උතුරු නැගෙනහිර රාජ්‍ය භාෂාව දෙමළ භාෂාව විය යුතුයි – ආර්. සම්බන්ධන්

Spread the love

දැනට රටේ ක්‍රියාත්මක ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව තුළින් සිංහල හා දෙමළ භාෂාව රාජ්‍ය භාෂාව වන හෙයින් උතුරු නැගෙනහිර පළාත් දෙකේ රාජ්‍ය භාෂාව දෙමළ භාෂාව විය යුතු යෑයි දෙමළ ජාතික සංධානයේ නායක හා විපක්‌ෂ නායක ආර්. සම්බන්ධන් මහතා පැවැසීය

විපක්‌ෂ නායකවරයා එසේ කියා සිටියේ ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ පැවැති දිස්‌ත්‍රික්‌ සම්බන්ධීකරණ කමිටු රැස්‌වීම අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ සම්බන්ධන් මහතා මෙසේ කියා සිටියේය. වර්තමානයේ අපි ජාතික සමගිය සංහිඳියාව පිළිබඳව කතාකරනවා. අපි සියලු දෙනාම එක හා සමානයි කියනවා. නමුත් රැකියා අවස්‌ථා ලබා දීමේදී දෙමළ තරුණයන්ට අසාධාරණයක්‌ වනවා. මේ නිසා දෙමළ තරුණයන් කළ කිරීමට පත්වෙලා ඉන්නවා. මේ නිසා තවත් ප්‍රශ්නයක්‌ මතු වෙන්න පුළුවන්. ආණ්‌ඩුව දෙස තරුණයන් වෛරයෙන් බලන්න පුළුවන්. ඒ තත්ත්වය නැති කිරීමට නම් රැකියා ලබා දීමේදී ජන අනුපාතය මත කටයුතු කරන්න වෙනවා.

අලුතෙන් හදන ව්‍යවස්‌ථාව පිළිබඳව රටේ කතා වෙනවා. රට බෙදනවා කියනවා පෙඩරල් ක්‍රමයක්‌ දෙන්න යනවා කියනවා. දකුණේ සිංහල ජනතාව විවිධ ප්‍රචාරයන් ගෙනියනවා. නමුත් ව්‍යවස්‌ථාව කෙටුම්පත් කරලාවත් නැහැ. මේවා තියෙන්නේ සාකච්ඡා මට්‌ටමේ විතරයි. හැබැයි බලය බෙදීමක්‌ අවශ්‍යයි. ඒ දෙය සිදුවිය යුත්තේ නොබෙදුණු ඒකීය රටක්‌ තුළයි. එහෙම නැතිව අපි වෙනම රාජ්‍යයක්‌ ඉල්ලන්නේ නැහැ ජනාධිපතිතුමා අගමැතිතුමා පිළිබඳව අපේ විශ්වාසයක්‌ තිබෙනවා මේ ප්‍රශ්නවලට විසඳුමක්‌ දෙයි කියලා.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව තුළ දෙමළ හා සිංහල භාෂාවන් රාජ්‍ය භාෂාවන් ලෙස පිළිගෙන තිබෙනවා. රටේ සෙසු පළාත් හතේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස භාවිතා වන හෙයින් උතුරු නැගෙනහිර පළාතේ බහුතරයක්‌ වෙසෙන දෙමළ කතා කරන අය වෙනුවෙන් ඒ පළාත් දෙකෙහි රාජ්‍ය භාෂාව දෙමළ භාෂාව විය යුතු යෑයි පැවැසීය.

මෙම අවස්‌ථාවට රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචි නිලමේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අබ්දුල්ලා මහරුෆ්, ඉම්රාන් මහරුෆ්හා තුරෙයිරත්නසිංහම් යන මහත්වරුද එක්‌ව සිටියහ