අරන්තලා සංහාරයන් ගැන – පරිපාලන නිළධාරියකුගේ අතීත මතක සටහනක්‌…

Spread the love

2017 ජුනි 02 වැනිදාට අරන්තලා භික්‍ෂු ඝාතන සිද්ධියට වසර 30 ක්‌ සම්පූර්ණ විය. එවකට එම සිදුවීම සොයා බැලීමට කොළඹින් පත්කර යෑවූ පරිපාලන නිලධාරියා වූයේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී (විශ්‍රාමික) ඔස්‌ටින් ප්‍රනාන්දු ය. ඔහු සිය අතීත මතකය පිළිබඳව පසුගිය සතියේ කතා කර තිබිණි. එම ලිපියෙහි එක්‌ තැනක ඔහු තරුණ සහකාර දිසාපතිවරයකු වූ ජිනසිරි දඩල්ලගේ එම සිදුවීමේදී ක්‍රියාකළ ආකාරය සඳහන් කර තිබිණි. පසු කලෙක රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේද ලේකම්වරයකු ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරි ජිනසිරි දඩල්ලගේ ඒ පිළිබඳව සිය අත්දැකීම් ඇසුරු කරමින් “අරන්තලාව හරහා වසර හයක්‌” නමින් කෘතියක්‌ද එළිදැක්‌විය. මේ එම කෘතියෙහි හය සහ හත පරිච්ඡේදවල දැක්‌වෙන “අරන්තලාව මිනිස්‌ සංහාරය” සහ “අරන්තලාව භික්‍ෂු සංහාරය” පිළිබඳ ඔහුගේ සජීවී අත්දැකීම් ඇසුරු කරගත් ලිපි දෙකය.

අරන්තලාව මිනිස්‌ සංහාරය

1985 හා 1986 වර්ෂ දෙකක පමණ කාලය මහඔය උප දිසාපති කොට්‌ඨාසය තුළ විවිධ වූ ත්‍රස්‌තවාදී සිදුවීම් වාර්තා විය. මේ අතර වඩාත් කැපී පෙනෙන ප්‍රධාන සිදුවීම් වූයේ මංගලගම හාමුදුරුවන් පැහැරගෙන යැමේ සිද්ධියයි. මෙයට අමතරව ඉතා සුළු සිදුවීම්ද වාර්තා විය. අම්පාර සිට පදියතලාව හරහා කොලමන්තලාව අතර ධාවනය වන රාත්‍රි බස්‌ රථයට දෙවරක්‌ අරන්තලාව ආසන්නයේදී ත්‍රස්‌තවාදීන් විසින් වෙඩි තබා තිබූ අතර, 1986 නොවැම්බර් මස දිනක අදාළ බස්‌රථය හා තවත් වාහන 14 ක්‌ පියංගල ප්‍රදේශයේ කැලය තුළට ගෙන ගොස්‌ මංකොල්ල කා තිබූ බවටද ආරංචි විය. සමහර සිදුවීම් සඳහා ආරක්‌ෂක අංශයද සහභාගි වූ බවටද කටකතා පැතිර ගිය අතර, ත්‍රස්‌තවාදී ක්‍රියාවන් උත්සන්න වීම පිළිබඳ සාධක වැඩි දියුණු වීමක්‌ දක්‌නට ලැබුණි.

ආධුනික නිලධාරියෙකු වුවත් බොහෝ කටයුතු සඳහා කෙලින්ම මැදිහත් වීමට මා හට සිදු වූ අතර මඩකලපුව දිස්‌ත්‍රික්‌ මායිමේ පිහිටි මංගලගම, නුවරගලතැන්න, අරන්තලාව, බොරපොළ, බැඳිබැරැක්‌ක, පූලාවලි, කොස්‌ගොල්ල ආදී ගම්මානවලට වැඩි සැලකිල්ලක්‌ ලබා දී කටයුතු කිරීමේ වුමනාවද දැනෙන්නට විය. මේ අතර ප්‍රසිද්ධ තොප්පිගල ආසන්නයේ අනවසර හේන් වගාකරුවන් හා මාදුරුඔය ජාතික අභය භූමිය තුළ පදිංචි අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම සඳහා අවස්‌ථා කිහිපයකදීම එම ප්‍රදේශවලට යැමට මා හට සිදුවිය. තොප්පිගල ආසන්නයේ පිහිටි පවුල් 40 ක්‌ පමණ ජීවත් වූ කපුරුල්ල නම් කුඩා ගම්මානයෙහි පදිංචිකරුවන්ගේ නිවාස ගිනි තැබීම් කිහිපයක්‌ හා පුද්ගලයින් කිහිපදෙනකු පැහැර ගෙන යාම් පිළිබඳව සොයා බැලීමටත් එම පවුල් මඩකලපුව දිස්‌ත්‍රික්‌ක මායිමක්‌ වන ටැම්පිටිය ප්‍රදේශය ආශ්‍රිතව නැවත පදංචි කිරීමටත් මූලිකව කටයුතු කිරීමටද සිදුවිය.

මඩකලපුව දිස්‌ත්‍රික්‌කයට අයත් මහඔය උප දිසාපති කොට්‌ඨාසයට ආසන්න කොස්‌ගොල්ල හා පිල්ලුමලය ආදී සිංහල පවුල් පදිංචි ප්‍රදේශවලත්, ඔවුන්ගේ ඉල්ලීම් හා රාජකාරිමය අවශ්‍යතාවයන් මත සංචාරය කිරීමට විවිධ අපහසුතා හා අවදානම් මධ්‍යයේ සිදුවිය.

