ස්වීඩනයේ පළමු කාන්තා අගමැතිනිය පත්වී පැය කිහිපයකට පසු ඉල්ලා අස්වෙයි

ස්වීඩනයේ පළමු කාන්තා අගමැතිනිය පත්වී පැය කිහිපයකට පසු ඉල්ලා අස්වෙයි
Spread the love

බොහෝ මන්ත්‍රීවරු බදාදා පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී මැග්ඩලීනා ඇන්ඩර්සන් (දකුණේ) ට තම ආසන වලින් නැගිට ආචාර කළහ

ස්වීඩනයේ පළමු කාන්තා අගමැතිනිය පත්වී පැය කිහිපයකට පසු ඉල්ලා අස්වී තිබේ. මැග්ඩලීනා ඇන්ඩර්සන් එරට නායිකාව ලෙස බදාදා ප්‍රකාශයට පත් කරන ලද නමුත් ඇගේ සභාග රජයේ හවුල්කාර පක්ෂය රජයෙන් ඉවත් වීම නිසා ඇය තම ප්‍රථම අයවැය සම්මත කරගැනීමට අපොහොසත් වීමෙන් පසු ඉල්ලා අස්විය.

ඇය ඉදිරිපත් කළ අයවැය වෙනුවට, සංක්‍රමණ විරෝධී අන්ත දක්ෂිනාංශික පක්ෂවලින් සමන්විත විපක්ෂය විසින් සකස් කරන ලද අයවැයක් සඳහා පාර්ලිමේන්තුව ඡන්දය ප්‍රකාශ කළේය.

“මට ඉල්ලා අස්වීමට අවශ්‍ය බව මම කථානායකවරයාට පැවසුවා,” ඇන්ඩර්සන් වාර්තාකරුවන්ට පැවසුවාය.

ඇයගේ සභාගයේ හවුල්කරුවා වන හරිත පක්ෂය පැවසුවේ “පළමු වරට කෙටුම්පත් කරන ලද අන්ත දක්ෂිනාංශික ” අයවැයක් පිළිගත නොහැකි බවයි.

තනි පක්‍ෂයක ආණ්‌ඩුවක් පිහිටුවිය හැකි රජයක නායිකාවක්‌ ලෙස නැවත අගමැති වීමට උත්සාහ කිරීමට බලාපොරොත්තු වන බව ඇන්ඩර්සන් පැවසීය.

“සභාග රජයක එක් පක්ෂයක් හෝ ඉවත් වූ විට සභාග රජයක් ඉල්ලා අස්විය යුතු බවට ව්‍යවස්ථාපිත භාවිතයක් තිවෙනවා” යනුවෙන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය බදාදා ප්‍රකාශ කළේය. “නීත්‍යානුකූලභාවය ප්‍රශ්න කරන රජයකට නායකත්වය දීමට මට අවශ්‍ය නැත.”

මීළඟ පියවර සම්බන්ධයෙන් පක්ෂ නායකයින් සමග සාකච්ඡා කරන බව කථානායකවරයා පැවසීය.

බදාදා පෙරවරුවේ ඇන්ඩර්සන් අගමැති ලෙස තේරී පත් විය. ස්වීඩනයේ නීතියට අනුව අගමැතිවරයා වීමට අවශ්‍ය ඇයට විරුද්ධව බහුතර මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් ඡන්දය ප්‍රකාශ නොකිරීම පමණි.

ස්වීඩනයේ කාන්තාවන්ට ඡන්ද අයිතිය ලබා දීමෙන් වසර සියයකට පසුව, 54 හැවිරිදි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා අගමැති ලෙස පතිවූ විට ස්වීඩනය රික්ස්ඩැග් ලෙස හදුන්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කොටසක් තම ආසන වලින් නැගිට ඇයට ආවාර කරන ලදී.

