ඉන්දීය සුපිරි ගායන ශිල්පී ‘එස්.පී බාලසුබ්‍රමනියම්’ දිවි සැරිය හැර යයි

ඉන්දීය සුපිරි ගායන ශිල්පී ‘එස්.පී බාලසුබ්‍රමනියම්’ දිවි සැරිය හැර යයි
Spread the love

අඩ සියවසකට වැඩි කලක් ඇතුළත 40,000 කට වැඩි ගීත සංඛ්‍යාවක් ගායනා කරමින් ලෝක වාර්තාවක් බිහි කළ ජනප්‍රිය ඉන්දීය ගායක එස්පී බාලසුබ්‍රමනියම් දිවි සැරිය හැර ගියේය.

ප්‍රේම ගීත සහ ජනප්‍රිය නර්තන ගීත ඇතුළු ඉන්දීය සිනමාවේ ජනප්‍රියම ගීත ගණනාවක්ම භාෂා 16 කින් ඔහු ගැයූ ගී ගොන්නට ඇතුළත් ය. ඔහු මිය යන විට 74 වෙනි වියේ පසුවිණි.

එස්පී බාලසුබ්‍රමනියම් මියගියේ කෝවිඩ්19 රෝගය වැළඳී දින කිහිපයක් දැඩි සත්කාර ඒකකයේ ගතකිරීමෙන් අනතුරුවය.

ගීත ලෝලීන්, ඉන්දීය තාරුකාවන් ඇතුළු බොහෝ දෙනා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඔහුට ප්‍රණාමය පළකරමින් සිටිති.

කොරෝනාවෛරසය ආසාදනය වීම හේතුවෙන් එස් පී බාලසුබ්‍රමනියම් මුලින්ම තමිල්නාඩුවේ චෙන්නායි නුවර රෝහලකට ඇතුළත් කරනු ලැබුවේ පසුගිය අගෝස්තු මාසය මුලදීය. පසුව සැප්තැම්බර් මුල සතියේ ඔහුට රෝගය සුව වී ඇතැයි පරීක්ෂණවලින් හෙළි වූ නමුත් දිගටම දැඩි සත්කාර ඒකකයේ රඳවනු ලැබ සිටියේය.

ඔහුගේ රසිකයන් ඔහු දැන සිටියේ එස්පීබී (SPB) නමිනි. දකුණු ඉන්දීය දෙමළ සහ තෙළුගු සිනමාවෙන් සිය ගීත චාරිකාව ආරම්භ කළ එස්පීබී, බොලිවුඩ් සිනමාවේ සාර්ථක වූ පළමු දකුණු ඉන්දීය ගායකයා බවට පත්විය.

ඔහු මියගිය බව අනාවරණය වීමත් සමඟම සිය මතකයේ රැඳුණු ඔහුගේ ගීත සිහිපත් කරමින් රසික රසිකාවියෝ සිය ජනප්‍රිය ගායකයාට ප්‍රණාමය පුදකරමින් සිටිති.

ගීත ගායනා කරන බව හඟවමින් නලුවන් නර්තනයේ යෙදෙන අතර ඔහුගේ ගීත මිමිනූහ. යුගයේ ඉහළම සංගීතවේදීන් වන ඒආර් රහ්මාන් සහ ඉලෙයිරාජා ගේ සංගීතයට ඔහුගේ මියුරු හඬ මුසුවිය.

එස් පී බාලසුබ්‍රමනියම්

1981 දී ජනප්‍රියම සිනමා සිත්තමක් වූ ‘ඒක් දුජේ කේ ලියේ’ (Ek Duuje Ke Liye) ප්‍රේම කතාවට සිය මියුරු හඬ මුසු කරමින් ඔහු බොලිවුඩයේ ජනප්‍රියම ගායකයන් අතරට එක්විය.

දකුණු ඉන්දීය උච්චාරණයක් ඇති ශිල්පියෙකු වුවද බොලිවුඩ් පුරවරයේ ජනප්‍රියම තාරුකාවක් බවට පත් වූ එස් පී බාලසුබ්‍රමනියම් සල්මාන් ඛාන් ඇතුළු බොහෝ තාරුකාවන්ගේ ‘ගායන හඬ’ බවට පත්විය.

1946 දී ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ නෙල්ලෝර් හි මධ්‍යම පාන්තික පවුලක උපත ලැබූ බාලසුබ්‍රමනියම් ගේ පියා ද ගායකයෙකු වූ නමුත් ඔහු ශාස්ත්‍රීය සංගීතය ඉගෙනීමට යොමු නොවීය.

ඒ වෙනුවට මදුරාසි (වර්තමානයේ චෙන්නායි) නගරය වෙත ගිය තරුණ බාලසුබ්‍රමනියම්, සිය මිතුරන් සමඟ එක්ව සංගීත කණ්ඩායමක් නිර්මාණය කළේය. පසු කලෙක ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ සංගීත ශිල්පියෙකු බවට පත් වූ ඉලෙයිරාජා ඒ කණ්ඩායමේ ගිටාර් වාදකයා විය.

එවක ප්‍රදේශයේ සිනමා සන්ගාත ශිල්පීන් විසින් ඔහුගේ දක්ෂතාව හඳුනාගන්නා විට ඔහු උසස් අධ්‍යාපන ආයතනයක ඉංජිනේරු විද්‍යාව හදාරමින් සිටියේය. එහිදී ඉංජිනේරුවෙකු වීම අත්හැර දැමූ ඔහු ගායනය තෝරා ගත්තේය.

1969 දී දෙමළ සිනමාවේ සුපිරි නලු එම්ජී රාමචන්ද්‍රන් වෙනුවෙන් ගීත ගායනය කිරීමත් සමඟ දකුණු ඉන්දීය සිනමාවේ ඔහුගේ පළමු සන්ධිස්ථානය සනිටුහන් කෙරිණ.

BBC