ඒකාබද්ධය සෙංකෝලය පැහැරගැනීමට තැත්කරයි…. – විමල්ට හා රනවීරට දැඩි ලෙස අවවාද කරයි

ඒකාබද්ධය සෙංකෝලය පැහැරගැනීමට තැත්කරයි…. – විමල්ට හා රනවීරට දැඩි ලෙස අවවාද කරයි
Spread the love

එල්. ටී. ටී. ඊ. යට පක්‍ෂව උතුරේදී අදහස්‌ පළ කළ ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මියගේ මන්ත්‍රී ධුරය වහා තහනම් කරන ලෙසට බල කරමින් සභා ගැබ තුළ ඝෝෂා කළ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් සෙංකෝලය පැහැර ගැනීමට වේත්‍රධාරීවරයා සහ නියෝජ්‍ය වේත්‍රධාරීවරයා සමඟ පොරබැදීම නිසා කථානායක කරු ජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තුව අද (04) පස්‌වරුව දක්‌වා කල් තබන ලදී.

විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමැතිවරියට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් සභා ගැබ මැදට පැමිණ කෑකෝ ගසමින් විරෝධය පළ කිරීම නිසා පාර්ලිමේන්තු රැස්‌වීම පැයකුත් විනාඩි විසිපහක කාලයකට සීමා විය. පස්‌වරු 1.00 ට ආරම්භ කළ පාර්ලිමේන්තු රැස්‌වීම පස්‌වරු 2.25 ට කල් තැබීමට කථානායකවරයාට සිදුවූ අතර මේ කාලය තුළදී මන්ත්‍රීවරුන්ගේ කලහකාරී හැසිරීම පාලනය කිරීම සඳහා එක්‌වරක්‌ විනාඩි දහයක පමණ කාලයකට සභාව අත්හිටුවීමට ද කථානායකවරයා කටයුතු කළේය.

ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් සභා ගැබ මැදට වී ඝෝෂා කරන අවස්‌ථාවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සභා ගැබෙහි සිටියේ නැත. “අගමැතිතුමාට එන්න කියාපිය මේවට උත්තර දෙන්න කියාපිය” යනුවෙන් කෑගැසූ මන්ත්‍රීවරු කලා කලා විජයකලා යූඑන්පීය ඉවර කළා…” යෑයි ශබ්දනගා කියමින් කෑගැසූහ.

විමල් වීරවංශ මහතා සහ ප්‍රසන්න රණවීර මහතා මුලසුනට බැණ වදිමින් හැසිරීම නිසා කථානායකවරයා විසින් එම මන්ත්‍රීවරුන් දෙපළට තරයේ අවවාද කළත් ඔවුහු එය නොතකා විරෝධය පළ කළහ.

එල්. ටී. ටී. ඊ. සංවිධානය යළි හිස එසවිය යුතු බවට විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමැතිවරිය උතුරේ රැස්‌වීමකදී කළ ප්‍රකාශය හෙළා දකිමින් පළමුව සභා ගැබෙහිද අදහස්‌ දැක්‌වූයේ එක්‌සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රී එස්‌. එම්. මරික්‌කාර් මහතාය. ඒ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට අධ්‍යාපන ඇමැති සහ එක්‌සත් ජාතික පක්‍ෂයේ මහලේකම් අකිල විරාඡ් කාරියවසම් මහතා පිළිතුරු දෙන අවස්‌ථාවේදීය.

ඔබතුමා කැබිනට්‌ සාමාජිකයෙක්‌ වගේම එක්‌සත් ජාතික පක්‍ෂයේ මහලේකම්වරයා. විජයකලා මහේෂ්වරන් ඇමැතිවරිය ජාති ෙද්‍රdaහී, ව්‍යවස්‌ථා විරෝධී ප්‍රකාශයක්‌ කර තිබෙනවා. අපි ඒක හෙළා දකිනවා වගේම ඊට විරුද්ධ වෙනවා. ඇය පළ කළේ රජයේ මතය ද නැත්නම් එක්‌සත් ජාතික පක්‍ෂයේ මතය දැයි එජාප මන්ත්‍රී එස්‌. එම්. මරික්‌කාර් මහතා අකිල විරාඡ් කාරියවසම් ඇමැතිවරයාගෙන් විමසුවේය.

