අරන් හදාගත්ත දුවගේ බහට බෝසත් පියාව මරාගත් හැඳල නොමිනිස් දරු පවුල

Spread the love

මව සහ දරුවා අබිරහස් ලෙස කපාකොටා සිය නිවෙස තුළදීම මරා දැමීම, සැමියා විසින් බිරියට පහරදී මරා දැමීම, බිරිය විසින් කර ආකාරයේ සැලසුමකට සැමියා ඝාතනය කිරීම, අනියම් බිරිය පහරදී මරා දමා සිය බිරියගේ මළ සිරුර ලොරියක තබාගෙන ගෙන යාම ආදී සිත්කම්පා කරවන ගෘහආශ්‍රිත ඝාතන රැසක් ගෙවී ගිය සතිය තුළදී දිවයින පුරා ප්‍රදේශ රැසකින් වාර්තා විය. එමෙන්ම ඉකුත් සතියේ ඝාතන අතර පාතාලයට සම්බන්ධ ඝාතනද විය. මේ ඝාතන රැල්ල අතර වත්තල හැඳල ඝාතනය දැඩි කතාබහකට ලක්වූ ඝාතනයක් විය. බිරිය හදාගත් දියණිය සහ ඇගේ සැමියා බව කියන පුරුෂයා සමඟ එක්ව කුමන්ත්‍රණය කොට සැමියා ඝාතනයට ලක්කළ ආන්දෝලනාත්මක ඝාතනය වත්තල කෙරවළ පිටියම දෙදරුම් කවන්නට සමත්විය.

කොළඹ වරායේ බර යන්ත්‍ර උපකරණ ක්‍රියාකරුවකු වශයෙන් කටයුතු කළ හෙට්ටිතන්ත්‍රිගේ වෝල්ටර් (65) මහතා වරාය අධිකාරියේ සේවයෙන් විශ්‍රාම ලබන විට දොඹකර ක්‍රියාකරුවෙක් වශයෙන් කටයුතු කරමින් සිටියේය. සැපවත් දිවියක් ගතකරන්නට තරම් යහපත් ආර්ථික මට්ටමක් ගොඩගාගෙන සිටි වෝල්ටර් මහතා වත්තල කෙරවළපිටිය සමගි මාවතේ අංක 128/1 දරන ලිපිනයේ පදිංචිව සිටියේය.

සහෝදරියන් දෙදෙනකු සහ සහෝදරයන් දෙදෙනකු ඇතුළු පවුලේ වැඩිමලා වූ වෝල්ටර්ගේ බාල සොහොයුරකු කලකට ඉහතදී මිය ගියද සොහොයුරියන් දෙදෙනා අසල්වැසි නිවෙස්වල පදිංචිව සිටිති. එක් සොහොයුරෙක් දෙල්ගොඩ ප්‍රදේශයේ කල් ගෙවයි. අර්ධ නාගරීකරණයට ලක්ව ඇති කෙරවළ පිටියේ ඉඩම් හිඟ නිසාම වෝල්ටර්ගේ නිවෙසේ භූමිය පර්චස් 20කට සීමා විය. නමුත් ආසන්නයේ පිහිටි කුඩා නිවස හා ඉඩම සිය මෑණියන් වෙනුවෙන් වෙන්කර තබන්නටත් ඇයට එහි නිදහසේ කල් ගෙවන්නටත් පහසුකම් සලසා තිබුණි.

