ඉන්දීය ආණ්ඩුව ලංකාවට බලපෑම් කරන්න යයි සම්බන්ධන් මෝදිගෙන් ඉල්ලයි

ඉන්දීය ආණ්ඩුව ලංකාවට බලපෑම් කරන්න යයි සම්බන්ධන් මෝදිගෙන් ඉල්ලයි
Spread the love

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කඩිනමින් සකස් කරගැනීම වෙනුවෙන් ඉන්දියාව ලංකා රජයට දැඩි බලපෑම් කළ යුතු බව විපක්ෂ නායක ආර්. සම්බන්දන් මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍රසිංහ මෝදි මහතාගෙන් ඉල්ලා තිබේ.

මේ ඉල්ලීම කර ඇත්තේ කථානායක කරු ජයසූරිය මහතා ප්‍රමුඛ දූත පිරිසක් පෙරේදා ඉන්දියාවේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමු වූ අවස්ථාවේදීය.

එහිදී ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන වාතාවරණය පිළිබඳව විපක්ෂ නායක සම්බන්දන් මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර අදහස් හුවමාරු කරගත් අවස්ථාවේ වැඩිදුරටත් සම්බන්දන් මහතා මෙසේද සඳහන් කර ඇත.

“ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කඩිනමින් සම්මත කරගත යුතුව ඇත. එයට ඉන්දීය ආණ්ඩුව ලංකාවට බලපෑම් කළ යුතුයි. මෙම උත්සාහය අසාර්ථක වුවහොත් දෙමළ ජාතික සන්ධානයට වඩා ප්‍රබල නායකත්වයක් බිහිවීමට ඉඩ ප්‍රස්තාව උදාවනු ඇත. මා හට පාලනය කළ නොහැකි බලවේගයක් උතුර – නැඟෙනහිර පළාත්වල බිහිවනු ඇතැයි යන බය මට තිබෙනවා”.

“ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දෙමළ ජනතාවට තමන් ලංකාවේ පුරවැසියන් බව හැඟී යන්නේ නැහැ. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බව අපි ප්‍රකාශ කරන්නේ මේ නිසයි. මෙයට ඉන්දීය රජයේ සහයෝගයත් අනුග්‍රාහකත්වයත් අවශ්‍යයි”.

“තම උත්සාහය අසාර්ථක වුවහොත් උතුර – නැඟෙනහිර පළාත්වල නැවතත් ගැටලු ඇති විය හැකියි. මාත් ඉතා වයෝවෘද්ධ වියේ පසුවන්නෙක්. මම මේ ඉල්ලීම ඔබ හමුවේ කරන්නේ එවන් තත්ත්වයක සිටයි. මගේ මෙම ඉල්ලීම ඔබ උදාසීන ලෙස භාරගන්නේ නම් මා හටත් පාලනය කළ නොහැකි බලවේගයක් ගොඩනැඟෙනු ඇත” යැයි පවසා තිබේ.

මේ අවස්ථාවට කථානායක කරු ජයසූරිය, ගයන්ත කරුණාතිලක, මනෝ ගනේෂන්, නිමල් සිරිපාල ද සිල්වා, රවුෆ් හකීම් යන අමාත්‍යවරුද ඩග්ලස් දේවානන්දා සහ විජිත හේරත් යන මන්ත්‍රිවරුද සහභාගි වූහ.