අලුත් අවුරුද්ද එනවා යැයි කී විට බොහෝ දෙනෙකුට මතක් වන්නේ පාට පාට ඇදුම් විලාසිතාවන් ය. අතේ ඇති මුදලට අමතරව ණයට පවා මුදල් සොයා ගෙන බොහෝ දෙනෙක් රෙදිපිළි සාප්පු ගානේ සවාරි යති. එසේ දුවන්නේ අලුත් අවුරුද්ද යනු අලුත් ඇදුම් ඇඳීමේ අවස්ථාවක් ලෙස වරදවා වටහා ගැනීමෙනි. ඇතැමුන් අලුත් අවුරුද්ද වෙනුවෙන් දරණ වියදමෙන් සියයට හැටකට වඩා වෙන් වන්නේ ද ඇදුම් මිලට ගැනීම සඳහා ය.ඇත්තම කතාව කීවොත් අලුත් අවුරුද්දට අලුත් ම ඇදුම් නම් උවමනා ම නැත. මේ අලුත් ඇදුම් උමතුව නිසා අලුත් අවුරුද්දේ සැබෑ හරය යටපත් වී හාස්‍යජනක විලාසිතා තරගයක් පමණක් කරළියට එයි.
අපේ ජීවිතය සහ අපේ පරිසරය යනු මේ සෞරග්‍රහ මණ්ඩලයේ ම කොටසකි. හිරු සඳු ඇතුළු අනෙක් ග්‍රහ තාරකා මෙන්ම අපේ ජීවිත ද අපේ පැවැත්ම ද රඳා පවතින්නේ එකම විශ්ව ශක්තියකිනි. අප්‍රේල් 14 දා සිදුවන්නේ ඒ විශ්ව ශක්ති චක්‍රය අලුත් වීමකි. රේවතී නැකතේ සිට අස්විද නැකතට මාරුවන සූර්‍යා විසින් අපේ සමස්ත සෞරග්‍රහ මණ්ඩලයේ ම ශක්ති චක්‍රය අලුත් කරනු ලැබේ. අලුත් අවුරුදු උදාව ලෙස අප සමරන්නේ එම සිද්ධිය යි. ඒ සඳහා පුරාණයේ සිට අනුගමනය කරන නැකත් චාරිත්‍ර සම්ප්‍රදායක් තිබේ. ඇත්තෙන් ම සැබෑ අලුත් අවුරුදු සමරුව බවට පත්වන්නේ ඒ නැකත් සිරිත් අකුරට ම අනුගමනය කිරීමයි. අතීතයේ සිට මේ දක්වා එන සම්ප්‍රදාය වන්නේ අලුත් අවුරුද්ද සැමරීම සඳහා සකස් කළ නැකත් සීට්ටුව රටේ රාජ්‍ය නායකයාට පිළිගැන්වීමයි. ඒ නැකත් සීට්ටුවේ කොතැනකවත් අලුත් ඇදුම් ගැන කිසිම කතාවක් සඳහන් වන්නේ නැත.
අලුත් අවුරුද්දේ සැබෑ තේරුම කුමක්දැයි වටහා ගැනීමට ඒ නැකත් සීට්ටුවම අපට පිහිට වෙයි. එහි එන සෑම නැකත් චාරිත්‍රයකින් ම අපේක්ෂා කරන්නේ අලුත් විශ්ව ශක්තිය ඉතා හොඳින්ම ග්‍රහණය කර ගැනීමයි. නව සඳ බැලීමේ සිට හිසතෙල් ගෑමේ නැකත දක්වා වූ සියලු අවස්ථා සකස් කොට තිබෙන්නේ සූර්‍යාගේ අලුත් ශක්තිය මැනවින් උරා ගැනීමට රුකුලක් වන ලෙසට ය. අලුත් ඇඳුමක් දවටා ගත් පළියට ඒ විශ්ව ශක්තිය කැඳවා ගත නොහැක. ඒ සඳහා කළ යුතු එහෙත් බොහෝ දෙනකු විසින් නොසළකා හරිනු ලබන කරුණු කිහිපයක් මෙසේ ය.
නැකත් සීට්ටුව
අලුත් අවුරුද්දට පෙර ඔබේ නිවෙසේ සියලු ගෘහ භාණ්ඩ නිවෙසින් පිටතට ගෙන ඒවා ඉතා හොඳින් සෝදා පවිත්‍ර කොට ඔප දමන්න. එවිට වසරක් පුරා ඒවායේ රැදුණු දූවිලි මකුළු දැල් සහ වෙනත් අපද්‍රව්‍ය ඉතා පහසුවෙන් ඉවත් කිරීමට සහ ඒවායේ ඇති කැඩුණු බිඳුණු තැන් ඉතා මැනවින් පිළිසකර කිරීමට අවස්ථාව යෙදෙයි.