කලකට ඉහතදී වෝලටර් විවාහ ගිවිස ගත්තද මිල මුදල් ආදී සියලු සැප සම්පත් නොඅඩුව ලැබුණද තමන්ට දාව දරුවෙකුගේ සුරතල් බල්නනට තරම් වාසනාවන්ත වූයේ නැත. මේ හේතුවෙන් වෝල්ටර් මෙන්ම සිය බිරියත් කල්ගෙවුයේ සිත් තැවුලෙනි. එම කරුණ මුල්කොටගෙන වාද විවාද ඇති වුවද කිසි විටෙකවත් ඒවා පිටස්තරයන්ට දැනගන්න ඉඩ නොතබන්නට වෝල්ටර් වග බලා ගත්තේය. මෙසේ කල් ගෙවෙද්දී වෝල්ටර් මහතාට වයස අවුරුදු 40 පමණ කාලයේදී එම යුවළගේ තීරණයෙන් තම දරුවකු මෙන් ඇති දැඩි කරගන්නා බවට සපත වෙමින් කුඩා දැරියක සිය නිවෙසට කැඳවාගෙන ආවේය. එදා එසේ නිස ලෙයින් උපන් දැරියක සේ නිවෙසට ගෙන ආ ඩිස්නා දිල්රුක්ෂි නම් වූ ඇය දැන් අවුරුදු 25ක තරුණියකි. නන්නාඳුනන දැරිවියකට මව් පිය සෙනෙහස ලබාදෙමින් ආදරය කරුණාව පමණක් නොව ඇවැසි සියලු පහසුකම් නොඅඩුව ලබාදෙන්නට වෝල්ටර් උත්සාහ ගත්තේය. දියණිය හදාගැනීමට කැටුව ආ බව දැනෙන්නට කිසි විටෙකත් වෝල්ටර් ඉඩ තැබුවේ නැත. මේ බව දරුවා දැන ගනීවිදෝ සැකයට ඇයට අවශ්‍ය සැප පහසුකම් සපයා කොළඹ නගරයේ ප්‍රධාන පාසලකින් අධ්‍යාපනය ලබාදෙන්නට පියවර ගෙන තිබුණි.

අසල්වැසියන් අප හා පැවසූ පරිදි එකා යකායැයි කියන්නා සේ ආදරයේ නාමයෙන් හදාගත් ඒ දියණිය මුරණ්ඩුය. හිතූ මනාපෙට හැසිරුණේ කිසිදු අවවාදයක් මායිම් නොකරය. මේ නිසා තරුණ දියණිය විවිධ තරුණයන් හා ගොඩනගා ගත් ප්‍රේම සම්බන්ධතා රැසක් පැවැත්වූ බව අසල්වැසියෝ අප හා පැවසූහ. ඒ එකක් හෝ තමන්ට තියා පවුලටවත් නොගැළපෙන ඒවා වූ බවද ඔවුහු කියති. රැකියාවට මූලිකත්වය දෙමින් රැකියා ස්ථානයත් නිවසත් අතර ගත කළ වෝල්ටර් මහතාට සියල්ල නොවුණත් තරමක තොරතුරු දියණිය පිළිබඳව ආරංචි වී තිබිණි. ඒ සම්බන්ධයෙන් කළ අවවාද වලින් පලක් නොවුයෙන් වෝල්ටර් මහතා කනගාටුවෙන් පසුතැවිලි විය. මේ අතරතුර හාද වූ තරුණයෙක් හා ඩිස්නා දිල්රුක්ෂි විවාහ ගිවිසගෙන තිබුණේ හදාගත් පියාට හොර රහසේය. එහෙත් එම විවාහය එතරම් කලක් පැවතියේ නැත. පළමු විවාහය කැඩී ගිය ඇය වැඩි දිනක් නොයා යළි සබඳතාවයක් ගොඩනගා ගත්තාය. මෙසේ ඇසුරු කරන තරුණයන් රාශියක් අතර වීරප්පන් ඇන්ටනී විනෝ ප්‍රකාශ් දිල්රුක්ෂිට වඩාත් ළං වූවේය. ඔහු ත්‍රිකුණාමලය ප්‍රදේශයේ උපන් අයෙක් වුවද වෝල්ටර් මහතා පදිංචි සමගි මාවතට නුදුරු කොළණිය නමින් හදුන්වන ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි. අල්ලපු ගමේ ජීවත්වන ඔහු කැලණිය ප්‍රදේශයේ තේ ඇසුරුම් කම්හලක සේවකයෙකි. ඩිස්නා දිල්රුක්ෂි ඔහු සමඟ විවාහ ගිවිසගෙන තිබුණේ මීට මාස කීපයකට ඉහතදි වෝල්ටර් මහතාට රහසෙනි. නමුත් ඔහුගේ බිරිය මේ බව දැනගෙන සිටි අතර ඇගේ ආශිර්වාදයද ලැබී තිබිණ. විවාහ ගිවිසගෙන තිබුණත් ඩිස්නා සිය නිවසේ කල් ගෙවූ අතර වෝල්ටර් මහතා නොමැති අවස්ථාවලදී ඇන්ටනී විනෝ ප්‍රකාශ් එම නිවසට පැමිණ යාමට පුරුදු විය.

