දෙපිලක වේග පන්දු යවන්නන් අතර සටනක් බවට පත්වූ ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර වේල්සයේ කාඩිෆ් නුවර ඊයේ පැවැති තරගය කඩුලු 3කින් ජයග්‍රහණය කළ පාකිස්තානය 2017 චැම්පියන්ස් කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසියේය. මේ සමගම ශ්‍රී ලංකාව තරගාවලියෙන් ඉවතට විසි විය.
ජයග්‍රහණය පෙනි පෙනී තිබියදී ශ්‍රී ලංකාව පරාජය වූයේ උඩ පන්දු අතහැරීම හා පන්දු රැකීමේ දුර්වලතාව නිසාවෙනි. ශ්‍රී ලංකාව වෙතින් ජයග්‍රහණය උදුරා ගත්තේ සාෆ්රාස් අහමඩ් හා මොහමඩ් අමිර් ය. මේ දෙදෙන 8 වැනි කඩුල්ල වෙනුවෙන් ඕවර 15ක් ඇතුළත අතිඅගනා ලකුණු 75ක නොබිඳි සබඳතාවක් ගොඩනගමින් පාකිස්තානය අවසන් පූර්ව වටයට ගෙන ගියේය. නියම නායක ඉනිමක් ක්‍රීඩා කළ සාෆ්රාස් අහමඩ් හතරේ පහර 5ක්ද සමග පන්දු 79කින් නොදැවී ලකුණු 61ක් රැස් කරමින් පාකිස්තානය ජයග්‍රහණය කරා ඇදගෙන ගියේය. ඔහුට නොමඳ සහායක් ලබා දුන් මොහමඩ් අමිර් හතරේ පහරක් සමග පන්දු 43කින් නොදැවී ලකුණු 28ක් ලබා ගත්තේය.
ලකුණු 237ක ජයග්‍රාහී ඉලක්කය හඹා යාමේදී පාකිස්තාන කඩුලු 7ක් ලකුණු 162කට බිඳ වැටී තිබුණද අහමඩ් හා අමිර් තරගයේ තවත් ඕවර පහයි පන්දුවක් ඉතිරිව තිබියදී පාකිස්තානය කඩුලු 3ක විශිෂ්ට ජයග්‍රහණයක් කරා ගෙන යාමට සමත් වූහ.
මේ තරගාවලියේ මීට පෙර ක්‍රීඩා කළ තරග දෙකේදී එකම කඩුල්ලක් හෝ ලබා ගැනීමට අසමත්ව සිටි වේග පන්දු යවන මොහමඩ් අමිර් ශ්‍රී ලංකා ඉනිම අගාධයට තල්ලු කිරීම ආරම්භ කරමින් පිට පිට ඕවරවලදී ඇන්ජලෝ මැතිව්ස් හා නිරෝෂන් දික්වැල්ල දවාලමින් ශ්‍රී ලංකා ඉනිමේ හදවත ඉරා දැමුවේය. අනතුරුව ජුනයිඩ් ඛාන් හා හසන් අලි ද මේ සංහාරයට එක්වෙමින් මැද පිතිකරු පෙලේ අග කොටසේ කඩුලු බිඳ දැමුවේය.
ඛාන් ලකුණු 40කට කඩුලු 3ක්ද, අලි ලකුණු 43කට කඩුලු 3ක්ද, අමිර් ලකුණු 53කට කඩුලු 2ක්ද ලබා ගත් අතර සිය මංගල ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයට ක්‍රීඩා කළ ෆහීම් අෂ්රෆ් ලකුණු 37කට කඩුලු 2ක් ලබා ගැනීමට සමත් විය.
ඉලක්කය හඹා යාමේදී අසාර් අලි හා ෆකාර් සමාන් පන්දු 52ක් ඇතුළත ඔවුන්ගේ සබඳතාව අර්ධ ශතකයකින් සම්පූර්ණ කර ගත්හ. මේ දෙදෙනාගෙන් වඩාත්ම ආක්‍රමණශීලී පිතිකරුවා වූ සමාන් මුලින්ම දැවී යාමට පෙර හතරේ පහර 8ක් හා හයේ පහරක් එල්ල කිරීමට සමත් විය. මුළු ලකුණු ප්‍රමාණය 74ක්ව තිබියදී නුවන් ප්‍රදීප්ගේ පන්දුවට ‘ෆයින් ලෙග්’ ස්ථානයේ පන්දු රකිමින් සිටි අසේල ගුණරත්න අතට සමාන් උඩ පන්දුවක් ලබා දීමත් සමග ආරම්භක කඩුලු සබඳතාව අවසන් විය. සමාන් පන්දු 36කින් ලකුණු 50ක් රැස් කළ අතර මෙය ඔහුගේ පළමු ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් අර්ධ ශතකය විය.
අහමඩ් හා මොහමඩ් අමිර් කල්පනාවෙන් යුතුව ලකුණු පුවරුවට එක් කරමින් මුළු ලකුණු සංඛ්‍යාව 194 දක්වා ගෙන එමින් සිටියදී 39 වැනි ඕවරයේදී අහමඩ් දවා ගැනීමට තිබූ අවස්ථාවක් තිසර පෙරේරාගේ දුර්වල පන්දු රැකීම හේතුවෙන් ශ්‍රී ලංකාවට අහිමිව ගියේය. එය පසුව ශ්‍රී ලංකා පරාජයට හේතු වූ එක් ප්‍රධාන සාධකයක් බවටද පත්විය. මාලිංගගේ පන්දුවට අහමඩ් කෙළින්ම ‘මිඩ් ඕන්’ ස්ථානයට ලබා දුන් ඉතාම පහසු උඩ පන්දුව අල්ලා ගැනීමට තිසර අසමත් විය. ඒ වන විට අහමඩ් ලකුණු 38ක් ලබා ගෙන සිටියේය.
