අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට අධිකරණය රංජන්ගෙන් හේතු ඉල්ලයි

අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට අධිකරණය රංජන්ගෙන් හේතු ඉල්ලයි
Spread the love

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කරන්නැයි දන්වා නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා වෙත යොමු කිරීම සඳහා ආඥාවක් කෙටුම්පත් කර අධිකරණය වෙත ඉදිරිපත් කරන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියම කර තිබේ.

අධිකරණයට අපහාස කළේ යැයි නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත්කර තිබෙන පැමිණිලි දෙකක් අද(18) අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් , සහ මුර්දූ  ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී නියෝගය කෙරුණි.

පැමිණිල්ල කැඳවු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා අධිකරණයට දන්වා සිටියේ අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් සිදු කළේ යැයි කියන  අපහාසාත්මක ප්‍රකාශය අඩංගු වීඩියෝ පටය නිරීක්ෂණය කර ඒ තුලින්  බැලූබැල්මටම අධිකරණයට අපහාසයක් සිදු වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම විනිසුරුවරුන් තීන්දු කර ඇතැයි සඳහන් කර සිටියේය.

ශ්‍රේෂ්ඨාධිකරණ සම්ප්‍රදායට අනුව මීළඟට පැවරී ඇත්තේ වගඋත්තරකාර නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු විමසීමේ  ආඥාව කෙටුම්පත් කර නීතිපතිවරයා විසින් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම බවද දන්වා සිටියේය.

එම ඉල්ලීමට විරෝධය පළ කළ වගඋත්තරකාර රංජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ..සුමන්දිරන් මහතා කියා සිටියේ නීතිපතිවරයා අදාළ ආඥාව කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බවයි.

එම ආඥාව කෙටුම්පත් කරවිය යුත්තේ සිවිල් නඩු විධාන සංග්‍රහය පැවරී ඇති ප්‍රතිපාදනවලට අනුව බව වගඋත්තරකාර පාර්ශවයේ නීතිඥවරයා දන්වා සිටියේය.

කෙසේවතත් අදාළ ආඥාව කෙටුම්පත් කරන මෙන් නීතිපතිවරයාට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය පැමිණිල්ල නැවත ජුලි මස තිස් වනදා කැඳවන මෙන් ද නියම කළේය.

පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් අදාළ පැමිණිලි ඉදිරිපත් කර තිබුණි.

පැමිණිලිකරුවන් කියා සිටින්නේ පසුගිය වසරේ අගෝස්තු මස අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව පිටතට පැමිණි රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍යවලට අදහස් දක්වමින් මෙරට විනිශ්චකාරවරුන් සහ නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිත පුද්ගලයින් ලෙස හඳුන්වා දී ඇති බව කියා සිටි බවයි.

මෙම ප්‍රකාශය තුළින් මෙරට අධිකරණ පද්ධතිය කෙරෙහි මහජනතාවගේ පවතින විශ්වාසය හීන වන බවත් ඒ හරහා රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් පැමිණිලිකරුවන් පවසයි.

මේ හේතුවෙන් රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා අධිකරණය හමුවට කැඳවා මේ පිළිබඳව විභාගයක් පවත්වා සුදුසු දඬුවම් පමුණුවන මෙන් ද පැමිණිලිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.