මෙය එජාපය ලෙස සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍ෂේප කරනවා. මහ ලේකම් ලෙස මම මහේෂ්වරන් ඇමැතිවරියගෙන් දුරකථනය ඔස්‌සේ මේ ගැන විමසුවා. ඒ වෙලාවේ තිබුණු හිතේ අමාරුවට, දැරියක්‌ ඝාතනය කිරීම සම්බන්ධව හිතේ අමාරුවට එවැනි ප්‍රකාශයක්‌ කළා කියා ඇය කිව්වා. (ඝෝෂා) පක්‍ෂයක්‌ ලෙස අපි මෙය ප්‍රතික්‍ෂේප කරනවා. පසුගිය දවසක හිට්‌ලර්ව උදාහරණයට අරගෙන නායකයන්ට සමාන කළා ඒ වගේ එකක්‌ තමයි මේකත් (ඝෝෂා)

මේකට වාදයක්‌ ගන්න බෑ. යෑයි ඝෝෂාව මැද කථානායකවරයා කියද්දී එයාට හිතේ අමාරුව තියෙනවා නම් අපේ කොළොන්නාව පැත්තේ තියෙනවා අංගොඩ මානසික රෝහල. ඒකට එන්න පුළුවන්. යෑයි එජාප මන්ත්‍රී මරික්‌කාර් මහතා යළි පැවසුවේය.

මේ අවස්‌ථාවේදී සභාව තුළ දැඩි ඝෝෂාකාරී තත්ත්වයක්‌ හට ගත්තේය. ඒ අතරතුරදී රීති ප්‍රශ්නයක්‌ මතු කරමින් නැගී සිටි විමල් වීරවංශ මන්ත්‍රීවරයා 

අපි මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස පත්වුණාම දිවුරුම් දෙනවා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව, රටේ ඒකීයභාවය රැකීමට සහ ත්‍රස්‌තවාදය ප්‍රවර්ධනය නොකර සිටීමට. දැන් මේ මන්ත්‍රීවරිය රාජ්‍ය ඇමැතිවරියක්‌…ඇමැතිවරුන් දෙදෙනෙක්‌ ඉන්න වේදිකාවක එල්. ටී. ටී. ඊ. ය නැවත ගොඩනඟන්න ඕනෑය කීමෙන් ත්‍රස්‌තවාදය ප්‍රවර්ධනය කිරීමක්‌, ව්‍යවස්‌ථාව උල්ලංඝනය කිරීමක්‌ සිදුකර තිබෙනවා. (ඝෝෂා) තවදුරටත් එතුමියට අයිතියක්‌ නෑ මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න. මේ සභාව තුළ ඉඳගෙන ත්‍රස්‌තවාදය ප්‍රවර්ධනය කරන්න දෙන්න බෑ. එතුමියගේ හිතේ අමාරුවට වෙන මොකක්‌ හරි කරගන්න කියන්න…යෑයි විමල් වීරවංශ මහතා කීවේය.

මේ අවස්‌ථාවේදී නැඟී සිටි දයාසිරි ජයසේකර මහතා,

“පැහැදිලිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්‍ෂණයක්‌ කරලා ඇයට එරෙහිව තීන්දුවක්‌ ගත යුතුයි. ඒ වගේම මේ පාර්ලිමේන්තුව එතුමියට තහනම් කළ යුතුයි…පැහැදිලිව රට බෙදන ප්‍රකාශයක්‌ කර තිබෙන්නේ. විනාශ කරලා දාපු එල්. ටී. ටී. ඊ. ය නැවත නැගිටුවන්න පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කතා කරනවා නම් ඔවුන්ව පාර්ලිමේන්තුවෙන් එළවා දැමිය යුතුයි”. යෑයි කීය.

“යුද්ධය ඉවරවෙලා බොහෝම අමාරුවෙන් දුක්‌ විඳපු රටක්‌ අපි. අපේ මතය තමයි එවන් ප්‍රකාශයක්‌ කරලා ආණ්‌ඩුවේ ඇමැති ධුරයක්‌ දැරීම අමාරුයි. අපි කියන්නේ ඇයට ඇමැති ධුරයෙන් ඉවත්වෙන්න කියලා…” යෑයි එජාප මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා කීවේය.

