අන්තරේ පිටුපස ජනපති සිහිනය දකින ඇමති පාටලී… ඇග හිරිවට්ටන තිත්ත ඇත්ත මෙන්න..

Spread the love

ඊයේ දින සෞඛ්‍ය අමාත්‍යාංශයයේ ගොඩනැගිලි සියතට ගනිමින් බාල් නැටූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බළ මණ්ඩළය සහ අන්තර් භික්ෂු පෙරමුණ හුදෙක් රග දැක්වූ නාටකයේ තිර පිටපතේ රචකයා වෙන කිසිවෙකුත් නොව සෑමවිටම සිල් රෙද්දෙන් බෙල්ල කපන , නවගුණවැල ගණන් කරන රජයේ ප්‍රභල අමාත්‍යවරයෙකි. කැබිනට් මණ්ඩළයේ සියලු දෙනාටම වැදිබණ දෙසමින් 2020 නොපෙනෙන සිහිනයක් කරා පියමංකරන මොහු සමග අවසානයේ අන්තරේ ළහිරු වීරසේකර පවා තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට නතුකරගත්තේ පෙරටුගාමීන්ගේ මහපුටු වලටද නොදැනීමය.

ඉකුත් 13 වනිදා මෙකී අමාත්‍යවරයා විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය ප්‍රජාව සහ ඔවුන්ගේ දෙමව්පියන් සමග තමන්ගේ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැත්වූ රැස්වීමේදී ප්‍රකාශ කර සිටියේ තමන් කෙසේ හෝ සයිටම් ආයතනයට එරෙහි සටන සියතට ගන්නා බවයි.ඒ වෙනුවෙන් ශිෂ්‍යයන් කිහිපදෙනෙකු හෝ බිල්ලට දී තමන්ගේ අරමුණ කරා යෑමට තරම් පහත් මානසිකත්වයක් ඔහු තුල තිබුණි.ඔහුගේ එකම අරමුණ වන 2020 ජනපති වීමේ සිහිනය සැබෑ කරගැනීමට ඇති භාධක සියල්ල එකක් නෑර බිඳගෙන යෑමේ පුරුද්ද නිසාම සහෝදර කැබිනට් මණ්ඩළයේ පවා ජුගුප්සාවට ඔහු ලක්වී ඇත්තේ ඒ නිසාමය.

ඇත්ත එලියට ඒවි යැයි සැක සිතුනු  නිසාදෝ එම සිදුවීම සම්බන්දව විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට ජාතික හෙළ උරුමය කටයුතුකල බව අපට දන ගන්නට ලැබුණා. චම්පික රණවක අමාත්‍යවරයාගේ මෙහෙයවීම අනුව ඉදිරිපත්කල මෙම මාධ්‍ය නිවේදනයේදී බලලා මල්ලෙන් එලියට පණ ඇති බව හොඳින් වැටහෙනවා.
එහිදී  සයිටම් පිළිබඳව ඔවුන්ගේ මතය හා GMOA මෙන්ම අන්තරේ මතයද සමපාත වන බව පෙනී යනවා.
හෙළ උරුමය ඉදිරිපත් කර මාධ්‍ය නිවේදනයද අප පහතින් දක්වා ඇති අතර අප ප්‍රකාශ කරන්නේ දේශපාලනයේ බන්කොලොත්බව වසා ගැනීමට බොර දියේ මාළු බෑමට සැරසෙන මෙවන් දේශපාලකයන් පිළිබඳව විමසිල්ලෙන් සිටින ලෙසයි!
*************************************************************
ඛේදවාචකයකින් අවසන් වීමට පෙර සයිටම් ගැටලූවට විසඳුමක් ලබා දෙමු..
 
