ළහිරු තිරිමාන්නට සහ මිකී ආතර්ට කොරෝනා ආසාදනය වෙලා

ළහිරු තිරිමාන්නට සහ මිකී ආතර්ට කොරෝනා ආසාදනය වෙලා
Spread the love

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතාට සහ ශ්‍රී ලංකා ක්‍රිකට කණ්ඩායමේ ආරම්භක පිතිකරු ළහිරු තිරිමාන්නට කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විසින් අද (03) දින නිකුත් කළ නිවේදනයක සදහන් වෙනවා.

එම මාධ්‍ය නිවේදනයේ මෙසේද සදහන් වේ.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග සංචාරයට සහභාගිවීම සදහා සූදානම් වෙමින් සිටින ක්‍රීඩකයින් 36 කුගෙන් සමන්විත තාවකාලික ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටින ළහිරු තිරිමාන්නට සහ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ට කොවිඩ් – 19 වෛරසය ආසාධනය වී තිබෙන බවට සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.

කොදෙව් සංචාරය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා සංචිතය ඉකුත් ජනවාරි 28 වැනිදා සිය පුහුණුවීම් ආරම්භ කළඅතර ඊයේ (02 වැනිදා) සිදුකරන ලද පී. සී. ආර්. පරීක්ෂණවල වාර්තාවන්වලට අනුව මොවුන් දෙපළට වෛරසය ආසාධනය වී තිබෙන බව අනාවරණය වී තිබේ. ඒ අනුව වහාම ක්‍රියාත්මක වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කොරෝනා වැළඳීමේදී රජය විසින් අනුගමනය කරනු ලබන සෞඛ්‍ය නීති වලට අනුව ඔවුන් දෙපළ දැනුවත් කර තිබේ.

ක්‍රීඩකයින් 36 දෙනෙකුගෙන් සමන්විත පුහුණු සංචිතය සෞඛ්‍යාරක්ෂිත භාවය පිළිබඳව අවධානය යොමු කරමින් කාණ්ඩ 3 ක් යටතේ සිය පුහුණුවීම් වල නිරත විය. ඊට අමතරව ජාතික කණ්ඩායමේ පුහුණුකරුවන්, ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ පුහුණුකරුවන් මෙන්ම පුහුණුවීම් සඳහා යොදා ගනු ලබන පන්දු යවන්නන්(Net Bawler) සියල්ලම ඇතුළත් වන පරිදි එම පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර තිබේ.

වත්මන් තත්ත්වය මත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය නැවත පැවැත්වීමේ හැකියාව පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය මෙම මස 20 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබුණි. තත්ත්වය එවන් තලයක පත්වද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩ කටයුතු සාමාන්‍ය පරිදි සෞඛ්‍ය රෙගුලාසිවලට මුල් තැන දෙමින් දිගටම සිදුකරගෙන යනු ඇත.