කෙසේ වුවද 1985 හා 1986 වසර තුළ මහඔය ප්‍රාදේශීය උප දිසාපති ලෙස කටයුතු කරනු ලැබූ මා හට ක්‍රමානුකූලව වර්ධන වෙන ත්‍රස්‌තවාදී කටයුතු වැඩිදුරටත් දැනෙන පරිදි විය. 1985 වර්ෂය මුලදී මඩකලපුව ප්‍රදේශයට හා කල්මුණේ පොතුවිල් ආදී ප්‍රදේශවලට එතරම් බිය සැක නොමැතිව යා හැකි තත්ත්වයක්‌ තිබුණත් ක්‍රමයෙන් එම තත්ත්වය ඈත්aa වී ගිය අතර, මහඔය ප්‍රදේශයේ පොලිස්‌ බාධක පැනවීමක්‌ද දක්‌නට ලැබුණි. කෙසේ වුවද පෞද්ගලික ආරක්‌ෂාව පිළිබඳව වඩා සැලකිලිමත්වීම අවශ්‍ය බව මා හටද අවබෝධ වුවද ප්‍රදේශයේ ස්‌වාමීන් වහන්සේලා හා ගැමියන් විසින් ආරාධනා කරනු ලබන කුමන හෝ කටයුත්තකට සහභාගි වීමටත්, ඔවුන්ගේ ඕනෑම හදිසි අවශ්‍යතාවක්‌ හෝ ඉල්ලීමක්‌ වෙනුවෙන් ක්‍ෂණිකව ප්‍රතිචාර දැක්‌වීමට මා සූදානම්ව සිටි අතර, එය එලෙස වූ බව අද පවා මහඔය ප්‍රදේශවාසීන් සාක්‌ෂි දරනු ඇත.

1986 මාර්තු 26 දින එවකට මඩකලපුව හා අම්පාර සම්බන්ධීකරණ නිලධාරි වන ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි පියසේන මහතා මා හමුවීමට පැමිණෙන බවත්, ත්‍රස්‌තවාදී ඉලක්‌කවලට ලක්‌විය හැකි ගම්මානවලින් ග්‍රාමාරක්‌ෂකයින් 100 ක්‌ පමණ තෝරා තබන ලෙසත් දන්වා පොලිස්‌ පණිවුඩයක්‌ ලැබුණි. මේ අනුව ග්‍රාම නිලධාරීන්ගේද සහායෙන් අදාළ ගම්මානවලින් සුදුසු ලැයිස්‌තු සකස්‌ කර තැබූ අතර, කලින් දැන්වූ පරිදි පොලිස්‌ අධිකාරි පියසේන මහතා මඩකලපුවේ සිට පැමිණ මා හමුවූහ. ඉතාමත් නිහතමානී හා සරල ගති පැවතුම් ඇති පොලිස්‌ නිලධාරියෙකු වූ පියසේන මහතා මගේ නිල නිවාසයෙහි දින 3 ක්‌ පමණ නතරව ටැම්පිටිය, පූලාවලිය, බැදිරැක්‌ක, බොරපොළ, අරන්තලාව ආදී ගම්මානවලින් තෝරා ගත් තරුණ කණ්‌ඩායම් කිහිපයකට පැරණි ගිනි අවි 100 ක්‌ පමණ භාරදීමට කටයුතු කරනු ලැබීය. මාර්තු 28 දින අරන්තලාව විද්‍යාලය අසලට අදාළ තුවක්‌කු බෙදීම සඳහා යන විට සවස 6.30 පමණ විය. සෑම ගමකදීම තුවක්‌කු බෙදා දීමෙන් පසු ගම් ආරක්‌ෂා කර ගැනීම පිළිබඳ කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව අදාළ ගැමියන්ට කෙටි පැහැදිලි කිරීමක්‌ද සිදු කරන්නට යෙදුනි.

1986 අග භාගය වන විට ග්‍රාමාරක්‌ෂක කමිටු, සාම කමිටු ආදිය ගොඩනැඟීම පිළිබඳ චක්‍රලේඛ උපදෙස්‌ ආදියද වැඩිපුර ලැබෙමින් පැවැති අතර, ගැමියන්ගේ උනන්දුව මෙන්ම ත්‍රස්‌තවාදී කටයුතු සමඟ උත්සන්න වන බිය සැකයන්ද වැඩිපුර අත්දැකීමට හැකි විය.

1987 පෙබරවාරි 8 ඉරුදින පාන්දර 5.00 ට පමණ කිසියම් කෙනෙක්‌ මගේ නිල නිවාසයේ දොරට තට්‌ටු කරන හඬින් මම අවදි වුණෙමි.

“උප දිසාපතිතුමා මම රංජිත් ගුණවර්ධන. ඉක්‌මනට දොර අරින්න හදිස්‌සියක්‌” ඒ මහඔය කෘෂිකර්ම කළමනාකරු රංජිත් ගුණවර්ධනගේ හඬයි. මම කටහඬ හඳුනාගත් බැවින් කඩිනමින් ඉදිරි දොර විවෘත කළෙමි.