මේ අවස්‌ථාවේදී පාර්ලිමේන්තුවේ කටයුතු ඉදිරියට ගෙන යැමට කථානායකවරයා කටයුතු කළේය. එහෙත් ඊට විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ඝෝෂා කළේ විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය සම්බන්ධයෙන් විනය කටයුතු පවත්වන ලෙසයි.

“ඒකට ඉතින් මට කරන්න දෙයක්‌ නෑ…පක්‍ෂය තීරණය කළ යුතුයි…” යෑයි කථානායකවරයා කීවේය. මොකක්‌ද ගන්න පියවර…” යෑයි ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්‌ සමඟ සභාව මැදට විත් මුලසුන ඉදිරිපස සිට විමල් වීරවංශ මහතා කථානායකවරයාගෙන් ඇසුවේය.

“සාකච්ඡා කරලා තීරණයක්‌ ගන්නම්” කථානායක කීවේය. එවිට මන්ත්‍රීවරු යළි කෑ ගසමින් කථානායකවරයාට බල කළේය.

“මම තීරණයක්‌ ගන්නම්…මේක ඉතාම බරපතළ ප්‍රශ්නයක්‌ බව මම දන්නවා…මෙතැන පුටුවේ ඉඳලා මට තීරණයක්‌ ගන්න බෑ. එහෙම නම් මට පාර්ලිමේන්තුව නතර කරන්න වෙනවා. මට තර්ජනය කරලා මේක කරන්න බෑ. පක්‍ෂ නායකයෝ එක්‌ක මම කතා කරන්නම්…ඉතා බරපතළ තීරණයක්‌…කරුණාකරලා දැන් ගිහිං ඉඳගන්න” යෑයි කථානායකවරයා කීය.

මේ අවස්‌ථාවේදී විවිධ පාඨ කියමින් මන්ත්‍රීවරුන් මුලසුන ඉදිරිපස සිට කෑගසද්දී විමල් වීරවංශ මහතා කථානායකවරයාට යමක්‌ කීවේය.

“වීරවංශ මන්ත්‍රීතුමා…මම ඔබතුමාට කියනවා ආපහු වාඩිවෙන්න කියලා…මේක රඟමඬලක්‌ කරගන්න එපා…” කථානායකවරයා යළි මන්ත්‍රීවරුන්ට කීවේය.

“අගමැතියට එන්න කියාපිය…මේවට උත්තර දෙන්න කියාපිය…” යෑයි කියමින් මන්ත්‍රීවරු කෑ ගැසූහ. ජවිපෙ සහ ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රීවරු සභාගැබෙහි දක්‌නට නොවීය. “පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුවනවා” යෑයි කියමින් කථානායකවරයා මුලසුනෙන් නැගිට ගියේය.

පාර්ලිමේන්තුව අත්හිටුවූව ද මන්ත්‍රීවරු ඝෝෂා කරමින් සභාගැබ මැද රැඳී සිටියහ. එජාප මන්ත්‍රීවරු ද මේ අවස්‌ථාවේ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් සමඟ තැන තැන සාකච්ඡා කරන අයුරු දක්‌නට ලැබිණි.

විනාඩි දහයකට පමණ පසු යළි සභාව රැස්‌වූහ. මන්ත්‍රීවරුන්ගේ ඝෝෂාව යළි වැඩිවන්නට විය.

“සුළු වේලාවකට හෝ පාර්ලිමේන්තුව අත්හිටුවීමට සිදුවීම ගැන කනගාටු වෙනවා…”යෑයි කී කථානායකවරයා “මේ සිද්ධිය කථානායකවරයාට බලපාන සිද්ධියක්‌ නොවේ. දේශපාලන පක්‍ෂ තියෙනවා…දේශපාලන නායකයෝ ඉන්නවා…මම දැන් අගමැතිතුමාට කතා කළා. අගමැතිතුමා මේ ගැන පරීක්‍ෂණයක්‌ කරන බව කිව්වා…” යෑයි කීය.