මේ බව වටින් ගොඩින් වෝල්ටර් මහතාට ආරංචි වී තිබුණු අතර ටික කලකින් ඒ මහතා රැකියාවෙන් විශ්‍රාම ලැබීය. තමාට හොර රහසේ සිදුවන මේ ක්‍රියා පිළිබඳව කනගාටුවෙන් පසු වූ වෝල්ටර් මහතා දියණිය වන දිල්රුක්ෂිගේ නිදහසට බාධාවක් බව ඇය හැඳින සිටියාය. ගමේ කා සමගත් හිතවත් චරිතයක් වූ වෝල්ටර් නොදන්නා කෙනෙක් කෙරවල පිටිය ප්‍රදේශයේ නොවීය. එතරම් ඔහු සමාජශීලීය. එහෙත් සිය බිරිය හා දියණිය මිනිසුන් හා ආශ්‍රයක් නොමැති තරමය. කල් ගෙවූයේ දැඩි උද්දච්ච ස්වරූපයකටය. වෝල්ටර් මහතා ඔහුගේ ඥාති හිතවතුන් හා ආශ්‍රය වළකන්නට පෙරැත්ත කළේද ඔහු හදාගත් දියණිය විසින්ය. වෝල්ටර් මහතා ගම්වාසීන් හා කොතෙකුත් හිතවත් වුවද මෑතකදී ඔහුගේ විශ්‍රාම යාමත් සමඟ හිමි වූ ලක්ෂ 90ක පමණ මුදලත් සමඟ දියණියගේ හැසිරීම තව තවත් මුරණ්ඩු බව පෙන්වමින් තිබිණ. නමුත් සියල්ල ඉවසනවා හැරෙන්නට කළ හැකි යමක් හෝ සිය අදහස් ප්‍රකාශ කරන්නට කෙනෙක් නොවීය.

මෙසේ කල් ගෙවෙමින් තිබියදී දින ගණනක් තිස්සේ වෝල්ටර් මහතා පෙනෙන්නට නොවීය. ඥාති ගම්මුන්ට හිතවත් වෝල්ටර් අයියා රූපය දකින්නට නොලැබෙන නිසාම ඔවුහු තැන තැන වෝල්ටර් අයියා පිළිබඳ කතිකා කළෝය. මේ අතර වෝල්ටර් මහතාගේ නැගණියගේ ඥාති පුත්‍රයකුත් ඒ මහතාගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබාගත්තද ප්‍රතිචාර දක්වා තිබුණේ ඔහුගේ බිරිය විසිනි.

වෝල්ටර් ඕස්ට්‍රේලියාවේ ගියා යනුවෙන් ඔවුන් දෙදෙනාටම පවසා තිබුණද තමුන්ට නොදන්වා අයියා රට නොයන බව නැගණිය තරයේ විශ්වාස කළාය. මේ අතර වෝල්ටර් අයියාගේ හදිසි අතුරුදන්වීම පිළිබඳ සැක සිතූ අය අතර සිටි මෙරිල් ඇතුළු කීප දෙනෙක් සිදුවීම වත්තල පොලීසිය වෙත දන්වා සිටියහ.

ඒ සම්බන්ධයෙන් සොයාබලන ලෙස දන්වා ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එරික් පෙරේරා මහතා නිලධාරියෙක් පිටත් කර හැරීය. එම නිලධාරියා නිවැසියන්ගෙන් ප්‍රශ්න කළත් වෝල්ටර් රට ගිය කතාව කියා මඟ හැරියේය. ඒ වචනවල ගැබ් වූ සැකය හේතුවෙන් වෝල්ටර් මහතාගේ ජාතික හැඳුනුම්පත් අංකය ඉල්ලන්නට පොලිස් නිලධාරියා ක්‍රියාකළද දියණිය පවසා තිබුණේ ඔහුගේ ලිපිගොනු නිවසේ නොමැති බවත් තමා විසින්ම පියා ගුවන්තොටුපොළ වෙත ගොස් ඇරලූ බවත්ය. මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ එරික් පෙරේරා මහතා වෙනත් පොලිස් නිලධාරියෙකු කෙරවළපිටිය ග්‍රාමසේවක මහතා හමුවට යවා වෝල්ටර් මහතාගේ හැඳුනුම්පත්‍ර අංකය මෙන්ම අවශ්‍ය තොරතුරු රාශියක් ලබාගත්තේය. පසුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඔස්සේ සිදුකළ විමර්ශනයේදී අනාවරණය වූයේ හෙට්ටිතන්ත්‍රිගේ වෝල්ටර් නැමැත්තකු විදෙස් ගත වී නොමැති බවය. මේ බව රහසක් සේ රඳවා තබාගත් පොලීසිය උපක්‍රමශීලි විය.

