ඔවුහු විස්මයජනක වෙදැදුරෝය. තුවාලවලට, ගෙඩිවලට, කැඩුණු අත්පාවලට, ඔවුහු දින කිහිපයකින් සුවය ලබා දෙන්නට සමත් වෙති. පිළිකා අපට සුවකළ නොහැකි රෝගයක් වූවාට ඔවුනට එසේ නොවේ. ඔවුහු පිළිකා දින අටකින් සුව කරති. සමෙහි හෝ බාහිර කැළැලක් වූවා නම් එය කලින් එතැන තිබුණාදැයි සොයාගත නොහැකි වන තරමටම කැළැල් සුව කරති. මා මෙම දිවයිනේ සිටි කාලය තුළදී හමුදා සොල්දාදුවන්, කපිතාන්වරුන් ඔවුන්ගේ ප්‍රතිකර්මවලින් සුවය ලබනු දැක ඇත. වඩාත් විස්මයජනක වන්නේ ඔවුන් එය එතරම්ම සැහැල්ලුවෙන් කරන අන්දමය.
(ජොආ රිබෙයිරෝ, 1641-1658 කාලය තුළ ලංකාවේ සේවය කළ පෘතුගීසි සොල්දාදුවෙක්)
හෙළ වෙදකම පිළිබඳව විස්මයට පත් පෘතුගීසිකාරයෙක් කීවේ එහෙමය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මේ රටේ පාරම්පරික දේශීය වෙදකම අසිරිමත්ය. විමතිය දනවනසුලුය. ප්රත්යක්ෂය. අප රට වෙදකමේ ඉතිහාසය අන් කිසිදු රටකට සම කළ නොහැකි තරම්ය. ලෝකයේ ප්‍රථම අංග සම්පූර්ණ රෝහල වන මිහින්තලේ රෝහල, ව්‍යුහයෙන් වත්මන් නවීන රෝහලකට සමානය.
හෙළ වෙදකමේ අනුහස් අපමණය.
ඒ බව තහවුරු කරගන්නට කිසිවකුට අවශ්‍ය නම් යා යුතුව තිබෙන තැනක් වෙයි. මේ කතාව ඒ ගැනය. අනුරාධපුරය මෙරට පාරම්පරික වෛද්‍ය විද්‍යාව සම්බන්ධ පතළ කීර්තියක් තිබෙන ප්‍රදේශයක්ය. (ක්‍රි.ව 340-368) වකවානුවේ මෙරට රජකම් කළ බුද්ධදාස රජු වනාහි ගමක් ගමක් පාසා වෙදහල් ඉදිකළ, සතුනට පවා ප්‍රතිකාර කළ රජෙකි. වෙදෙකි!
ඔබ අසා තිබෙන ඉතිහාස කතාව තරම්ම අපූරු කතාවක් අනුරාධපුර බුල්නෑවෙන් ඔබට අසන්නට පිළිවන. ඒ ස්වකීය විස්මිත දේශීය වෛද්‍ය විද්‍යාවේ අනුහසින් සුවහසක් රෝගීන්ට ජීවිතය ගෙනැත් දෙන වෙදැදුරෙක් පිළිබඳවය.
“බුල්නෑවේ ඉන්නවා පුදුම වෙද මහත්තයෙක්. මරණාසන්න අංශබාග රෝගියෝ දවස් 20න් දෙයියනේ කියලා නැඟිට්ටුවන්න වෙද මහත්තයාට පුළුවන්. කතා කරන්න දෙයක් නෑ බුද්ධදාස රජුජුරුවන්ගෙ අවතාරේ ඔන්න. මම මේ කියන්නේ ඇත්දැකීමෙන්”
අරුමෝසම් වුවමනා නැත. මංචපරායනව යහනට වන්ව සිටි වියපත් මිනිසා ඉන් මිදී සුවපත් වූ පී‍්‍රතියෙන් මුසපත්ව කී ඒ කතාවම ප්රමාණවත්ය. දැන් කළ යුත්තේ මේ විස්මිත වෛද්‍යවරයා සොයා යෑමය.