ඔහුගේ රියෑදුරු විඡේපාල හා තවත් කිහිප දෙනෙකු මගේ මිදුලේ විය. “මේකයි ප්‍රශ්නෙ. ඊයේ රෑ 7 ට 8ට විතර අරන්තලාවට කොටි ඇවිත් මිනිස්‌සු 30 ක්‌ විතර කපලා මරලා දාලා තියෙනවා. හෝම් ගාඩ් කෙනෙක්‌ වෙඩි තිබ්බම තමයි පැනලා ගිහින් තියෙන්නෙ. සමහරුන්ගේ පවුල් පිටින් මරලා දාලලු. මොකද කරන්නෙ? ඉක්‌මනින් ඒ පැත්තට ගිහින් බලමුද? කිසිදු කතාබහක්‌ නොකළ මම ඉක්‌මනින් සූදානම් වී ඔහුගේ ජීප් රථයෙන් මහඔය පොලිසියටත් ඉන් අනතුරුව 69 හන්දියටත් ගොස්‌ තරමක්‌ එළිය වැටෙනතුරු අතරමඟ නතර වී සිටියෙමු. කෙසේ වුවද උදැසන 6.00 ට පමණ වන විට අරන්තලාව ගැමියන්ගේ විලාප හඬට කන්දීමට සිදුවිය. අප කඩිනමින් සෑම නිවසක්‌ වෙතම ගොස්‌ මියගොස්‌ සිටි පුද්ගලයන් ගණන සොයා ගැනීමට උත්සාහ ගත්තෙමු. මේ අනුව ඉතා කුඩා ළමයින්, කාන්තාවන්, මහලු පුද්ගලයන් ඇතුළු 29 දෙනෙක්‌ නිදි පැදුරුවලම කපා කොටා මරා දමා තිබුණි. එහි අමානුෂික ස්‌වරූපය මත මා තදබල වික්‍ෂිප්ත භාවයට පත් වී සිටියෙමි.

කෙසේ වුවද ඉතා කඩිනමින් නැවතත් මහඔයට පැමිණි මා අම්පාර දිසා අමාත්‍යතුමාටත්, දිසාපතිතුමාටත් අදාළ සිදුවීම පිළිබඳව දැන්වීම් කොට අදාළ උපදෙස්‌ ලබාගනු ලැබූ අතර, අදාළ සිරුරු එදිනම රාජ්‍ය වියදමින් භූමදාන කිරීම සඳහා කටයුතු කිරීමට උපදෙස්‌ ලබා ගතිමි. නීතිමය කටයුතු මහඔය පොලිස්‌ ස්‌ථානය මඟින් ඒ වන විටත් පවත්වමින් තිබූ අතර, මා විසින් අදාළ ග්‍රාම නිලධාරීන්ගේද සහාය මත අවසන් කටයුතු පිළියෙළ කිරීම සඳහා යුහුසුළු විය.

අදාළ මියගිය පුද්ගලයින්ගේ ප්‍රමාණයන් සටහන් කොට ගනිමින් සුදුසු මිනී පෙට්‌ටි ආදිය සොයා බැලීම සඳහා අම්පාර ප්‍රදේශයට කිහිප දෙනෙක්‌ පිටත් කර යවනු ලැබූ අතර, දහවල් 11 පමණ වන විට ලබා ගත හැකිව තිබුණේ මිනී පෙට්‌ටි 14 ක්‌ පමණි. ඉතිරි පෙට්‌ටි ප්‍රමාණය සපයා ගැනීමට මාර්ගයක්‌ නොවූයෙන් ප්‍රදේශයේ වඩු වැඩ දන්නා අය කිහිප දෙනෙක්‌ එකතු කොට කෙසේ හෝ ලෑලි සොයා ගනිමින් ඉතිරි මිනී පෙට්‌ටි සකස්‌ කර ගත හැකි බවට ග්‍රාම නිලධාරීන් කිහිප දෙනෙක්‌ ඉදිරිපත් වූ අතර, මා ඒa සඳහා අනුමැතිය ලබාදීමට කටයුතු කරන ලදී.

මේ අනුව දහවල් 1.00 ට පමණ වන විට මා වෙනත් කටයුත්තක්‌ සඳහා උප දිසාපති කාර්යාලයට පැමිණෙන විට උප දිසාපති කාර්යාලයෙහි මිදුල මිනී පෙට්‌ටි කර්මාන්තශාලාවකි. අසල නිවාසවලින් ලබා ගත හැකි වූ ඉරන ලද ලෑලි භාවිතා කරමින් මිනී පෙට්‌ටි කිහිපයක වැඩ ඒ වන විට අවසන් කර තිබුණි. මේ අතර, තවත් ලෑලි අවශ්‍ය බවද දන්වනු ලැබීය. මේ සඳහා ලෑලි ලබා ගත හැකි ස්‌ථානයක්‌ සුදු බණ්‌ඩා වඩු බාස්‌ විසින් යෝජනා කරනු ලැබීය. ඒ මගේ නිල රථය නවතන ගරාජයයි. මෙහි බිත්ති වෙනුවට යොදා තිබුණේ අඟල් 1/2 ප්‍රමාණයේ ලෑලි වන අතර, මා දුන් තීරණය පරිදි සම්පූර්ණ ලෙසම ගරාජයේ ලෑලි බිත්ති ඉවත් කර ගැනීමට කටයුතු කරන ලදී. මේ අනුව සවස 4.00 පමණ වන විට ප්‍රමාණවත් හා අලංකාර ලෙස සියලු මිනී පෙට්‌ටි සකස්‌ කර ගැනීමට අපට හැකි විය. මේ සිද්ධිය සමඟ පසුදින “දිවයින” පුවත්පතේ පහත සඳහන් මාතෘකාව යටතේ මුල් පුවතකි. “උප දිසාපති ගරාජය කඩා මිනී පෙට්‌ටි සාදති” යන්න එම සිද්ධියට විශාල ප්‍රසිද්ධියක්‌ ලැබුණු අතර, මහඔය ප්‍රාදේශීය උප දිසාපති කොට්‌ඨාසය ත්‍රස්‌තවාදී කටයුතු සඳහා ප්‍රසිද්ධියක්‌ ලැබුණු අතර මගේ රාජකාරී ජීවිතය සම්පූර්ණ ලෙස කාර්යබහුල ඉතා අවිවේකී එකක්‌ බවටද පරිවර්තනය විය.