ස්වීඩන් ජනතාවගේ යම් කොටසකට ඉහල විශ්‍රාම වැටුප් ගෙවීමේ එකඟතාවය මත අවසන් මොහොතේ වාමාංශික පක්ෂ සමග ඇතිකරගත් එකඟතාවය නිසා සුලුතර ආන්ඩුවක ප්‍රධානියා ලෙස පතිවීමට ඇයට හැකි විය.

රික්ස්ඩැග් හි සාමාජිකයින් 349 දෙනාගෙන් 174 දෙනෙකු ඇයට විරුද්ධව ඡන්දය දුන්හ. එහෙත් ඇන්ඩර්සන්ට මන්ත්‍රීවරුන් 117 දෙනෙක් සහාය දුන් අතර තවත් 57 දෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටීම නිසා ඇයට එක් වැඩි ඡන්දයකින් ජයග්‍රහණය හිමි විය.

1996 දී එවකට අගමැති ගෝරාන් පර්සන්ගේ දේශපාලන උපදේශකවරියක් ලෙස සිය දේශපාලන ජීවිතය ආරම්භ කළ ඇය, උප්සලා විශ්ව විද්‍යාල නගරයේ හිටපු කනිෂ්ඨ පිහිනුම් ශූරියෙකි.

ඇය මුදල් ඇමතිවරයා ලෙස පසුගිය වසර හතක කාලයක් ක්‍රියාකර ඇත.

මැග්ඩලීනා ඇන්ඩර්සන්ට මන්ත්‍රීවරුන් සහාය දැක්වා අගමැති ලෙස පත්කිරගැනීමට පෙර, ස්වීඩනය කිසිදාක කාන්තාවක් අගමැති ධුරයට පත් නොවූ එකම නෝර්ඩික් රාජ්‍යය විය.

2px presentational grey line
Analysis box by Maddy Savage, Stockholm

මැග්ඩලීනා ඇන්ඩර්සන් ස්වීඩන ඉතිහාසයේ පළමු කාන්තා අගමැතිනිය වීම ඇයට එම රාත්‍රිය සැමරීමට හේතුවක් වූ වත්, ඉර බැස යන්නටත් පෙර ඇයට තම ඉල්ලා අස්වීම දැනුම් දෙන සිදුවීම දෛවයේ සරදමකි.

ස්වීඩන දේශපාලනයේ ඇති සංකීර්ණතාවලින් අදහස් වන්නේ අපි මේ දුටුවේ ඇයගේ අවසානය යැයි උපකල්පනය කළ නොහැකි බවයි. අගමැති තේරීමට තවත් ඡන්දයක් පැවැත්වුවහොත්, ඇන්ඩර්සන් නැවත ජයග්‍රහණය කරනු ඇත. ඒ, සභාග හවුල්කාරිත්වයෙන් ඉවත් වුවද හරිත පක්ෂය නැවතත් ඇයට සහය පළ කිරීමට පොරොන්දු වී ඇති බැවිනි.නමුත්, පාර්ලිමේන්තුව දැනටමත් ඡන්දය දී සම්මතකර ඇති දක්ෂිනාංශික අයවැය මත පිහිටා ක්‍රියාකිරීමට සිදුවී ඇති බැවින් අස්ථාවර සුළුතර ආන්ඩුවකට නායකත්වය දීමේදී ඇය අවදානමට ලක්විය හැකි තත්ත්වයකට පත්වනු ඇත.

මෙම සියලු දේශපාලන අවුල් සහගත බව අවධාරණය කරන්නේ ස්වීඩන දේශපාලනය මේ වන විට කෙතරම් බෙදී ඇත්ද යන්නයි. ලබන වසරේ පැවැත්වෙන මැතිවරණයේ දී ඡන්දදායකයින් සැලකිය යුතු ලෙස දක්ෂිණාංශික හෝ වාමාංශික යන පක්ෂවලට මාරුවීමකින් අද පවතින මෙම අවහිරය බිඳ දමයිදැයි අපට බලා සිටීමට සිදුවී ඇත.

bbc