මේ අතර නිවසේ සිටි දියණිය සහ මව පල්ලියේ මංගල්‍යට සහභාගි වී සුපුරුදු පරිදි සිටියද නැවත පොලිස් නිලධාරින් නිවසට යන විට ඔවුහු අතුරුදන්ව සිටියහ. මේ නිසා අධිකරණ නියෝග මත දොර විවෘත කරන්නට පොලීසිය පියවර ගත්තේය. එහිදී හුරතලයට ඇති කළ සුනඛයෙක් නිවෙසේ පෙනෙන්නට විය. නිවෙසේ කාමරය තුළ ලේ පැල්ලම් බවට සැක කළ හැකි සළකුණු කීපයක් පෙනෙන්නට විය. ඒ සියල්ල බිත්ති ආශ්‍රිතවය. ගෙමිදුල පිරික්සීමේදී නිවෙස පසුපස ගිනි ඇවිලුණු බවට තරමක සාධක විය. මේ වන විටත් නිවෙස තුළ ඝාතනයක් සිදුවන්නට ඇති බවට සැකකළ පොලීසිය එලා තිබූ සූෂ්ම දැලට අනුව වෝල්ටර් මහතා හදාගත් දියණියගේ ස්වාමිපුරුෂයා බව කියන තරැණයා වත්තල එඬේරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය. එය සිදු කළේද ඔහුගේ මිතුරකු මාර්ගයෙන් දුරකථන ඇමතුමක් ලබාදීමෙන් පසුවය. ඔහුගේ තොරතුරු මත ඔහුගේ බිරිය බව කියන ඩිස්නා දිල්රැක්ෂි සහ මව රෙජිනා නැමැත්තිය මට්ටක්කුලිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබූහ.

එහිදී අනාවරණය වූයේ මෙවැන්නකි. වෝල්ටර් මහතා සුපුරුදු පරිදි නිවසේ කල් ගෙවූ අවසන් දිනය ඉකුත් 23 වැනි ඉරිදාය. ඉතා සැහැල්ලුවෙන් කල් ගෙවමින් සිටි වෝල්ටර් සවස් යාමයේ නින්දට වැටී සිටියේ තමාගේම කාමරයේ ඇඳ මතය. මේ නිසා සිදුවන කිසිදු දෙයක් වෝල්ටර් දන්නේ නැත. මේ වන විටත් සැලසුම් කරගත් පරිදි ඩිස්නාගේ ස්වාමිපුරුෂයා වූ ඇන්ටනී මේ නිවසට පැමිණ හමාරය. කතා කොට ගත්තාටත් වඩා වැඩේ පහසුයැයි හැඟුනේ වෝල්ටර් නින්දට වැටී සිටින නිසාය. ඇන්ටනී රැගෙන ආ උල්පිහිය ඇසිපිය හෙලන සැණෙන් නිදියහනේ සිටි වොල්ටර්ගේ ගෙල පපුව හා උදරය පසාරු කරගෙන ගියේ කල්ප කාලයක පැවති වෛරයක් පිරිමසන පරිද්දෙනි. පහර කෑමෙන් බේරෙන්නට වෝල්ටර් දඟලද්දී පිහි පහර කිහිපයක් ඇදේ මෙට්ටටද එල්ල විය. මරණීය තුවාල හමුවේ වේදනාවෙන් කෑගසන්නට හදන වෝල්ටර්ගේ මුවගට රෙදි කැබැල්ලක් තබා ශබ්දය පිටවීම වැලකුවේ ඔහු හදාගත් දියණිය වූ දිල්රුක්ෂිය.