ළා කහපාට ඉර එළිය තවරාගත් කලා වැවේ ඉසිහින් දියරැලි රළපනාවෙහි වදින අරුණැල්ලේ බුල්නෑවට යා යුතුය. රෝගීපත් දහස් ගණන් දනන් නිතිපතා පැමිණෙන හෙයින් වෙද මැඳුර නිරන්තර කාර්යබහුලය. වර්ජන නැතිව, අරගල නැතිව, ඉල්ලීම් නැතිව හැම තත්ත්පරයක්ම රෝගීන් වෙනුවෙන් වෙන්කරන වෛද්‍යාචාර්යතුමා අවිවේකීය. ප්‍රසිද්ධිය හෝ ප්‍රචාරය නොබලා වසර ගණනාවක් මුළුල්ලේ ලක්ෂ ගණන් රෝගීන් සුවපත් කළ හෙතෙම ඉදිරියටත් මහා ලොකු “මීඩියා පබ්ලිසිටි” බලාපොරොත්තු වන්නේද නැත. එහෙත් මේ ආශ්චර්යවත් ජීවකයා ගැන කියන්නට “මව්බිමේ අපට” වගකීමක් තිබේ.
වෑ කණ්ඩිය කෙළවර ඉහත්තාවෙන් කළු පාට තාර පාරය. ඉර එළිය රළුව එකවර බිමට කඩා වැටෙන්නට ඉඩ නොදී බිඳෙන් බිඳ පෙරා බිමට පාත් කරන්නේ, වීර, කුඹුක්, කොහොඹ ආදී තුරින් සැදි වියනක්ය. ධාතුසේන රජුගේ නැඟණියක විසින් තනවන ලදුව පසු කලෙක කලා ඔයට අෑඳනු ලැබූ බලලු වැව ඊට යාබදවය. කලාවැව, අවුකන ගම ඉහත්තාවේ පිහිටි බුල්නෑව ගම හරිත වියනක් තරම් අසිරිමත් ගමක්ය. අපි සොයාගිය ජීවකයා සිටින්නේ එහිය. විසල් වපසරියක පිහිටි වෙද මැඳුර පන්සලක් තරම් සංසුන්ය.
“බුල්නෑවේ වෙද මහත්තයා ඉන්නේ කොහෙද…?”
ඔබ අනුරාධපුර කොහේ සිට විමසුවත් ඔහු සිටිනා ඉසව්ව කියන්නට ඉදිරිපත් නොවන කෙනෙක් නැත. ඉඳින් අපට මඟ සොයා ගැනීම අපහසු නැත. ඔබටද එසේමය. කවුරුන් හෝ ඔබට කීවොත් ඔහු “ෙදාරවේ වෙදමහත්තයා” කියා ඔබ නොසන්සුන් නොවන්න. ඔහු එහෙමද ප්රකටය. එහෙත් ඔහු ඉන්නේ බුල්නෑවේය. වෙද මහතාගේ සැබෑ නම ඒකනායක මුදියන්සේලාගේ තෙන්නකෝන් බණ්ඩාය.
ළා කහපාට හිරු එළිය එබිකම් කරද්දී අපට ඇස ගැටෙන වෙද මැඳුර රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොසිනි. අංශබාග රෝගීන්, මොළේ උණ රෝගීන්, නහර සිහින් වීමෙන් වේදනා විඳින රෝගීන්, මස් මාංස දියවීමේ භයානක රෝගයෙන් පෙළෙන්නන්, මාරාන්තික ස්නායු ආබාධ රෝගීන් මතු නොව පිළිකා රෝගීන් පවා වෙද මැඳුර පුරා විසිරී සිටී.
මරණය පිටත බවත් ජීවිතය මෙතැන බවත් විශ්වාස කරන රෝගීන්ගේ විශ්වාසය යථාවත් කිරීමට බුල්නෑවේ ජීවකයාණන් සමත්ය.
එක් පසෙකින් නේවාසික රෝගී වාට්ටුවය. තැන තැන පිළිවෙළට සැකසූ ප්‍රතිකාර කුටිය. බෙහෙත් ඔරු කිහිපයක්ය. මූලික ප්‍රතිකාර ධූමයෙන් පංචකර්ම ප්‍රතිකාරයේදී සුව පහසු කරවන ලෙඩුන් අහවර බෙහෙත් ඔරුවේ ලා ප්‍රතිකාර සිදුකෙරේ. ගිමන් හරින්නට තැන තැන බංකුය. රූස්ස කොහොඹ සෙවණ ගතට සිසිලක්ය.