මෙම සිදුවීම වූ පෙබරවාරි 8 දින අරන්තලාව මිනිස්‌ ඝාතනය නිසා අතරමං වූ 350 ක්‌ පමණ වූ පවුල් ප්‍රමාණයකට සියලු පහසුකම් සැපයීමේ වගකීමද ක්‍ෂණික එකක්‌ විය. මේ අනුව එම පවුල් ආරක්‌ෂිත ස්‌ථාන වෙත රැස්‌කොට අවශ්‍ය ආහාරපාන හා ආරක්‌ෂාව සපයාදීම ආදිය අවසන් කොට මහඔය මගේ නිල නිවාසය වෙත පැමිණෙන විට පසුදා පෙ. ව. 1.00 පමණ විය. එතැන් සිට මඩකලපුව දිස්‌ත්‍රික්‌ මායිමේ පිහිටි සියලු ගම්මානවලට ආරක්‌ෂාව හා අනෙකුත් පහසුකම් සැපයීමේ ප්‍රමුඛ වගකීමක්‌ මා වෙත පැවරෙනු ලැබිණි.

අරන්තලාව සිදුවීමෙන් මියගිය 29 දෙනා පවුල් 15 කට අයත් වූහ. මේ නිසා ඉතා අවශ්‍ය කටයුත්තක්‌ වූයේ එම පවුල් සඳහා ප්‍රමුඛතාවයක්‌ ලබා දී අවතැන් වූ පවුල් 350 ක්‌ පමණ නැවත පදිංචි කරවීමයි. මූලිකවම මේ සඳහා කතෝලික ස්‌වේච්ඡා ආයතනයක්‌ මඟින් නිවාස 15 ක්‌ ඉතා ඉක්‌මනින් ප්‍රදේශවාසීන්ගේ ආධාරද ඇතිව ඉදිකොට අනාථ වූ පවුල් 15 ඉක්‌මනින් නැවත පදිංචි කරවීමට කටයුතු යොදනු ලැබීය. අරන්තලාව සිදුවීමෙන් මියගිය පුද්ගලයන් අතර අලහකෝන් නමැති අයගේ පවුල සුවිශේෂ විය. අලහකෝන් නම් වයස 45 ක පමණ අරන්තලාවේ පදිංචිකාරයෙකු වූ රියෑදුරු රැකියාව කරනු ලැබූ අයෙකුගේ බිරිඳ හා ළමයි 8 දෙනෙක්‌ නිදි පැදුරේම කපා කොටා දමා තිබුණි. ඔහු එදින කල්මුණේ ප්‍රදේශයේ රැකියාවට ගොස්‌ තිබූ බැවින් ඔහුගේ ජීවිතය බේරුණු අතර අරන්තලාව ප්‍රදේශයට නිකමට හෝ යැමට ඔහු බිය පත් වී සිටියේය.

අම්පාර කතෝලික දේවස්‌ථානයේ ඩයස්‌ පියතුමාගේ නිවාස ආධාර යටතේ ඔහුට අයත් නිවස අරන්තලාව ප්‍රදේශයෙන් සැතපුම් 10 ක්‌ පමණ ඈතින් වූ හරස්‌ගල ප්‍රදේශයෙ ඉදිකරනු ලැබූ අතර, වසරකට පමණ පසු ඔහු විසින් ළමයින් 5 දෙනකු සමඟ වැන්දඹු බිරියක්‌ නැවත විවාහ කරගනු ලැබීය. නැවත පදිංචි වූ ස්‌ථානයෙහිම සුළු ව්‍යාපාරයක්‌ ආරම්භ කළ ඔහු කාලයාගේ ඇවෑමෙන් සාමාන්‍ය ජීවිතයට හුරු විය. අරන්තලාව සිදුවීම සමඟ නැවත පදිංචි කරවීමේ සංකල්පයක්‌ ලෙස පොකුරු ගම්මාන ඉදිකිරීමේ වැඩසටහන ආරම්භ කරන ලදී. මායිම් ගම්මානවල පදිංචිකරුවන් නැවත එක්‌තැන් කොට නිවාස ආධාර ලැබූ නුවරගලතැන්න, බොරපොළ, බැඳිරැක්‌ක, පූලාවලි ආදී ගම්මාන මෙම වැඩසටහන යටතේ තවමත් ආරක්‌ෂිත මට්‌ටමේ පවතී. පොකුරු ගම්මාන නම් පදිංචිකරුවන් ආරක්‌ෂක හේතු මත එක්‌තැන් කොට පදිංචි කරවීමේ ක්‍රමයයි. මෙම ගම්මාන ඉදිකිරීමෙන් පසු අවශ්‍ය වෙනත් පහසුකම් හා අවශ්‍යතාවන් පිළිබඳ පෞද්ගලිකවම නිතර නිතර සොයා බැලීම මඟින් අදාළ ගැමියන්ගේ ආත්ම විශ්වාසය වර්ධනය කිරීම මහඔය කොට්‌ඨාසයේ මිනිසුන් ප්‍රදේශය අතහැර යැම අඩු වීමට හේතු විය. මෙම කටයුතු සමඟ යුද හමුදා ඒකක කිහිපයක්‌ද පිහිට වූ අතර, රාජකාරීමය වශයෙන් ඔවුන් සමඟ පැවැත් වූ සබඳතා මඟින් තවදුරටත් අනාරක්‌ෂිත ගම්වල අවදානම අඩු කිරීම සඳහා වඩා හොඳ මැදිහත්වීමක්‌ ඉටු කිරීමට මට හැකි විය. එවකට අම්පාර සම්බන්ධීකරණ නිලධාරීන් ආදී හමුදා නිලධාරීන් සමඟද නිරන්තර සබඳතාවක්‌ පවත්වමින් ඉතා ක්‍ෂණිකව හා අවශ්‍ය පරිදි රාජකාරිමය හා පෞද්ගලික ලෙස යොමු වීම මත ප්‍රබල ත්‍රස්‌තවාදී පහරදීම් හමුවේ අසරණව හා අතරමංව සිටි ප්‍රදේශයට ප්‍රබල ශක්‌තියක්‌ වීමට මට හැකිවූවා යයි විශ්වාස කරමි. මගේ පරිපාලන සේවා කාලය තුළ හා පරිපාලන සේවා නිලධාරියෙකු ලෙස ප්‍රායෝගිකවම සිවිල් ආරක්‌ෂාව සඳහා වඩා හොඳ පුහුණුවක්‌ ලැබීමට මෙවැනි තත්ත්වයන් නිසා හැකි විය.

