මහ බැංකු බැඳුම්කර සිද්ධියට සම්බන්ධ අර්ජුන මහේන්ද්‍රන් යළි මෙරට පස් පෑගීමටවත් නොඑන බව තමන්ට විශ්වාස බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කලේ ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටිපොළ සිරිවිමල හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්.
අර්ජුන මහේන්ද්‍රන් මෙරටින් කොල්ලකා ගත් ධනයෙන් අසීමිත ලෙස සැප සම්පත් විඳිමින් නිදැල්ලේ හැසිරෙන පෙන්වාදෙන ඔහු වැඩිදුරටත් කරුණු දක්වමින් මෙසේද සඳහන් සඳහන් කලා.
‘‘අර්ජුන මහේන්ද්‍රන්ට පෙබරවාරි 15 ට කලින් සී.අයි.ඩී. එකට පැමිණ ප්‍රකාශයක් කරන්න කීවා. නමුත් අද වන තෙක් ඔහු ආවේ නැහැ. අප හොඳින්ම දන්නවා ඔහු එන්නේ නැහැ කියලා. කිසිසේත් මේ ලංකා පොළොවේ පස් පාගන්න ආයෙ අර්ජුන මහේන්ද්‍රන් එන්නේ නැහැ. එයා මෙරටට පැමිණි විගසම ගුවන් තොටුපොළේදී එයාට මාංචු දාන බව දන්නවා.
අර්ජුන මහේන්ද්‍රන් පත් කරන වෙලාවේදී කැබිනට් මණ්ඩලයේ දැඩි විරෝධයක් මතු වුණා. රනිල් වික්‍රමසිංහ මහත්තයා කීවා කවුරුත් මේ සඳහා කලබල විය යුතු නැහැ. මම ඔහු පිළිබඳව පෞද්ගලිකවම වගකීම භාර ගන්නවා කියලා. අර්ජුන මහේන්ද්‍රන් කොමිසම ඉදිරියේ සාක්ෂි දෙන විට එයා සඳහන් කළා රනිල් වික්‍රමසිංහ අගමැති වෙලා පැය විසිහතරකට පසුව අර්ජුන මහේන්ද්‍රන්ට ඩුබායි සිට දුරකතන ඇමතුමක් ලබා දීලා මහ බැංකුවේ අධිපතිකම භාර ගන්න කියලා පැවැසුවා කියලා.
ඇමැතිවරු පත් කරන්නත් පෙර අගමැතිවරයා අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති කරන්න කල්පනා කළා. ඒ නිසා ඉන් පෙනෙනවා මෙය සැලසුම් සහගතව සිදුකළ මහා කොල්ලයක් කියලා. අද අපි අහනවා ඒ වගකීම දැන් අගමැතිවරයා භාරගන්නවාද කියලා. මේ රටේ මහ බැංකුව කොල්ල කාලා භාණ්ඩාගාරය හිස් කරලා අසීමිත ධනයක් අපේ ජාතියට අහිමි කළ මේ පුද්ගලයා අද නිදැල්ලේ ඉන්නවා. මේ රටින් කොල්ල කා ගත් ධනය භුක්ති විඳිමින් ඔහු අද පිටරට ජීවත් වෙනවා. දැන් අගමැතිවරයා මොනවාද කරන්නේ කියන ප්‍රශ්නය අපි අගමැතිවරයාගෙන් අහනවා.