“ජීවිතේ ඉවරයි කියලා හිත හදා ගන්න කියලා ඉස්පිරිතාලෙන් ගෙදර එව්වා. අසාධ්‍ය වෙලා ඉන්නකොට පුතාලා හාමුදුරුවෝ වඩම්මලා පිරිතුත් කියෙව්වා. මම හිටියේ මරණය පෙනි පෙනී. මේ ජීවකයාණන් ගැන කියලා තිබුණේ පුතාගේ යාළුවෙක්. ඉතින් එයාලා මාව මෙහෙට ගෙනත් දවස් විස්සක් ප්‍රතිකාර කරලා මාව ගොඩගත්තා. මේ දෙවියෙක් මහත්තයෝ!”
එහෙම කියන්නේ මාතලේ සිට පැමිණි කමලාවතීය. අංශබඩාගයෙන් පීඩා විඳි ඕ දැන් බෙහෙවින් සුවපත්ය. වෙද මහතාගෙන් ප්‍රතිකාර ගන්නා පිරිස අතර දේශීය සේම විදේශීය රෝගීන්ද වෙයි. තමන් සුවපත් වීම පිළිබඳව දැඩි විශ්වාසය යථාර්ථයක් වී තිබේ.
වත්මන් ලෝකය මුදල පිටුපස හඹා යන මිනිසුන් පිරී ඉතිරී සිටින ලෝකයක්ය. එහෙව් ලෝකයක පරෝපාකාරය වෙනුවෙන් කැපවූ මිනිසුන් දුලබය. තෙන්නකෝන් වෙදමහතා සහමුලින්ම පරෝපාකාරයට කැපවූ ජීවකයෙක්ය. තමා දැන උගත් පාරම්පරික විස්මය හෙතෙම උපයෝගී කරගන්නේ නෙක දනන්ගේ ජීවිත ගොඩදැමීමේ පින්කම උදෙසාය. උඩුකය තුවායකින් පොරවාගෙන හේ රෑ දවල් නැතිව මෙහෙවරේ යෙදෙයි. කුරුණෑගල කුඹුක්ගැටේ ඉපිද පාරම්පරික හෙළ වෙදකමේ මහිමය පියාගෙන් සේම කිරි අත්තාගෙන්ද ලබාගත් ඔහු එය අද මෙතෙර සේම එතෙර රෝගීන් සුවපත් කිරීමටද යොදවා තිබේ.
මරණාසන්නව ගිලන්හලට ගෙනැවිත් දැමූ අඩපණ රෝගීන් කෙමෙන් ඇස් අරින තැන සිට හිස යාන්තමට ඔසවා අනතුරුව වැටි වැටී නැඟිටින්නටත්, එතැන් සිට සවිබලව ඇවිදින්නටත් ඉක්බිති නිරෝගී මිනිසකු කරන්නටත් මේ ජීවකයාණන් සමත්ය.
රට පුරා ඇවිද ප්‍රතිකාර සොයා සුව නොලද තැන මෙහි පැමිණි දහස් ගණනක් රෝගීන් සුවපත් කරන්නට තෙන්නකෝන් වෙද මහතාගේ ප්‍රතිකාරවලට ශක්තිය තිබිණි. යන්ත්‍ර කිසිවක් පාවිච්චි නොකර මිනිස් ශ්‍රමයෙන් සියලු ඔෟෂධ සකසන වෙද මහතා ඒ සියල්ලම පෞද්ගලිකව සොයා බලයි. අංශබාගයෙන් පීඩිත, වකුගඩු රෝගයෙන් අසාධ්‍ය, පිළිකා රෝගයෙන් මරණාසන්න රෝගීන් 150ක් පමණ නේවාසිකව තබාගෙන හෙතෙම ප්‍රතිකාර සේම උවටැන්ද කරයි.
“බුලත් දීලා දිවුරුම් දීලා ආව හැමෝම රෝගියෝ එක වගේ. හැමෝටම ප්‍රතිකාර කරන එක මගේ යුතුකම. දෙන මුදල වැඩක් නෑ. බුලත් කොළේ අස්සේ තියෙන මුදල ගැන හිතුවොත් මේ වෙදකම කරන්න බෑ. රෝගියයි වැදගත්. මේ අය ඉක්මනින් සුවපත් වෙනවා දකින්නයි මගේ බලාපොරොත්තුව” යැයි ජීවකයාණෝ පවසති.