බරපතළ තුවාල හමුවේ මියගිය වෝල්ටර්ගේ ගෙල, පපුව සහ උදරය ප්‍රදේශයට එල්ල වූ ගැඹුරැ තුවාල 7කි. ඝාතනය කළ වෝල්ටර් සැඟවීම ඔවුන්ගේ ඊළඟ පියවරය. ඒ සඳහා වෝල්ටර්ගේ විවාහක බිරියද උපකාර වූවාය. ඇය රුගෙන ආවේ විශාල ඇඳුම් බෑගයකි. වෝල්ටර්ගේම සරම් දෙකක් ගෙන එතූ සිරැර දෙකට නවා සූට්කේසයේ රඳවා පසෙක තැබු ඔවුහු නිවෙස පුරා ගැලූ ලේ දහර වතුර දමා සෝදා හැරියහ. බියෙන් සැකයෙන් තොරව 24, 25 දෙදින දියණියගේ සැමියා වූ ඇන්ටනී එම නිවසේ සිට රුකියාවටද ගියේය.

පැය 72ට ආසන්න කාලයෙක් වෝල්ටර්ගේ මළ සිරුර සූට්කේසය තුළය. ඇන්ටනීගේ අදහස වූයේ එය නිවෙස පිටුපස මිදුලේ වළ දැමිය යුතු බවය. 25 වැනි අඟහරුවාදා සවස් යාමයේ ඔහු ගෙමිදුලේ වළක් හාරන්නට විය. ඔහු බිරියත් මවත් සමඟ එක්ව වෝල්ටර්ගේ සිරුර වලට දමා කිසිවක් නොවූ විලස පස්වලින් වසා දැමුවේය. අනතුරුව සූට්කේසය, වෝල්ටර් නිදාගත් මෙට්ටය සහ ලේ තැවුරුණු ඇඳුම් රාශියක් එතැනම බිම දමා ගිනි දැල්වූහ. තිදෙනාම සිතුවේ දැන් අපි නිදහස්… යන්නය.

සියල්ල එකිනෙක හෙළිකර ගත් පොලීසිය සැකකරුවන් තිදෙනා කැටුව 9 වැනිදා පෙරවරුවේ එම නිවසට පැමිණියේ වෝල්ටර් වළදමා ඇතැයි කී ස්ථානයෙන් ගොඩනැගීමටය. මේ අතරට වත්තල මහේස්ත්‍රාත් පූර්ණිමා ගමගේ මහත්මිය, රාගම අධිකරණ වෛද්‍යවරයා මෙන්ම අධිකරණ වෛද්‍ය සිසුහුද සහභාගි වී සිටියාය. ගොඩ ගත් දේහය පශ්චාත් මරණ පරික්ෂණය සඳහා රාගම රෝහල වෙත රුගෙන යනු ලැබීය.

මේ අවස්ථාවේ විරෝධතා දැක්වූ ප්‍රදේශවාසීහු කපා මරා වල දැමූ තොපිට සතුටුද දැන්, ඕස්ට්‍රේලියාවේ ගැඹුර අඩි තුනද?, වෝල්ටර් ඔබ රත්තරන් මිනිසෙක් යන පුවරු අත දරා සිටියහ.

වෝල්ටර් මගේ අයියා… ගෑනියි හදාගත්ත ළමයයි නිසා අයියා අපිත් එක්ක වැඩි සම්බන්ධයක් තිබුණෙ නෑ. නමුත් හිතවත්. අයියා දවස් ගණනක් පේන්න හිටියෙ නෑ. මම කතා කරලා ඇහුවම ඕස්ට්‍රේලියාවේ ගියා කීවා. මුං මගේ අයියා මරා දාලා… මම ඉන්නෙ එහා පැත්තේ ගෙදර. 25 හවස පස් කපන ශබ්දයක් ඇහුණා. රෑ වෙලා ලොකු ගිනිගොඩක් තිබුණා. වෙනදත් එයාලා එතන රොඩු පුච්චනවා. මුං එදා පුච්චලා තියෙන්න් අයියාගේ මිනී වල උඩ තියලා එයාගෙ රෙදි ටික. දැන් අයියට බොරු චෝදනාවක් කරනවා ඒ හදාගත්ත ළමයට අයියා ශාරිරික පීඩා කරා කියලා. ඒවා දැන් නිදහස් වෙන්න කියන පට්ටපල් බොරු කතා. අයියා එහෙම කෙනෙක් නෙවේ. නමුත් ඒ ගෑනු ළමයගේ චරිතය නරකයි කියලා මේ වටේ මිනිස්සු ඔක්කොම දන්නවා. යැයි වෝල්ටර් මහතාගේ නැගණියක් වූ මේරි ඇසෙන්ටා මහත්මිය පැවසුවාය.