අරන්තලාව ඝාතනය ඇතුළු බරපතළ සිදුවීම් ගණනාවක්‌ ඊට පසුකාලීනව මහඔය ප්‍රාදේශීය උප දිසාපති කොට්‌ඨාසයේ සිදු වූ අතර, ඒa සියලු සිදුවීම්වලින් සිවිල් නිලධාරියෙකුට වඩා වැඩිමනක්‌a සේවයක්‌ මා විසින් ඉටු කරනු ලැබ ඇත. කොට්‌ඨාසය තුළ ඕනෑම ආකාරයේ සිදුවීමකදී වේලාව අවේලාව ආදී කිසිවක්‌ පිළිබඳ තැකීමක්‌ නොමැතිව ප්‍රාදේශීය උප දිසාපතිවරයෙකු ලෙස ගොඩ නඟා ගත යුතු වූ බොහෝ බලපෑම් කිරීමේ ශක්‌තියක්‌ ගොඩ නඟා ගැනීමට මෙම ඉදිරිපත්වීම්වලින් මා ලැබූ වාසිදායක තත්ත්වයක්‌ විය.

කල්යාමේදී අරන්තලාව හරහා අම්පාරට යාම බොහෝ දුරට ආරක්‌ෂක අංශ මඟින්ද තහනම් කර තිබූ අතර, ප්‍රදේශවාසීන් වෙනුවෙන් හෝ මගේ පෞද්ගලික අවශ්‍යතාවයක්‌ වෙනුවෙන් විශේෂ ආරක්‌ෂක ඉල්ලීම් හෝ ඒ මතට යෑපීමට මගේ කිසිදු යොමු වීමක්‌ නොවීය. ක්‍ෂණිකව හා කලින් සූදානම් කර නොගත් යොමුවීම්වලින් බොහෝ ආපදාවලින් බේරී සිටිය හැකි බව මහඔය උප දිසාපති ලෙස මා උගත් තවත් පාඩමකි. ඉවෙන් මෙන් බොහෝ දේවල් හඳුනා ගනිමින් කාර්යය යොමු වීමක්‌ සඳහා පුහුණුවක්‌ සැබවින්ම මා විසින් මහඔය උප දිසාපතිවරයා ලෙස කටයුතු කිරීමෙන් ලබා ගනු ලැබූ ජීවන පන්නරයකි. මහඔය කොට්‌ඨාසය තුළ වසර 6 ක්‌ තුළ මුහුණ දුන් අති බිහිසුණු අත්දැකීම් මත කිසිදු ශාරීරික ආබාධයකට හෝ ජීවිත හානියකට ලක්‌ නොවී පැමිණීමට ලැබීම එක්‌තරා දුරකට එම හුරුවීම මඟින් ලැබූ යහපත් ප්‍රතිඵලයකි.

අරන්තලාව ප්‍රදේශය හරහා ගමන් කිරීම තහනම් කොට හා බොහෝ අය විසින් බිය නිසාම අත්හැර දමා තිබූ කාලවලදී පවා මා විසින් භාවිතා කළේ අරන්තලාව මාර්ගයයි. වසර 6 ක්‌ තිස්‌සේ අවම වශයෙන් මසකට 4 වතාවක්‌ හෝ අම්පාරට යැම ඊම සඳහා අරන්තලාව මාර්ගය මා විසින් යොදා ගනු ලැබිණි. අරන්තලාව හරහා වේලාව අවේලාව නොබලා විවිධ අවශ්‍යතාවන් සඳහා ගමන් කිරීමේදී නොයෙකුත් ත්‍රස්‌තවාදී ක්‍රියාවන් පිළිබඳ අත්aදැකීම් ලැබීමට මා හට අවස්‌ථාව ලැබිණි.

