එදා තග්ලගෙන් ගණන් පිට තඟ දැමූ ගණන් සර් අද මාධ්‍ය ඉදිරියේ සමීකරණ විසඳු හැටි

එදා තග්ලගෙන් ගණන් පිට තඟ දැමූ ගණන් සර් අද මාධ්‍ය ඉදිරියේ සමීකරණ විසඳු හැටි
Spread the love

කළගෙඩිහේනේදී වෑන් රථයකට පහරදීමේ සිද්ධියට තමන් වැරදියැයි පිළිගන්නා බව ගණිත ආචාර්ය දිනේෂ් නුවන් අමරතුංග ප්‍රකාශ කරයි.

අද (05) අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ ගුරුවරයා ඇතුළු 8 දෙනාට ඇප ලබා දීමට තීරණය කළ අතර එහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් සිය අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ අදාළ සිදුවීම අහඹු සිදුවීමක් බවත් මාධ්‍ය විසින් ඒ සඳහා වැඩි ප්‍රචාරණයක් ලබා දුන් බවයි. ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඔහුට විවිධ පාර්ශව විසින් ඉල්ලීම් සිදු කළ බවත් කෙසේ වෙතත් තමන්ට ඒ සඳහා බලාපොරොත්තුවක් නොතිබු බවත් ඔහු ප්‍රකාශ කළේය. දැනට ඒ පිළිබඳ තමන්ට සූදානමක් නැති බවත් ඉදිරියේ දී එවන් අදහසක් ඇතිවේදැයි කිව නොහැකි බවත් ඔහු පැවසීය.

තමන් ජාත්‍යන්තර දේශන පවත්වන අයෙකු බවත් දෙස් විදෙස් උපාධි හදාරා ඇති බවත් පැවසූ ඔහු තම දේශන සඳහා මෙම සිදුවීමෙන් බාධාවක් එල්ල නොවන බවත් කියා සිටියේය. තමන්ට ඇතිවිය හැකි තර්ජන සඳහා තම ගෝලයන් ලෙස පිරිසක් සිටි බවත් එම පිරිස ප්‍රභූ ආරක්ෂකයින් ලෙස හැඳින්විය නොහැකි බවත් අදාළ දේශකයා කියා සිටියේය.

මෙම සැකකරුවන් පසුගිය මස 29 වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දක්වා යළි රක්ෂිත බන්ධනගාරගත කරනු ලැබීය. කළගෙඩිහේන ප්‍රදේශයේදී වෑන් රථයකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ගණිත ආචාර්ය දිනේෂ් අමරතුංග ඇතුළු 8දෙනා පසුගියදා රක්ෂිත බන්ධනාගාරගත කළේය.

පසුගියදා කොළඹ – නුවර මාර්ගයේ කලගෙඩිහේන ප්‍රදේශයේදී ප්‍රභූ රථයකින් සහ ප්‍රභූ ආරක්ෂක රථයකින් පැමිණි පිරිසක් විසින් වෑන් රථයක් නවතා එම රථයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සැකකරුවන්ට චෝදනා එල්ල වී තිබේ.