“මේ සම්බන්ධව ඉදිරි පියවර ගැනීමට අපි අගමැතිතුමා සමඟ සාකච්ඡා කරනවා…” යෑයි සභානායක ලක්‍ෂමන් කිරිඇල්ල මහතා කීවේය.

“හරි දැන් ඉවරයි…අපි වැඩකටයුතු කරගෙන යමු…” යෑයි කථානායකවරයා කීවේය. සභාගැබ සිටි මන්ත්‍රීවරු යළි කෑ ගැසූහ.

“විමල් වීරවංශ මන්ත්‍රීතුමා මතක තියාගන්න…මේ පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න කියපු කට්‌ටිය ඉන්නවා. පාර්ලිමේන්තුව ගිනි තියන්න කියපු අය ඉන්නවා” යෑයි කථානායකවරයා කියද්දී මන්ත්‍රීවරු පෙරට වඩා ශබ්ද නඟා කෑගසන්නට වූහ.

එවිට එජාප මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ නැගී සිට යමක්‌ කීමට උත්සාහ කළහ.

මේ ගැන අගමැතිතුමා ප්‍රකාශයක්‌ කරයි. කථානායක ලෙස මට කරන්න දෙයක්‌ නෑ. යෑයි කථානායකවරයා කීය.

මේ සිද්ධිය පාර්ලිමේන්තුවට බෝම්බ ගහනවා වගේ සිද්ධියක්‌ නොවේ. රටේ වගකිවයුතු ඇමැති ධුරයක්‌ දරන එජාපයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත්වූ මන්ත්‍රීවරියක්‌ තවත් ඇමැතිවරු දෙදෙනෙක්‌ ඉදිරියේ කළ ප්‍රකාශයක්‌. වගේම අපි දිවුරුම් දෙනවා මේ රට බෙදන්න දෙන්නේ නෑ කියා. කථානායක ලෙස ඔබතුමාට වගකීමක්‌ තියෙනවා විනය පරීක්‍ෂණයක්‌ කර මන්ත්‍රි ධුරය අත්හිටුවන්න………….” යෑයි රතන හිමියෝ කීහ. “ඒවා කරනවා…….” යෑයි කථානායක කීය.

විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරු දිගටම ඝෝෂා කළහ.

පාර්ලිමේන්තුවේ වැඩකටයුතු කළ යුතුයි. විමල් වීරවංශ මන්ත්‍රීතුමා මෙතැන ඇවිල්ලා සෙල්ලම් කළා. මේක විහිළුවක්‌ කරගන්න එපා. පාර්ලිමේන්තුවේ විනයක්‌ තියෙනවා. අගමැතිතුමා පක්‍ෂ නායක ලෙස පියවරක්‌ ගනියි. පාර්ලිමේන්තුව වෙනුවෙන් මම පියවර ගන්නවා. ඉස්‌සෙල්ලාම ඒ ඇමැතිවරිය සොයාගත යුතුයි ඒකට ඉඩදෙන්න.

මේ අවස්‌ථාවේදී ප්‍රසන්න රණවීර සහ විමල් වීරවංශ යන මන්ත්‍රීවරු කථානායකවරයා වෙත අත දිගු කරමින් කෑ ගැසූහ.

මට විමල් වීරවංශ මන්ත්‍රීතුමාව නම් කරන්න සිද්ධ වෙනවා……….. ගිහින් ඉඳගන්න….. මේක පාර්ලිමේන්තුව…… කථානායකවරයා කියද්දී “ඒකාධිපති” යෑයි ප්‍රසන්න රණවීර මහතා කීවේය.

මම ඒකාධිපතියෙක්‌ නොවෙයි. එතුමියව මම කැඳවා පරීක්‍ෂණ කරනවා. මම විනය පරීක්‍ෂණයක්‌ කරනවා. වීරවංශ මන්ත්‍රීතුමාගේ මුඛය පරීක්‍ෂා කර ගන්න. ඉතා කැත විදිහට කතා කරනවා. උගත් මිනිස්‌සුනේ ඉන්නෙ. මට කරන්න ඉඩ දෙන්නෙ නෑනේ” යෑයි කථානායක කීවේය.