නිවෙසේ වහලයේ සිට ගෙබිම දක්වා වූ සියල්ල මැනවින් පිරිසිදු කරන්න. එවිට වසරක් පුරා එහි රැදුණු දූවිලි මකුළු දැල් සහ වෙනත් අපද්‍රව්‍ය ඉවත් කිරීමට අවස්ථාව යෙදේ. මෙහිදී ඔබේ නිවෙසේ ගෘහභාණ්ඩ නිවෙසින් පිටතට ගැනීම අත්‍යවශ්‍ය වන අතර ඉන් අනතුරුව නිවෙස ඇතුළත කොටසින් කොටස හෝ පිරිසිදු කළ හැකිය.
මේ අවස්ථා දෙකෙන් අපේක්ෂා කරන්නේ හුදෙක් නිවස සහ ගෘහභාණ්ඩ පිරිසිදු කිරීම පමණක් නොවෙයි. වසරක් පුරා ඔබේ නිවෙස අභ්‍යන්තරයේ සංසරණය වූ සූර්‍යාගේ ජීව ශක්තිය ගෘහභාණ්ඩ සහ නිවෙසේ අහුමුළුවල රැඳෙන අතර ඒවා එක තැන පල්වීමකට ලක්වෙයි. දූෂිත වූ ජීවශක්තිය ලෙඩ ගොඩකට සහ අවාසනාවට හේතුවකි. සාමාන්‍යයෙන් සිදුකරන දෛනික පිරිසිදු කිරීම් මගින් ඒ අපිරිසිදු දේ සම්පූර්ණයෙන් ඉවත්වන්නේ නැත. මෙහිදී මුළු නිවෙසේම ගෘහභාණ්ඩ පිටතට ගෙන කරන පිරිසිදු කිරීම් මගින් මුළු නිවෙසම අලුත් ජීව ශක්තියෙන් ප්‍රබෝධමත් වෙයි.
විශ්ව ශක්තිය
මේ සමඟ ම එන තවත් වැදගත් අංගයක් වන්නේ අලුත් අවුරුද්ද සඳහා කැවිලි නිවෙසේදීම පිළියෙළ කිරීමයි. අතීතයේ නම් ඒ සඳහා උපයෝගී කොට ගත්තේ අලුත් සහල් – ඖෂධීය කුළුබඩු සහ නිවෙසේම සාදාගත් පිරිසිදු පොල් තෙල් ය. මේ නැවුම් ද්‍රව්‍ය යොදා ගෙන සදන කැවිළි මගින් රසය ගුණය පමණක් නොව මුළු ගෘහ අභ්‍යන්තරයම මිහිරි සුගන්දයෙන් පිරී ඉතිරී යයි. ඒ සුවඳ ඔබේ මනස පමණක් නොව හාත්පස පරිසරය ම ප්‍රබෝධමත් කරයි. කඩේට දුවගොස් ගෙනෙන ලටපට කැවිලි වලින් ඒ කිසිවක් ම ඔබට හිමිවන්නේ නැත. අඩුම තරමින් සීනී හා පිටි මිශ්‍ර ලෙඩ කේක් ගෙඩියක් කඩෙන් ගෙනෙනවාට වඩා තම නිවසේම කොකිස් ටිකක්වත් සාදා ගැනීම ප්‍රයෝජනවත් ය.
අලුත් අවුරුදු උදාව සිදුවන විට ඔබ ඔබේ ම නිවෙසේ සිටිය යුතුය. සොබාදහම විසින් නොමිලේ ප්‍රදානය කරනු ලබන සූර්ය ජීව ශක්තියට නිදහසේ ඔබේ නිවස පුරා සැරිසරන්නට ඉඩ දෙන්න. ඒ අවස්ථාවේ ඔබ ඔබේ නිවෙස වසා දමා සුර ලොව සංචාරයකට ගොස් සිටියත් අලුත් අවුරුද්දේ අලුත් සූර්ය ශක්තියේ ජීවය ඔබට අහිමි වී යයි. ඇතැමුන් අවුරුදු සමරන්නේ සුපිරි හෝටලයක ය. ඇතැමුන් විනෝද සවාරී යයි. තවත් සමහරුන් අලුත් අවුරුද්ද සැමරීමට කතරගම යයි. මේවා මෑත කාලයේ බෝ කරගත් මරි මෝඩ නාඩගම් ය. අලුත් අවුරුද්ද දවසේ අසල්වාසීන් සමඟ හා මුසු වීමට ඇති මෝඩ අකමැත්ත නිසා හීනමානයෙන් යුතුව ඔබ ඔබේම නිවෙසින් පළා යන්නේ ඇයි? එවිට සිදුවන්නේ සමස්ථ ලෝකයම අලුත් ජීව ශක්තියෙන් ප්‍රබෝධමත් වෙමින් සිටියදී ඔබේ නිවෙස පමණක් දොර අගුලු වසා දමා අදුරු පාලු මූසල ස්වභාවයකට තල්ලු කිරීම පමණි. අලුත් අවුරුද්දේ ඇති තවත් විශේෂිත අංගයක් වන්නේ හිස තෙල් ගෑමයි. බොහෝ දෙනකු මෙහි ඇති වටිනාකම හරිහැටි වටහා නොගනී. එහෙත් එය ද අත නොහැර සිදුකළ යුතු නැකත් චාරිත්‍රයකි.
[rns_reactions]