මාලිංගගේ ඊළඟ ඕවරයේදී අහමඩ් ලබා දුන් තවත් උඩ පන්දුවක්ද ශ්‍රී ලංකාව වෙතින් ගිලිහිණි. මෙවර ඒ උඩ පන්දුව රැක ගැනීමට අසමත් වූයේ අතිරේක ක්‍රීඩක සීකුගේ ප්‍රසන්න ය. ඊට පසුව යැවුනු තෙවැනි පන්දුව මොහමඩ් අමිර්ගේ පිත්ත පැරදුවද එය කඩුලු රකින්නාගේ පාදයේ වැදී ගොස් හතරේ සීමාව පසු කළේය.
කාසියේ වාසිය දිනා ගත් පාකිස්තානයේ තීරණය වූයේ පළමුව පන්දු යැවීමය. ශ්‍රී ලංකාව කුසල් ජනිත් පෙරේරා වෙනුවට ධනංජය ද සිල්වා කණ්ඩායමට ඇතුළත් කර තිබූ අතර පාකිස්තානය ෂඩාබ් ඛාන් වෙනුවට ෆහීම් අෂ්රෆ් කැඳවා තිබිණි. දෙපිලම වේග පන්දු යවන්නන් සිවු දෙනෙකු බැගින් ඇතුළත් කරගෙන තිබිණි.
ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයක් 1983 වසරෙන් පසුව එංගලන්තයේදී ක්‍රීඩා කෙරුණු ප්‍රථම අවස්ථාව මෙය වූ අතර එහි 31 වැනි පන්දුවේදී ශ්‍රී ලංකා පළමු කඩුල්ල බිඳ වැටෙමින් දනුෂ්ක ගුණතිලක දැවී ගියේය. ඉන්දියාවට එරෙහි තරගයේදී ලකුණු 76ක ආක්‍රමණශීලී පිතිහරඹයක නිරත වෙමින් ශ්‍රී ලංකාවට ජය මාවත විවර කළ ගුණතිලකට ඊයේ රැස්කර ගත හැකිවූයේ ලකුණු 13ක් පමණි. නිරෝෂන් දික්වැල්ල සමග ඊළඟට එක්වූයේ ඉන්දියාවට එරෙහි තරගයේ වීරයා වූ කුසල් මෙන්ඩිස් ය.
මේ දෙදෙන වේගයෙන් ලකුණු රැස් කරමින් පන්දු 53ක් ඇතුළත ඔවුන්ගේ අර්ධ ශතක (ලකුණු 54) සබඳතාව වාර්තා කළහ. එහෙත් එම සබඳතාවට වැඩි ආයුෂ නොතිබිණි. පන්දු පහක් ඇතුළත තවත් ලකුණු 2ක් පමණක් එක්වෙද්දී හසන් අලිගේ වේග පන්දුව මෙන්ඩිස්ගේ පිත්ත පරදවමින් කඩුල්ලේ ගැටුනේය. ඉතාමත් දර්ශනීය පන්දුවක් වූ එය පිත්ත පරදවා මැද ඉන්න මුදුනේ ගැටෙන විට මෙන්ඩිස් ලබා ගෙන සිටියේ 27ක් පමණි.
දිනේෂ් චන්දිමාල් පන්දු දෙකකට පමණක් මුහුණ දී බින්දුවට දැවී ගියේය. ෆහීම් අෂ්රෆ්ගේ පන්දුව චන්දිමාල්ගේ පිත්තේ අග වැදී කඩුල්ලේ ගැටුනු අතර එය වේග පන්දු යවන අෂ්රෆ්ගේ මංගල ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් කඩුල්ල බවට පත්විය. ශ්‍රී ලංකාව කඩුලු 3යි..ලකුණු 83යි…ඕවරය 15.1යි.
දික්වැල්ල සමග ඕවර 16.1ක් ඇතුළත ලකුණු 78ක සබඳතාවක් ගොඩනගමින් සිටි මැතිව්ස්ගේ පිත්තේ අග යාන්තමින් ගෑවුනු පන්දුව කඩුල්ලේ ගැටීමත් සමගම මොහමඩ් අමීර් ට මේ තරගාවලියේ ඔහුගේ පළමු කඩුල්ල හිමි විය. එය තිස් දෙවැනි ඕවරයේ දෙවැනි පන්දුව විය. හතරේ පහර 2ක් හා හයේ පහරක් එල්ල කළ මැතිව්ස් පන්දු 54කින් ලකුණු 39ක් ලබා ගත්තේය.
අංක 9 පිතිකරු සුරංග ලක්මාල් ඔහුගේ හොඳම ඉනිම වාර්තා කරමින් පන්දු 34ක් ඇතුළත ලකුණු 26ක් රැස් කළේ හතරේ පහර 3ක්ද එල්ල කරමිණි. ලක්මාල් හා අසේල ගුණරත්න අටවැනි කඩුල්ල වෙනුවෙන් ඕවර 9යි පන්දු 3ක් ඇතුළත ලකුණු 46ක් එක් කළහ. හසන් අලිගේ පන්දුවෙන් ලක්මාල්ගේ ‘බේල්ස්’ ගැලවෙන විට යැවෙමින් තිබුනේ 45 වැනි ඕවරයයි.
[rns_reactions]