“මහා කරුණා ඇති ඒ රජ තෙමේ සැත්ක මිටිය ඉණ තබාගෙන හැසිරෙන්නේ දුටු දුටු රෝගාතුර ජනයා රෝ දුකින් මිදී” (සිංහල මහාවංසය _ 169 පිටුව) කියා බුද්ධදාස රජු ගැන මහාවංසය තතු කියයි. තෙන්නකෝන් වෙද මහතාගේ අත්ගුණය ලබන සකල රෝගීන් සුඛී සුවපත් භාවයට පත් වෙති.
“මරණය පෙනි පෙනී මෙහේ ආව මට ආපහු පණ කෙන්ද රැකලා දුන්නේ වෙද මහත්තයා. දෙවියෝ ගැන අපි අහලා තියෙනවා. ඒත් මිහිපිට හැබහින් දෙවියෝ ඉන්නවා කියලා හිතෙන්නේ මෙහෙම මිනිස්සු දැක්කම. මේ මහ ආශ්චර්යවත් මනුස්සයෙක්.”
ස්නායු රෝගයෙන් පීඩා විඳ තෙන්නකෝන් වෙද මහතාගෙන් දැන් ක්‍රමානුකූලව සුවයක් ලබා සිටින ජයතිලක එහෙම කියයි.
සිරුරේ මස් දියවෙන භයානක රෝගයෙන් පීඩිතව සිටි වයස 15ක පමණ දරුවෙක් බේරාගන්නට නොගිය තැනක් නැති මවක් අන්තිමට නැවතුණේ මේ වෙද මැඳුරේය. දැන් දරුවා කෙමෙන් සුවපත්ය. එවකු නොව කැඩී ගිය පාද, බිඳී ගිය අස්ථි, සුවපත් කිරීම පවා මෙතැන සිදුවේ.
එතැනට යන කෙනකුට එහෙම කතා ඕනෑතරම් හමුවේ. අහිමි වෙන්නට ඔන්න මෙන්න කියා තිබූ ජීවිතය නැවත හිමිවෙන කොට දැනෙන හැඟීම වචනවලට පෙරැළීමට කාටවත්ම පහසු නැත. බොහෝ විට එවැනි අවස්ථාවල කතා කරන්නේ හදවත හෝ දෙනෙත්ය. එහෙම කතා කරන මිනිස්සු වෙද මැඳුර පුරා වෙති.
වෙද මහතාගේ මෑණියෝ් තාමත් යෙහෙන් සුජීවත්ව වාසය කරමින් තම පුතණුවන්ට ආශීර්වාද කරයි.
“මම ප්‍රතිකාරයක් කරලා යම් මුදලක් ගන්නවා නම් ඒ හැම සතයක්ම මම ආපහු මේ අහිංසක රෝගීන්ට වියදම් කරනවා. මෙතැන සෑම ජාතියකම මිනිස්සු ඉන්නවා සෑම ආගමකම මිනිස්සු ඉන්නවා. පිටරටවල මිනිස්සු පවා ඉන්නවා. හැමෝම රෝගියෝ. හැමෝම සුවපත් කරන්න මම කැප වෙනවා. හැමෝගෙම ජීවිත, ජීවිත මහත්තයෝ”
නැවතත් ඉතිහාස පොත සිහිපත් වේ.
“…. මහා නාගය තොපගේ ඊමෙහි කරුණ මා විසින් දන්නා ලද්දේය. මහ තේජස් ඇති තෙපි වූ කලී වහා කිපෙන සුල්ලහ. එහෙයින් තා ස්පර්ශකොට තාගේ පිළිවස කරන්නට නොහැක්කෙමි….”