මේ අතර අදහස් දැක්වූ ගම්වාසී ශ්‍රියානි මහත්මිය මෙසේ කීවාය. වෝල්ටර් කියන්නෙ කාටත් හිතවත්. මගේ පුතාගෙ මගුල් ගෙදරට ආරාධනා කරලා තිබුණෙ ගිය ඉරිදා පල්ලියට අවේ අම්මයි දුවයි විතරයි. මම ඇහුවා වෝල්ටර් අයියා කෝ කියලා. මළ ගෙදරක ගියා කියලයි මට කීවේ. නමුත් මුං එකතු වෙලා වෝල්ටර් අයියා මරලා යැයි ඒ මහත්මිය පැවසූවාය.

අප සමඟ අදහස් දැක්වූ නසාලියන් මහත්මිය මෙසේ කීවාය. වෝල්ටර් අයියා කාටත් එක වගේ උදවු කරන හිත හොඳ මිනිහෙක්. නොදන්නා කෙනෙක් නෑ. ඔය ළමයා අරගෙන හදාගත්තු කෙනෙක්. පුංචි වයසේදී මෙහෙට ගෙනත් තියෙන්නේ. එයාගේ චරිතය නම් අන්තිමයි. පිරිමි ළමයි ගාණක් එක්ක යාළු වෙලා හිටියා. කසාද දෙකක් කරගෙන තියෙනවා. සමහර පිරිමි ගෙදරට ගෙන්න ගත්තා. ඔය ළමයා රෑට රෑට ගෙදර තාප්පෙන් පැනලා යනවා අපි දැකලා තියෙනවා. ගේට්ටුවෙන් යන්නේ නෑ. හොරෙන් පැනලා යනවා වගේ තමයි. මේ ළඟදි කුඩු ගහන මිනිහෙක් එක්ක විවාහ වුණාලු. එයා මේ ළමයාට වඩා බාලයි කියනවා. ඒ මිනිහයි අම්මයි දුවයි එකතු වෙලා තමා වෝල්ටර් මරලා තියෙන්නේ.

මේ කාන්තාවන් ඇතුළු ප්‍රදේශවාසීන් රාශියක් මරණය සිදුවු නිවෙස ඉදිරිපිට පොලිස් ආරක්ෂාවද නොතකා එම නිවැසියන්ට විරෝධතාවය පෑමට විවිධ වැකි සඳහන් පුවරු රැගෙන සිටි අතර සැකකරුවන් සිරුර ගොඩගන්නා මොහොතකට රැගෙන ඒමේදී සහ නැවත රැගෙන යාමේදී හූ හඬ නංවමින්ද විරෝධතාව පෑහ.

මේ අතර සිද්ධිය පිළිබඳව පාපොච්චාරණය කළ සැකකාර දියණිය පොලීසිය හමුවේ මෙසේ පැවසුවාය.

මම යාළුවෙලා හිටියේ ඇන්ටනී එක්ක. තාත්තා මේකට විරුද්ධයි. අපි නොකියා විවාහ වුණා. අම්මා දන්නවා එයා කැමතියි. තාත්තාගෙන් මට විටින් විට කරදර වුණා. අම්මත් දන්නවා. මම ඇන්ටනීට මේවා සේරම කීවා. එයා කීවා මරමු කියලා. 23 වැනිදා පිහියෙන් ඇනලා මරැවා දවස් 2කට පස්සේ වළදැම්මා

ඝාතනය සම්බන්ධයෙන් පාපොච්චාරණය කළ ඇන්ටනී නැමැත්තා පොලීසිය හමුවේ මෙසේ පැවසීය.

මේ මරණයේ වගකීම මම බාර ගන්නවා. ඩිස්නාට ගමේ අයගෙනුත් කරදරයි කියලා තියෙනවා. මම ඒ අයගෙනුත් පළි ගන්නවා. අපි මේකෙන් පස්සේ ඉන්දියාවට යන්න හිතාගෙන හිටියේ. මරන්න ගත්ත පිහිය යන ගමන් මෝදර පාලමෙන් කැලණි ගගට දැම්මා

කැලණිය සහකාර පොලිස් අධිකාරි එම්.පී. ජයලත් මහතාගේ උපදෙස් මත වත්තල පොලීසියේ නිලධාරින් වැඩිදුර විමර්ශන සිදුකරති.

[rns_reactions]