සයිටම් ආයතනය වහා අහෝසි කරන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ගොඩනැගිල්ල තුළ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විසින් ක‍්‍රියාත්මක කරන ලද උද්ඝෝෂණ ව්‍යාපාරයට එල්ල වූ පොලිස් ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ ශිෂ්‍යයන්ට සහ ඔවුන්ගේ පවුල්වල අයටත් එමෙන්ම එම සිදුවීමේදී තුවාල ලැබූ පොලිස් නිලධාරීන්ට සහ ඔවුන්ගේ පවුල්වල අයටත් ජාතික හෙළ උරුමයේ කනගාටුව පළ කිරීමට කැමැත්තෙමු.
 
රජයේ අමාත්‍යාංශයක් තුළට ඇතුළු වී ශිෂ්‍යයන් විසින් උද්ඝෝෂණය කිරීම ජාතික හෙළ උරුමය අනුමත කරන්නේ නැත. එහෙත්, මෙවැනි උද්ඝෝෂණයන්ට පදනම් වූ හේතු කාරණා අවබෝධ කර ගැනීමට එය බාධාවක් කර නොගත යුතුය. සයිටම් ගැටලූව යනු තව දුරටත් අධිකරණය උපයෝගී කරගෙන හෝ විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍යන්ගෙන් දැන්වීම් පළ කරමින් විසඳා ගත හැකි ගැටළුවක් නොවේ. එය ප‍්‍රතිපත්තිමය සහ දේශපාලන ගැටලූවකි. එනම්, එක් අතකින් ශ‍්‍රී ලංකාවට ලාභ අපේක්ෂිත පුද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍යද හෝ ඒවා මේ රටේ ආරම්භ කොට පවත්වාගෙන යාමේ වාතාවරණයක් පවතීද යන ප‍්‍රතිපත්තිමය ගැටලූව මුලින්ම විසඳා ගත යුතුය. දෙවනුව, සයිටම් ආයතනය ආරම්භයේ සිට ක‍්‍රියාත්මක වී ඇති ආකාරය, ශිෂ්‍යයන්ගෙන් සහ සෞඛ්‍ය සේවයට අදාළ වෘතිකයන්ගෙන් ඊට එල්ලවන විරෝධය සහ පුද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම සම්බන්ධයෙන් මේ රටේ ඇති බියකරු අතීත අත්දැකීම යන කරුණු සළකා බලමින් සයිටම් ආයතනයේ පැවැත්ම පිළිබඳව දේශපාලන තීරණයක් ගත යුතුය. මේ තීරණ දෙකම රජය විසින් නොපමාව ගත යුතු තීරණයන්ය. අප යළි යළිත් පෙන්වා දෙන්නේ මේ ගැටලූව විසඳීම කාලයට බාර දී නිහඬව සිටීමට උත්සාහ කිරීම ඉතා බියකරු ඛේදවාචකයකට පාර කැපීමක් වනු ඇති බවයි.
 
පෙර කී ප‍්‍රතිපත්තිමය සහ දේශපාලන ගැටළු දෙක සම්බන්ධයෙන් අප පක්ෂයේ ස්ථාවරය ඉතා විස්තරාත්මකව සහ තාර්කිකව අවස්ථා ගණනාවකදී පෙන්වා දී ඇත්තෙමු. මේ රටේ බහුතර ජනතාව පමණක් නොව දේශපාලන නායකයන් පවා, සයිටම් වර්ගයේ ලාභ අපේක්ෂිත පුද්ගලික වෛද්‍ය විද්‍යාල ලෝකයේ ඉතා සුලබව ඇති දෙයක් ලෙස කල්පනා කළත් අප විසින් දිගින් දිගටම පෙන්වා දී ඇති පරිදිම ඇත්ත තත්ත්වය වන්නේ ලෝකයේ දියුණු රටවල එබඳු පෞද්ගලික වෛද්‍ය විද්‍යාල කිසිසේත්ම නොමැති බවයි. ලෝකයේ දියුණු රටවල් සියල්ලම උසස් අධ්‍යාපනය සළකන්නේ සාමාජයීය වගකීමක් ලෙස විනා, ධනෝපායන මාර්ගයක් ලෙස නොවේ. එසේම පුද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කළ තුන්වන ලෝකයේ රටවල් ගණනාවක් මේ වන විට එම තීරණයේ අනිටු පළවිපාක අත් විඳිමින් සිටිති.
 