උදරාබාධයකින් පීඩිතව සිටි නාගයකුට ප්‍රතිකාර කළ බුද්ධදාස රජුගේ වචන එහෙම ලියා තිබෙන්නේ මහාවංසකරුය. සියලු සත්ත්වයන් කෙරෙහි වූ අපිරිමිත දයාව, කරුණාව හේතුවෙන් මිනිසුන් පමණක් නොව සතුන්ද සුවපත් කිරීමට රජු කටයුතු කළේය. තෙන්නකෝන් වෙදමහතා රජෙක් නොව සිරිමත් ජීවකයෙකි. පනස් හතර වන වියේ පසුවන තෙන්නකෝන් වෙද මහතා මේ කෙටි කාලය තුළ සුවපත් කළ රෝගීන් ගණන ලක්ෂ ගාණකි. හැටදහසකට වැඩි ලිපින ගොන්නක් පුස්තක කිහිපයක් පුරා ලිඛිත සාක්ෂි සපයයි. අංශබාග, පිළිකා, සුෂුම්නා ආශි‍්‍රත රෝග ඇතුළු සර්වාංග රෝගවලට හෙතෙම ඉසිවරයෙකි. එතුමාගේ බිරිය සමඟ දරුවන් සිවුදෙනාද මේ මෙහෙවර වෙනුවෙන් කැපවී සිටී. බිරිය සියලු රෝගීන්ට මවක් සේ කරුණාබරව උවටැන් කරයි. දියණියන් විවාපත් බෑනාවරුන්ද මේ වෙනුවෙන් පේවී සිටී.
“ඕනෑම අංශබාග රෝගියෙක් මම දවස් විස්සෙන් සුවපත් කරනවා මහත්තයෝ”
වෙද මහතා නිරහංකාරව පවසයි. විටෙක වෙද මැඳුර පන්සලක් වැනිය. තම තමන්ගේ ආගම සිහිපත් කිරීමට කාලයක් වෙන්කොට තිබේ.
“ලෙඩුනට උපස්ථාන කිරීම මහා පින්කමක් හැටියට මා සලකන්නෙ. ලෙඩෙක් සුවපත් වෙනවා තරම් සතුටක් කොහෙද මහත්තයෝ. මෛත්‍රි බෝධි සත්වයන් වහන්සේ මේ ලෝකෙ බුදුවන දවසෙදි උන්වහන්සේගේ ජීවකයා වෙන්න මම ප්‍රාර්ථනා කරනවා. මේ සුව වෙන හැම ලෙඩෙක්ම සුව කරලා මම ඒ ප්‍රාර්ථනය කරනවා”
විහාරස්ථාන රැසක භික්ෂූන් 110ක් කැඳවා සංඝගත දක්ෂිණාවක් පවත්වා ඔහු ප්‍රාර්ථනා කරන්නට ඇත්තේද ඒක විය යුතුය.
හෙළ වෙදකම මෙම වාණිජ පරමාර්ථයන් ඉක්මවා ගිය එකක් වූ අතර රටවැසියන්ගේ සුඛිත මුදිත බව රජුගේ වගකීමක් ලෙස සලකන ලද හෙයින් වෙදකමට රජය විසින් අනුග්‍රහය දෙන ලදී. රෝගීන් සුවපත් කරන වෛද්‍යවරුන්ට එම සේවය අගයනු වස් දීමනාවක් ලබාදීමට එකල රජතුමා විසින් කටයුතු කරනු ලැබීය. රජුන් විසින් වෛද්‍යවරුන්ට ඉඩකඩම් ලබාදුන් බව චුල වංසය සඳහන් කරයි.
හෙළ වෙදුන්ගේ ඉලක්කය වූයේ රෝගියා සුව කිරීම පමණි. ඔහු වෛද්‍ය ගාස්තුවක් බලාපොරොත්තු නොවීය. තෙන්නකෝන් වෙද මහතාද මුදලට වඩා මනුස්ස ජීවිත ගොඩදැමීම ගැන සිතන්නෙකි.
ජීවිතය රැක දෙන්නැයි ඉල්ලා වෙද මැඳුරට එන රෝගීන් අපමණය. ඒ හින්දාම ජීවකයාණන්ද කාර්යබහුලය. හැම තත්ත්පරයක්ම ඔහුට අගනේය. ජීවිත ඉල්ලා හඬා වැටෙන මිනිසුන් වෙනුවෙන් ඔහු ස්වකීය කාලය වෙන් කරලාය.
සියල්ල මුදල් මත නියම වන ලෝකයක සැබෑ පරෝපාකාරය කුමක්දැයි කියා දැන ගන්නට ගල්නෑව බුල්නෑව, රැස්වෙහෙර පාරේ තෙන්නකෝන් වෙදමහතාගේ ජීවක මැඳුරට යන්න යැයි අපි කියමු.
උපුටා ගැනීම: මව්බිම