අරන්තලාව භික්‌aෂු ඝාතනය

1987 පෙබරවාරි 08 දින අරන්තලාවේ සිදු වූ මුල් මිනිස්‌ ඝාතනය වූ දින අරන්තලාව විද්‍යාලය අවට අති විශාල ජනතාවක්‌ රැස්‌විය. ප්‍රදේශයේ ජනතාව මෙන්ම අවට ප්‍රදේශවලින්ද අදාළ සිද්ධිය නැරඹීම සඳහා විවිධ මට්‌ටමේ පිරිස්‌ හා විශාල වාහන සංඛ්‍යාවක්‌ එදින අරන්තලාවට ළඟා විය. උප දිසාපති ලෙස මා හටත් අපගේ කාර්ය මණ්‌Aඩලයටත්a එදින ඉතාමත් කාර්යබහුල දිනයක්‌ විය. එදිනම භූමදාන කටයුතු කිරීමට අවශ්‍ය කටයුතු යෙදීමත්, මෙම සිදුවීම පිළිබඳ විවිධ අංශවලින් හා පුද්ගලයින් වෙත පිළිතුරු ලබාදීමත්, විවිධ අංශ සමඟ සබඳතා පැවැත්වීමත් නිසා එකම ස්‌ථානයක රැඳී සිටීමට අපට නොහැකි විය.

විවිධ කාර්යයන් සඳහා මහඔය නගරයටත්, කාර්යාලයටත් යැමට නිතර නිතර අවශ්‍ය විය. එදින පෙ.ව. 5.30 පමණ සිට මෙම සිදුවීම වෙනුවෙන් විවිධ කාර්යයන්වල නිරත වූ මා හට ප.ව. 2.30 ට පමණ නැවතත් අරන්තලාව විද්‍යාලය අසලට යැමට අවශ්‍ය විය. මා එහි යන විට වයස අවුරුදු 50 ක්‌ පමණ වන ශරීරය මනාව වැඩුනු භික්‌ෂූන් වහන්සේ නමක්‌ තම කුඩයද දිගු කරමින් සිංහල ජනතාවට සිදුවී ඇති මෙම ව්‍යසනය පිළිබඳ දැඩි ලෙස විවිධ අංශවලට බැණ වදිමින් කෑ කෝ ගසන දර්ශනයක්‌ දැකිය හැකි විය. ප්‍රදේශයේ දේශපාලනඥයින්ටත්, රජයටත්, සමස්‌ත දෙමළ ජනතාවටත් ඉතා තදබල ලෙස දොස්‌ පවරන උන්වහන්සේගේ ඉරියව්වලින් අසල වූ කෙනෙකුගෙන් උන්වහන්සේ කවුදැයි දැන ගැනීමට විමසීමේදී දැනගත හැකි වූයේ අම්පාර නගරයේ විහාරස්‌ථානයක වැඩ වසන හෑගොඩ ඉන්ද්‍රසාර නායක ස්‌වාමීන් වහන්සේ බවය. උන්වහන්සේ අම්පාර ප්‍රදේශයේ සිංහල ජනතාව වෙනුවෙන් බොහෝ කතාබහ කරන බවත්, ඒ වෙනුවෙන් නොයෙක්‌ කැපකිරීම් කරන බවත්, මෙම සිදුවීම නිසා උන්වහන්සේ බලවත් කලකිරීමකින් එලෙස කතා කරන බවත් දැන ගත හැකි විය. මෙම අවස්‌ථාවට සහභාගි වූ ප්‍රාදේශීය මට්‌ටමේ දේශපාලනඥයින් හටද උන්වහන්සේ වරින් වර දොස්‌ පවරමින් බැණ වැදීමට විය.

අරන්තලාව සිදුවීමෙන් ජීවිත හානියට පත් 29 දෙනාගේ භූමදාන කටයුතු එදිනම සිදුකළ අතර, එදින රාත්‍රි 7.00 පමණ වන විට අරන්තලාව ප්‍රදේශය සම්පූර්ණයෙන්ම පාළු ප්‍රදේශයක්‌ බවට පත් විය. අරන්තලාව විද්‍යාලය සම්පූර්ණ ලෙස අත්හැර දැමුනු අතර, අවට පදිංචිකරුවන් අරන්තලාව ගම්මානයේ සිට කි. මී. 3 ක්‌ පමණ නොදුරින් පිහිටි බොරපොළ ගම්මානය අසල තාවකාලිකව පදිංචි විය. මුල් සති කිහිපය තුළ බොරපොළ විද්‍යාලයෙත්, තාවකාලිකව සකස්‌ කරදුන් නිවාසවලත් මෙම පිරිස්‌ පදිංචි වූ අතර, අරන්තලාව ප්‍රදේශයේ හුදෙකලා බව නිසා කිසිවෙක්‌ එහි නැවත පදිංචි වීම සඳහා කැමැත්තක්‌ නොදැක්‌වීය. අරන්තලාව සිදුවීමෙන් පසු මේ අනුව කි. මී. 10 ක පමණ ප්‍රදේශය ඉතා පාළු ප්‍රදේශයක්‌ වූ අතර, මුල් කාලවලදී එම ප්‍රදේශයේ ප්‍රබල ආරක්‌ෂක වැඩපිළිවෙළක්‌ද නොවීය.

