මුහුණ අසතුටෙන් හිටියොත් හොඳටම බනිනවා. විනාඩි කිහිපයයි වැසිකිලියකට යන්න දෙන්නෙ සීමිත කාලයක් පරිප්පුයි බතුයි තමයි කන්න  දෙන්නෙ. බිම තමයි  නිදාගන්න තියෙන්නේ. අපි හරියට හිරකාරයෝ වගේ පුදුමාකාර දුකක් විඳින්නේ එතන ඉන්න හැමෝම ඒ වගේ තමයි .”

“මම හිතන විදියට අපේ රටේ කාන්තාවෝ දෙසිය  පනහකට වැඩිය  කණ්ඩායමක් මේ අය ළඟ රඳවලා  තියෙනවා. මම මේ සිද්ධිය දැක්කට පස්සේ විදේශ රැකියාවට  ගෘහ සේවය එපා වුණා. මාසෙක සංචාරක වීසා නිකුත් කරලා ඒ රටේ  අපිව  බාර ගන්න කවුරු හරි බාබා කෙනෙක් හිටියොත් තමයි අවුරුදු දෙකක ගෘහ සේවය සඳහා නිකුත් කරනවා කියලා කියන්නේ “

“හැබැයි අපට  කියන්නේ නිවසක් තියෙනවා. ඒ නිවසේ කට්ටිය හොඳයි. අහවල් නිවසට තමයි යන්නේ කියලා සියල්ලම දැනුවත් කරනවා. සමහර වෙලාවල් වලට ඒ නිවසේ කට්ටියත් එක්ක කියලා කතා කරන්නත් දෙනවා. හැබැයි එතෙන්ට ගියාට පස්සෙේ සිද්ද වෙන්නේ වෙනම දෙයක්.”

“මම අසනීප උනා කන්න බොන්න නැතුව ගොඩක් අමාරු උනා. දින දහයක් පමණ ගත වෙද්දී මට අඩුම තරමේ නැගිට ගන්නවත් බැරි තත්ත්වයකට පත් වුණා .මම ලංකාවේ රැකියා ආයතනයට කතා කරලා කිව්වා ගොඩක් අමාරුයි කියලා. ඒ වගේම දිගටම බඩගින්නෙ ඉඳලා ලේ වමනෙ යන්න පවා ගත්තා. පස්සේ මාව නැවත ගෙන්න ගත්තා.”

” එතන හිර වෙලා ඉන්න ගොඩක් අය දුක් විඳිනවා ඩුබායි වලට සංචාරක විසා වලින් ගිහිල්ලා මේ වගේ අපේ  කාන්තාවෝ දුක් විඳින නිසා මට කිව්වා බය නැතුව රටට ගිහිල්ලා මේවා හෙළි කරන්න කියලා .මම ඇස් දෙකෙන් දැකපු දේ තමයි රටට හෙළි කරන්න තීරණය කළේ. අපේ රටේ කාන්තාවන්ට සිද්ධවෙන දේ සොයා බලන්න කියලයි ඉල්ලා සිටින්නේ “

“මෙම කාන්තාව ඩුබායි සේවය සඳහා සංචාරක වීසා වලට යැවූ කුරුණෑගල ප්‍රදේශයේ පෞද්ගලික රැකියා ආයතනයේ නියෝජිතයෙකු ගෙන් අප විමසීමේදී ඔහු කියා සිටියේ විදේශසේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී ඩුබායි රැකියා වලට යවන බහුතරයක් කාන්තාවන් සංචාරක වීසා වලට යවන බවය .සංචාරක වීසා යන කාන්තාවන් එම රටේ රැකියාවක් සොයා ගැනීමෙන් අනතුරුව ඔවුන්ට වසර දෙකක වීසා එරටින් ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බවත් මෙම කාන්තාව අසනීප වීම නිසා නැවත ලංකාවට රැගෙන ආ බවද ඔහු පැවසීය.’”

විදෙස් සේවා නියුක්ති කාරයංශය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරි මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය මහතා ගෙන් අප මේ පිළිබඳව වූ විමසීමේදී කියා සිටියේ ඩුබායි රටට යන අවස්ථාවන් රැසක් සංචාරක වීසා වලට යැවීම සාමාන්‍යයෙන් සිදුවන ක්‍රියාවලියක් බව ය. එම අයට හාම්  පුතෙකු ලැබුණු පසුව  විසා දික්කර දෙන බවත්  නැවත රැකියා නියෝජිත ආයතනය විසින් කාර්යංශයට දැනුම් දිය යුතු බවත් ඒ අනුව සංචාරකක විසා වලට ඩුබායි වලට යැවීම සිදු කරන බව ඔහු සඳහන් කළේය.

සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස