මත්ද්‍රව්‍ය ජාවාරම මැඬපැවැත්වීමට “ඊෂි කෑෂ්” ක්‍රමයට සිදුකරන මුදල් ගනුදෙනුවලට වැට බැඳීමට රජය කටයුතු ආරම්භ කර ඇතැයි රාජ්‍ය පරිපාලන, නීතිය හා සාමය පිළිබඳ ඇමැති රංජිත් මද්දුම බණ්‌ඩාර මහතා පැවසීය.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් “ඊෂි කෑෂ්” හරහා වැඩිපුර ගනුදෙනු කරන බවට හෙළිකර ගැනීම නිසා එම ආයතන සමඟ මේවා මැඬපැවැත්වීමට විශේෂ වැඩසටහනක් දියත් කර ඇතැයිද අමාත්‍යවරයා කියා සිටියේ ඊයේ (05 දා) රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්‌වූ අමාත්‍යවරයා මෙසේද කීය. මේ දිනවල අපරාධ රැල්ලක් රට තුළ ක්‍රියාත්මක වන බවට පුවත්පත්වල සටහන් වනවා. එහෙම රැල්ලක් නැහැ. රජයක් විදියට පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීමට උපරිම ක්‍රියාමාර්ග ගෙන ඉදිරියටත් එය ගෙනියනවා.
2018 මුල් මාස පහ තුළ හෙරොයින් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම් 16630 ක් සිදුකර සැකකරුවන් 16633 ක් සමඟ හෙරොයින් කිලෝ 36 ක්, කේරළ ගංජා සම්බන්ධ වැටලීම් 24598 ක් සිදුකර සැකකරුවන් 24581 ක් සමඟ ගංජා කිලෝ 2721 ක්, කොකේන් සම්බන්ධ වැටලීම් 07 ක් සිදුකර සැකකරුවන් 07 ක් සමඟ කොකේන් කිලෝ 11 ක්, හෂීස් සම්බන්ධ වැටලීම් 13 ක් සිදුකර සැකකරුවන් 13 ක් සමඟ හෂීස් කිලෝ දෙකකට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම මේ වසරේ ගෙවීගිය මාස කිහිපය තුළදී මාතර රන්බඩු සාප්පු මංකොල්ලයේ දී යාපනය මහාධිකරණ විනිසුරු ඉලන්ෙච්තිය මහතා ආරක්‌ෂා කර ගැනීමට යැමේදී සහ මාදම්පේ ප්‍රදේශයේ ගංවතුරෙන් පිරිසක් බේරා ගැනීමට යැමේදී පොලිස් නිලධාරීන් තිදෙනෙක් මියගොස් තිබෙනවා.
ඒ වගේම පසුගිය රජය සමයේ සිදුවූ මනුෂ්‍ය ඝාතන සහ පහරදීම් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන සිදු කරනවා. ඒ වගේම පසුගියදා ළමා කටයුතු රාජ්‍ය ඇමැති එල්.ටී.ටී.ඊ. සම්බන්ධ කර සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු පැමිණිලි අනුව විමර්ශන කටයුතු සිදු කරනවා. මීට අමතරව චෝදනා එල්ලව තිබෙන අර්ජුන මහේන්ද්‍රන් සහ උදයංග වීරතුංග යන අය ලංකාවට ගෙන්වා ගැනීමටත් පොලිසිය කටයුතු කරමින් ඉන්නවා.
නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය ඇමැති ශාන්ත බණ්‌ඩාර – පොලිසිය පාතාල මර්දනය කිරීමට කටයුතු කරනවා. පසුගිය රජය සමයේ දේශපාලනඥයන් පාතාලය පෝෂණය කළත් මේ රජයේ කිසිම දේශපාලනඥයෙක් පාතාලයට සහායට කතා කරන්නේ නැහැ. පොලිසියට බලපෑම් කරන්නේ නැහැ. ඒ වගේම මාධ්‍යවලින් ඉල්ලා සිටිනවා පාතාල සාමාජිකයන් සම්බන්ධයෙන් ඔවුන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කරන විට වීරයන් ලෙස හැඟවෙන ඡායාරූප පළකරන්න එපා.
අපිට ඕන නම් දකුණේ ප්‍රබල දේශපාලනඥයන් පාතාල නායකයන් සමඟ සිටින වීඩියෝ වුණත් පෙන්වන්න පුළුවන්.
මෙම මාධ්‍ය හමුව සඳහා නීතිය හා සාමය අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න මහතාද සහභාගි වී සිටියහ.