අරන්තලාව සිදුවීමෙන් පසු බොරපොළ, නුවරගලතැන්න ආදී අවට ප්‍රදේශවල ගැමියන්ට තුවක්‌කු සැපයීමෙන් සාමාන්‍ය පරිදි ග්‍රාමාරක්‌ෂක සේවාවක්‌ ඇති කළත්, ප්‍රධාන මාර්ගය තුළ සැලකිලය යුතු ආරක්‌ෂක විධි විධානයක්‌ ඇති කරනු නොලැබීය. මේ අනුව මහඔය සිට අම්පාර යන බොහෝ දෙනෙක්‌ මෙම බොරපොළ සිට නුවරගලතැන්න දක්‌වා කි. මී. 10 ක පමණ දුරක්‌ ඉතා පාළු කැලෑ ප්‍රදේශයක්‌ පසු කර යැමට සිදුවිය. අරන්තලාව සිදුවීම සිදුවී සතියක්‌ පමණ යන විට එහි ඉතිරි වී තිබූ නිවාස හා ගෙවතු වල් අලින් විනාශ කරනු ලැබීය. පාළුවට ගොස්‌ තිබූ අරන්තලාව විද්‍යාලය අසලින් ගමන් කිරීම දහවල් කාලයේදී වුවද තරමක බිය සැක ඇති කරන දෙයක්‌ විය. මෙම මුල් යුගවලදී අරන්තලාවට ආසන්නවම පිහිටි තවත් හුදෙකලා ගමක්‌ වූ නුවරගලතැන්න ගමෙහි ආරක්‌ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක්‌ සකස්‌ කිරීමට සිදු වූ අතර, පවුල් 75 ක්‌ පමණ පදිංචිව සිටි එම ගමෙහි සෑම නිවසකටම මෙන් ගිනි අවියක්‌ ලබාදීමටත්, ඒa මඟින් ග්‍රාමාරක්‌ෂක වැඩපිළිවෙළක්‌ ඇති කිරීමටත් හැකි විය.

අරන්තලාව සිදුවීමෙන් පසු විවිධ කටයුතු නිසා කාර්යබහුල කාලයක්‌ ගත කළ මා 1987 ජුනි මස 2 දින පෙ.ව. 8.00 ට පමණ කාර්යාලයට යැමට සූදානම් වී සිටියෙමි. පොලිස්‌ ස්‌ථානය මගේ නිල නිවස ඉදිරිපිට වූ අතර, එහි නිලධාරීන් කුමන හෝ කලබලයකින් ක්‍රියා කරමින් සිටිනු දැක ගත හැකි විය. ගිනි අවිද රැගෙන පාර දෙසට දිව යන පොලිස්‌ නිලධාරීන්ගේ ස්‌වරූපය දුටු මා හට කුමක්‌ හෝ සිදුවීමක්‌ සිදු වී ඇති බවට හැඟීමක්‌ ඇති විය.

මේ පිළිබඳව විපරම් කිරීමට මාර්ගය දෙසට යැමට මා හට අවශ්‍ය විය. ප්‍රධාන පාරට පැමිණි මා වෙත තවත් පොලිස්‌ නිලධාරියෙකු රැගෙන ආවේ තවත් ඇදහිය නොහැකි පණිවුඩයකි.

“සර් අරන්තලාව ඉස්‌කොලෙ ළඟ හාමුදුරුවරු ගොඩක්‌ මරලා දාලලු. බස්‌ එකකින් ඇවිත් තියෙන්නෙ. අපිට මේ දැන් ග්‍රාමාරක්‌ෂකයෙක්‌ තමයි ඇවිත් කිව්වේ. ග්‍රාමාරක්‌ෂකයෝ වෙඩි තිබ්බම තමයි උන් පැනලා ගිහින් තියෙන්නෙ.”

පොලිසියේ වාහනයක්‌ නොමැතිවීම නිසා සමුපකාරය අසල නවතා තිබූ ට්‍රක්‌ රථයක නැගගත් පොලිස්‌ නිලධාරීන් පිරිස්‌ ඒ වන විටත් මා ඉදිරියෙන් සිද්ධිය වූ දෙසට ධාවනය විය. මෙම සිදුවීම ඇසීමෙන් මහඔය නගරය අවට ක්‍රමයෙන් කලබල ස්‌වරූපයක්‌ ඇති විය. ඊළඟට පැමිණි ලොරි රථයක්‌ පොලිසිය ඉදිරියේ නතර කරන ලදී. එය අම්පාර බලා යන ලොරියකි. මා වෙත වෙන් වූ වාහනයක්‌ නොවූ බැවින් මමද එම ලොරියටම නැඟ ගතිමි. දැන් ලොරියෙහි හැකි හැම තැනම සෙනඟ පිරී ඇත. කෙසේ වුවද පෙ.ව. 9.00 පමණ වන විට අදාළ ස්‌ථානයට ළඟා වීමට අපට හැකි විය.

අරන්තලාව සිදුවීම වූ ප්‍රදේශයට ඉතා නුදුරින් ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 100 ක්‌ පමණ නොදුරින් නවතා ඇති ලංගම බස්‌ රථයකි. එය ස්‌වාමීන් වහන්සේලා පැමිණ ඇති බස්‌ රථයයි. අප වහාම එතැනට ළඟාවීමු. ඒ වන විටත් මළ සිරුරු හා තුවාල ලත් 9 දෙනෙක්‌ අම්පාර රෝහලට ගෙන ගොස්‌ තිබුණි. වෙඩි පහර නිසා බස්‌ රථයේ සියලු වීදුරු කැඩී ගොස්‌ තිබුණි. සෑම අසුනකම ඉතා තද ලේ පැලලම් විය. බස්‌ රථයේ දොරටු අසල ගලා යන මට්‌ටමේ ලේ දහරාවන් විය. එයින් පෙනී ගියේ ස්‌වාමීන් වහන්සේලා පලා යැමට හෝ බස්‌ රථයෙන් බැසීමට උත්සාහ ගෙන ඇති බවය. ලේවලින් තෙත් වූ සිවුරු කිහිපයක්‌ද බස්‌ රථය තුළ විය.