ඒ අනුව, අප පක්ෂයේ ස්ථාවරය වන්නේ ශ‍්‍රී ලංකාව කිසිසේත්ම ලාභ අපේක්ෂිත පුද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ නොකළ යුතුය යන්නයි. දෙවනුව, සයිටම් ආයතනය මුල පටන්ම ක‍්‍රියාත්මක වී ඇති වංචනික ආකාරය නිසා වගකීම් සහගත රජයකට එවැන්නකට සහයෝගය දීමේ කිසිදු අවකාශයක් ඉතිරි වී නොමැත. එම නිසා, තවදුරටත් පමා නොවී, සයිටම් ආයතනය වහාම වසා දැමීමට ක‍්‍රියාත්මක වීම සුදුසුය යන්න අපගේ ස්ථාවරයයි. රජයේ අමාත්‍යංශයකට ශිෂ්‍යයන් ඇතුළු වූ විට ඔවුන්ව පොලිස් බලය යොදා ඉවත් කිරීමට සිදුවන බව අපිද පිළිගන්නෙමු.
 
එහෙත්, විද්‍යුත් මාධ්‍යයන්ගෙන් විකාශනය වූ මෙම පහරදීමට අදාළ දර්ශන මගින් පෙනී යන්නේ පොලීසිය පමණ ඉක්මවා බලය යොදන බවකි. විශේෂයෙන්ම, පොලීසිය විසින් සිසුන්ව පලවා හරිනු වෙනුවට ඔවුන්ව කොටු කරගෙන පහරදෙන බවක් එකී දර්ශනයන්ගෙන් පෙනී ගියේය. සයිටම් ආයතනයට විරුද්ධ සිසුන් සම්බන්ධයෙන් එබඳු පරිමාණයකින් සහ ස්වභාවයකින් නීතිය ක‍්‍රියාත්මක වෙත්දීම, ගිනි අවි ආඥා පනත යටතේ ඇප දිය නොහැකි වරදක් කර ඇති සයිටම් වෛද්‍ය විද්‍යාලයේ විධායක නිලධාරි සමීර සේනාරත්න නැමැත්තාට එරෙහිව තවමත් කිසිදු ලෙසකින් හෝ නීතිය ක‍්‍රියාත්මක වී නැත. එසේම, සයිටම් ආයතනය විසින් බරපතල ලෙස නීතිය උල්ලංඝනය කර ඇති අවස්ථාවන් ගණනාවක් තිබෙතත් ඒවාට එරෙහිවද නීතිය ක‍්‍රියාත්මක වන බවක් නොපෙනේ. මෙසේ එක් පාර්ශ්වයකට එරෙහිව පමණක් නීතිය ක‍්‍රියාත්මක වීම කිසිසේත්ම පිළිගත හැකි තත්ත්වයක් නොවේ. එසේම සයිටම් ආයතනයට වාසි සහගත දැන්වීම් විශාල ප‍්‍රමාණයක් රජයේ වියදමින් ප‍්‍රචාරය කිරීමද යහපත් තත්ත්වයක් නොවන බව පෙන්වා දිය යුතුමය.
 
ඒ අනුව, විනය ගරුකව සහ ඉවසීමෙන් යුතුව තම විරෝධතා ව්‍යාපාරය පවත්වාගෙන යන ලෙස ශිෂ්‍යයන්ගෙන් ඉල්ලා සිටින අතරම සයිටම් ආයතනය අහෝසි කිරීමට හැකි ඉක්මනින් කටයුතු කරන මෙන් රජයෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමු.
 
දර්ශනපති පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමි
සභාපති
ජාතික හෙල උරුමය

[rns_reactions]