රජය විසින් ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවිය තහනම් කිරීම තමන්ගේ මානව හිමිකම් කඩවීමක් යැයි පවසා ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි කිරීමට සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය කටයුතු කර තිබේ.
එම සංගමයේ සභාපති විසින් ජිනීවා මානව හිමිකම් කොමිසමට ලිපියක් මගින් සිදුවීම පිළිබදව පැමිණිලි කර තිබේ.
එම ලිපිය පහතින් ,
”පසුගිය 7 වැනිදා උදැසන සිට ලංකාවේ සිදුවන සමාජ ජාලා වෙබ් අඩවි තහනම් කිරීමට ආරක්‍ෂක අමාත්‍යාංශයේ ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා ගත් තීරණය මගින් මිලියන 4.5 ඉක්‌මවූ සමාජ ජාලා භාවිත කරන පුරවැසියන්ගේ මානව හිමිකම් කඩ කිරීමක් සිදුකර ඇති බැවින් නිතිය හා සාමය ඇමතිවරයාට හා ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට එරෙහිව මා විසින් ජිනීවා හි පිහිටි එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ පැමිණිල්ලක් කිරීමට 2018.03.09 දින පියවර ගනු ලැබීය.
මානව හිමිකම් උල්ලංඝනය කරන පුද්ගලයන්ට දඬුවම් කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට නීති ප්‍රතිපාදන අවම වීම නිසා හා විධිමත් පැමිණිලි විභාගයකට ප්‍රමාණවත් නිලධාරීන් ප්‍රමාණයක් නොමැති නිසා අදාළ පැමිණිල්ල කවුන්සලය වෙත ගෙන ඒමට තීරණය කළෙමි.
තහනම තුළින් නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට හා තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය තහවුරු කරනා ශ්‍රී ලංකාව අත්සන් කර තිබෙනා ජගත් මානව හිමිකම් ප්‍රකාශනයේ 19 වන වගන්තිය සම්පූර්ණයෙන්ම රජය කඩ කර ඇති බවට මම චෝදනා කරමි.
තෙල්දෙණිය හා රට තුළ ඇතිවන ජාතිවාදී සිද්ධීන් වලට මුල රජයේ දුර්වලතා හා පොලිසියේ දුර්වලතා බවද මා එහිදී පෙන්වා දෙයි. රජය විසින් සමාජ වෙබ් අඩවි තහනම් කිරීමෙන් එම සංවිධානාත්මක කණ්‌ඩායම් හට වාසියක් සිදුවූ බවද මා එහිදී පෙන්වා දෙයි. මන්ද පරිගණකය පිටුපස සිටි ෆේස්‌බුක් වීරයන් තහනම නිසා කුපිත වී පාරට බැස්‌සේය.”