මේ සිද්ධිය ගැන විනය පරීක්‍ෂණයක්‌ තියමු. සියලු දෙනාටම අදහස්‌ ප්‍රකාශ කරන්න දෙමු යෑයි කථානායක කීය.

ඔව් ඒක හොඳයි………” යෑයි කී කතානායක මෙතැන නටන්නේ නැතිව ඉඩ දෙන්න…….මම දන්නවා කළ යුතු දේ. ඔබ තුමා දැන් පාවිච්චි කළ වචන ඉතාම අශෝබනයි. විමල් වීරවංශ ගැන මම ලැඡ් වෙනවා. මේක නාඩගමක්‌ කර ගන්න එපා යෑයි කථානායකවරයා කීවේය.

මහේෂ්වරන් මන්ත්‍රිවරියගේ මන්ත්‍රී ධුරය සති දෙකකට අත්හිටුවන්න. පරීක්‍ෂණයක්‌ කරන්න. විමල් වීරවංශ මහතා කීවේය.

හරි ඒක කරන්න මට ඉඩදෙන්න මම ඒකාධිපතියෙක්‌ නොවේ. කලින් ටේප් එක අහලා බලන්න ඕනේ. (ඝෝෂා) වීරවංශ මන්ත්‍රීතුමා පහත් ලෙස හැසිරුණා. ඉතා නින්දිත ලෙස හැසිරුණා යෑයි කතා නායකවරයා කියද්දී මොකද්ද කිව්වේ යෑයි විමල් වීරවංශ මහතා ඇසුවේය.

ඇහුනේ නැත්නම් කන සුද්ධ කර ගන්න. ඔබතුමාව නම් කරන්න වෙනවා. බෝම්බ ගහන කතාවකුත් කිව්වා මෙයා තමයි සුදනා යෑයි කථානායකවරයා කියද්දී ප්‍රසන්න රණවීර මහතා ද ඝෝෂා කරන්නට විය.

මේක කැලණිය නොවේ……….චණ්‌ඩියෙක්‌ වගේ හැසිරෙන්න එපා. අත් උස්‌ස උස්‌ස කතාකරන්න එපා. යෑයි කී කතානායකවරයා ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයාට අවවාද කළේය.

මේ අවස්‌ථාවේදී රණවීර මහතා සෙංකෝලය අසලට ආවේය. වේත්‍රධාරි අනිල් පරාක්‍රම සමරසේකර මහතා නියෝජ්‍ය වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු සහ සහකාර වේත්‍රධාරී කුෂාන් ජයරත්න යන මහත්වරු සෙංකෝලය ආරක්‍ෂා කරමින් සිටියහ. ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා වේත්‍රධාරිවරයාට බැණ වදින ආකාරය දක්‌නට ලැබිණි.

එය දුටු කථානායකවරයා ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයාට තරයේ අවවාද කළේය.

ප්‍රසන්න රණවීර මන්ත්‍රී තුමාව මට අයින් කරන්න වෙනවා. දෙවැනි වතාවට කියන්නේ රණවීර මන්ත්‍රීතුමා අයින් වෙනවාද නැද්ද……….” යෑයි කථානායකවරයා කියද්දී රණවීර මහතා සෙංකෝලය පැහැර ගැනීමට තැත් කළේය. ඒ සඳහා ඔහු වේත්‍රධාරීන් සමඟ පොර බැදුවේය.

පාර්ලිමේන්තුව කල් දමනවා යෑයි කී කථානායකවනරයා මුලසුනෙන් නැඟිට යද්දී වේත්‍රධාරිවරයා සෙංකෝලය රැගෙන ගියේ පාර්ලිමේන්තුවේ කථානායකවරයාට වම්පසින් තිබෙන පැති දොරටුවකිනි. මේ අවස්‌ථාවේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිනාමුසුව සභාගැබට පැමිණියේය. එවිට සභාව කල්තබා අවසන්ය. ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරු අගමැතිවරයා වටකරගෙන සාකච්ඡා කිරීමට පටන් ගත්හ.