සංචාරක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් තරඟයෙන් කදුළු 8ක පහසු ජයක් ඉන්දියාව විසින් හිමි කර ගත්තේය. තරඟ 2-1ක් ලෙස මෙම තරඟාවලිය ජයගත් ඉන්දියාව නොකඩවා ලැබූ 8වන එක්දින තරඟාවලි ජය ලෙසට ඉතිහාස ගත වීමට නියමිතය.
එහිදී පළමුව ලකුණු රැස්කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 44.5ක් තුළ ලබාගත් ලකුණු 215ට පිළිතුරු සැපයූ ඉන්දීය කණ්ඩායම කඩුලු දෙකක් පමණක් අහිමි කරගනිමින් නියමිත ඉලක්කය පසු කර ගිය අතර, ෂිකර් දවාන් නොදැවී ලැබූ ලකුණු 100 ඉන්දීය ජයග්‍රහණයට ප්‍රධාන දායකත්වය සැපයීය.
ලකුණු 216ක පහසු ඉලක්කයක් කරා යන ගමනේ ඉන්දීය පළමු කඩුල්ල ලෙස පෙර තරගයේදී ලකුණු 208ක් ලැබූ නායක රෝහත් ෂර්මා ලකුණු 7කට අකිල ධනංජයට ගොදුරු වුණද අනෙක් ආරම්භක පිතිකරු ෂිකර් දවාන්ට එකතු වූ ශි්‍රයාස් අයියර් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 135ක සබඳතාවක් එක්කරමින් ඉන්දීය ජයග්‍රහණයට අවශ්‍ය මාර්ගය සකසා දුන්නේය.
විශාකාපට්නම්හිදී පැවැති මෙම තරගයේදී ඉන්දීය නායකයාගේ ආරාධනයෙන් පළමුව ලකුණු රැස්කළ ශ්‍රී ලංකා කණ්ඩායම එක් අවස්ථාවකදී එක් කඩුල්ලකට ලකුණු 136ක්ව පැවැතුණද උපුල් තරංගගේ හා සධීර සමරවික්‍රමගේ දැවී යෑමෙන් අනතුරුව සෙසු පිතිකරුවන් පෙන්වූ ඉතාමත් දුර්වල පිතිහරඹය සාර්ථක ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට තිබූ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමෙන් අහිමි කළේය.
කෙසේ වෙතත් දෙපිලම තරග එක බැගින් ජයග්‍රහණය කර ඇති හෙයින් කාසියේ වාසිය අතිශය වැදගත්කමක් දැක්වූ මෙම තරගයේ පළමුව ලකුණු රැස්කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් අතුරින් ලකුණු 13ක් ලබා සිටි ධනුෂ්ක ගුණතිලක බුම්රාගේ පන්දුවකට රෝහිත් ෂර්මාට ලබාදුන් උඩපන්දුවක් හමුවේ දැවී යනවිට ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 15ක් විය.
ගුණතිලකගේ දැවී යෑමෙන් අනතුරුව පැමිණි සධීර සමරවික්‍රම අනෙක් ආරම්භක පිතිකරුවා වූ උපුල් තරංග එක්ව ශ්‍රී ලංකා ලකුණු පුවරුව වේගයෙන් ඉදිරියට රැගෙන ගියේය.
මොවුන් දෙදෙනා පිටියේ සෑම දිශාවකටම පහර එල්ල කරමින් ඉන්දීය පන්දු යවන්නන්ට බලවත් හිසරදයක් බවට පත්වූ අතර, තරගයේ 9 වැනි පන්දුවාරයේදී උපුල් තරංග විසින් හාදික් පාන්ඩියාට පිට පිට හතරේ පහර පහක් සමඟින් ලකුණු 20ක් ලබාගැනීම විශේෂත්වයකි. මෙම පිතිහරඹය හේතුවෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ලකුණු 100 පන්දුවාර 17කදී වාර්තා විය.
ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 136ක් වෙද්දී තරංග සමඟින් හොඳින් පන්දුවට පහර දෙමින් සිටි සධීර සමරවික්‍රමගේ ඉනිම නිමාවට පත්විය. පන්දු 57කට මුහුණ දී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 42ක් ලබා සිටි සමරවික්‍රම චහාල්ගේ පන්දුවක් හමුවේ සීමාවෙන් ඉවතට පැන ඩීප් කවර් ස්ථානයට ඉහළින් පන්දුව එල්ල කිරීමට උත්සාහ කළද එම ස්ථානයේ පන්දු රකිමින් සිටි දවාන් අතට උඩපන්දුවක් දීමෙන් දැවී යනවිට තරංග සමඟින් දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 121ක අගනා වටිනා සබඳතාවක් ගොඩනඟා තිබිණි.
සමරවික්‍රමගේ දැවී යෑමෙන් අනතුරුව තරංගට එක්වූ මැතිව්ස් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 160 සීමාව වෙත ආවේය. මේ අවස්ථාවේදී එතෙක් හොඳින් ලකුණු අතර සිටි උපුල් තරංග ස්ටම්ප් කිරීමට ලක් කිරීමට දෝනි සමත් විය. පන්දු 82කට මුහුණ දී හතරේ පහර 12ක් හා හයේ පහර 3ක් සමඟින් දියත් කළ එම පිතිහරඹය ශතකය ආසන්නයේම එනම් ලකුණු 95කට සීමා කිරීමට කුල්දීප් යාදව් සමත් වීමත් සමඟ ශ්‍රී ලංකා ඉනිමේ කඩා වැටීම ආරම්භ විය.
කෙසේ වෙතත් උපුල් තරංග ලැබූ මෙම 95ත් සමඟින් ඔහු මෙම වසරේදී එක්දින ලකුණු 1000 (තරග 25කදී ලකුණු 1011) සම්පූර්ණ කළ ලොව තෙවැනියා බවට පත්වූ අතර, මෙහි පළමු තැන ඉන්දියාවේ විරාත් කෝලිටත් (තරග 26කදී ලකුණු 1460) දෙවැනි තැන රෝහිත් ෂර්මාටත් (තරග 20කදී 1286) හිමිව තිබේ.
තරංගගේ දැවී යෑමෙන් අනතුරුව පැමිණි කිසිදු පිතිකරුවකුට සාර්ථක වීමට ඉන්දීය පන්දු යවන්නන් ඉඩ ලබා නොදුන් අතර, මුලදී ලකුණු 300 සීමාවෙන් ඔබ්බට පහසුවෙන් යාහැකිව තිබූ ශ්‍රී ලංකා ඉනිම අවසානයේදී ලකුණු 220 සීමාවට පිවිසීමටවත් නොහැකි වූයේ තරංග හා සධීරගෙන් පසු පැමිණි පිතිකරුවන් පෙන්වූ ඉතාමත් දුර්වල පිතිහරඹය හේතුවෙනි.
ලකුණු 42කට කඩුලු 3ක් ලැබූ කුල්දිප් යාදව් තෙවැනි හා අවසන් තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත් අතර, ෂිකර් දවාන් තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.
ලකුණු සටහන
ශ්‍රී ලංකාව (පන්දුවාර 44.5කදී සියලු දෙනා දැවී) 215 (උපුල් තරංග 95, සධීර සමරවික්‍රම 42, අසේල ගුණරත්න 17, ඇන්ජිලෝ මැතිව්ස් 17, ධනුෂ්ක ගුණතිලක 13, නිරෝෂන් දික්වැල් 08, සචිත් පතිරණ 07, යාදව් 3/42, චහාල් 3/46, පාන්ඩියා 2/49)
ඉන්දියාව (පන්දුවාර 32.1කදී කඩුලු දෙකකට) 219 (ෂිකර් දවාන් නොදැවී 100, ශි්‍රයාස් අයියර් 65, දිනේෂ් කාර්තික් නොදැවී 26, රෝහිත් ෂර්මා 07, තිසර පෙරේරා 1/25, අකිල ධනංජය 1/53)