අගමැති ආසියාන් ලෝක ආර්ථික සමුළුව අමතයි

අගමැති ආසියාන් ලෝක ආර්ථික සමුළුව අමතයි
Spread the love
ආසියාව කේන්ද්‍ර කොට ගෙන ඉදිරි දශක කීපය තුළ නව ලෝක ආර්ථිකයක හැඩතල නිර්මාණය වන බැවින්, ආසියාන් සංවිධානයට හා ආසියානු ආර්ථිකයේ දැවැන්තයන්ට ආසියානු භු දේශපාලනික ස්වරූපය සම්බන්ධව සුවිශේෂී කාර්ය භාරයක් පැවරෙන බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
හැනොයි නුවර ‘ආසියාන්’ ලෝක ආර්ථික සමුළුවේ අද (13)  ‘ආසියානු භූ දේශපාලනික ස්වරූපය’ මැයෙන් පැවති සාකච්ඡා මණ්ඩපයට එක් වෙමින් වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් පැවසූයේ ආසියානු ආර්ථිකයේ අනාගතය රදා පවතින්නේ ඉන්දු ශාන්තිකර සාගර නිදහස් නාවුක ගමනාගමනය මත බවය. 
ඒ නිසා කලාපීය බලවතුන්, සාගරය භාවිත කරන්නවුන්, කලාපීය සමුද්‍රාසන්න රටවල් හා සියළු පාර්ශවයන් එක්ව, පිළිගත් සම්මතයන්ට අනුකූල නිදහස් සාගර ප්‍රතිපත්තියක් අනුගමනය කරලීමේ වැදගත්කම ද වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
වියට්නාමයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා විදේශ අමාත්‍ය ෆාම් බින් මින් දකුණු කොරියාවේ  විදේශ ඇමතිනී කං ක්‍යුං වා , ජපාන විදේශ අමාත්‍ය තරො කොනො සහ කේමිබ්‍රිජ් විශ්ව විද්‍යාලයේ හා ආසියානු උපාය මාර්ගික අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනයේ ජ්‍යේෂ්ඨ පර්යේෂිකා ආචාර්ය ලින් කුක්  යන මහත්ම මහත්මීහු සාකච්ඡා මණ්ඩපයේදී අදහස් දැක්වූහ.
නව ආර්ථික ප්‍රවණතාවන් හමුවේ ආසියානු කලාපය මුහුණ දෙන අභියෝග, තර්ජන පිළිබඳව සහ ඒවා ජය ගැනීමේ සාමූහික ක්‍රියා පිළිවෙත් පිළිබඳවද මෙහිදී අදහස් පළ කෙරිණි.
සාකච්ඡාව මෙහෙයවන ලද්දේ සිංගප්පූරුවේ චැනල් නිව්ස් ඒෂියා ආයතනයේ සත්කාරිකා ජුලී යෝ විසිනි.