මෙම සිදුවීම ඉතාමත් සංවිධානාත්මක ලෙස සිදු වී ඇත. ඉන්ද්‍රසාර ස්‌වාමීන් වහන්සේ එවකට අගමැති වූ ආර්. ප්‍රේමදාස මහතාගේ හිතවතෙකි. උන්වහන්සේ හැම ගම් උදාව වැඩසටහනක්‌ වෙනුවෙන්ම විශේෂ ආගමික වැඩසටහන් පැවැත්වීම සඳහා ඉදිරිපත් වී ඇති හිමි නමකි. අදාළ බස්‌ රථය උන්වහන්සේ වෙන්කර ගෙන ඇත්තේ අම්පාර ලංගම ඩිපෝවෙන් වන අතර, ඒ මඟින් අදාළ වේලාවන් ආදිය ත්‍රස්‌තවාදීන් අතට පත් වී ඇත. මේ නිසා පාළු වී ඇති අරන්තලාව ප්‍රදේශය මෙවැනි ප්‍රහාරයක්‌ සඳහා ත්‍රස්‌තවාදීන් විසින් තෝරා ගෙන ඇත. මෙවැනි ප්‍රහාරයක්‌ සඳහා ත්‍රස්‌තවාදීන්ට පහසුවෙන් උපද්‍රවයකින් තොරව පලා යැමේ හැකියාවද ඇත.

මෙම සිදුවීමේදී ස්‌වාමීන් වහන්සේලාගේ විලාප හඬත්, වෙඩි තබන ශබ්දයත් නුවරගලතැන්න ග්‍රාමාරක්‌ෂක භටයින් කිහිප දෙනෙකුට ඇසී ඇති අතර, ඔවුන් කිහිප දෙනෙක්‌ සිද්aධිය වූ ස්‌ථානයට ඉතා ඉක්‌මනින් පැමිණ ඇත. ඔවුන්ගේ වෙඩි හඬ නිසා ත්‍රස්‌තවාදීන් ඉතා ඉක්‌මනින් පලා ගොස්‌ ඇති අතර, 20 ක පිරිසක්‌ අදාළ සිදුවීමෙන් පසු පලා ගිය බව ඔවුන් දර්ශනය කර ඇත. ඔවුන් එම ස්‌ථානයට පැමිණිම නිසාත් ඒ බව පොලිසිය වෙත කඩිනමින් දැන්වීම නිසාත් තුවාලකරුවන් අම්පාර රෝහල වෙත ලොරි රථයක්‌ මඟින් ගෙන යැමට හැකි වී ඇත.

අදාළ සිදුවීමෙන් පැයක්‌ පමණ ඇතුළත එම සිදුවීම වූ ස්‌ථානයට යැමට අප හට හැකි වූ අතර, ඉතා ඉක්‌මනින් අම්පාර රෝහලට වෙත යැමටද අවශ්‍ය විය.

ඊට මඳ වේලාවකට පසු එම ස්‌ථානයට පැමිණි වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජීප් රථයකින් අම්පාර රෝහල වෙත ගිය අතර ඒ වන විටත් අම්පාර මූලික රෝහල අවට එකම හිස්‌ ගොඩකි. මියගිය ස්‌වාමීන් වහන්සේලා සිරුර ආලින්දය දිගේ තැන්පත් කර ඇත. සිරුරු ලෙයින් තෙත් වී ඇත සැබවින්ම එය හද සසල කරවන දසුනකි. ඇදහිය නොහැකි සිදුවීමකි.

එදින සවස අම්පාරේ සිට නැවතත් මහඔයට අරන්තලාව හරහාම පැමිණියෙමි. මාස 5 ක්‌ තුළ මේ අනුව අරන්තලාව ප්‍රදේශයේ අති බිහිසුණු මිනිස්‌ ඝාතන 2 ක්‌ සිදුවී ඇත. නුවරගලතැන්න ගමේ සිට මීළඟ ගම වන බොරපොළ හමුවීමට කි. මී. 10 ක්‌ පමණ යා යුතුවේ. එදින සවස 6.00 ට පමණ මෙම ස්‌ථානය අප විසින් පසු කර ගියේ කිව නොහැකි තරම් බියකිනි. මෙම කාලය තුළ අරන්තලාව හරහා ගමන් කිරීම සැබවින්ම ජීවිතය පරදුවට තැබිය යුතු කාරණයකි. එහෙත් අප ඒ හරහා යා යුතුම වේ.

1987 ජුනි මස 2 දින ඝාතනයට ලක්‌ වූ භික්‌ෂුන් වහන්සේලාගේ ආදාහන කටයුතු 5 සිකුරාදා අම්පාර වැව ඉස්‌මත්තේ එක පෙළට ඉදි වූ චිතක 32 ක්‌ තුළ සිදුකරනු ලැබීය. එය සැබවින්ම වචනයෙන් විස්‌තර කළ නොහැකි ශෝචනීය දසුනකි. කඳුලින් පිරුණු දැස්‌වලින් යුත් අති විශාල පිරිසක්‌ එදින එහි රැස්‌ වී සිටියහ. ආදාහන කටයුතු අවසන් වූ එදින නැවතත් අප අරන්තලාව හරහා මහඔය නිල නිවස වෙත පැමිණෙන විට රාත්‍රි 8.00 පමණ විය.

මහඔය ගතකළ කාලය හා අරන්තලාව සිහිවන සෑම විටම ලෙයින් තෙත් වූ බස්‌ රියත්, රෝහලේ එක දිගට දමා තිබූ මළ සිරුරු පෙළත්, උන්වහන්සේලා ආදාහනය සඳහා ඉදිකර තිබූ කහ පැහැති චිතක පෙළත් මා ඉදිරියේ මැවී පෙනේ. ඒවා ජීවිතය පුරාවටම අමතක කළ නොහැකි අඳුරු මතක සටහන් වේ.

[rns_reactions]