කැබිනට් සංශෝධනය අද – සියලු ඇමතිවරු ජනපති ලේකම් කාර්යාලයට කැඳවයි

කැබිනට් සංශෝධනය අද – සියලු ඇමතිවරු ජනපති ලේකම් කාර්යාලයට කැඳවයි
Spread the love

කැබිනට් සංශෝධනය අද දිනයේදී සිදු කෙරෙනු ඇති බවට වාර්තා වනවා. අද (25) පෙරවරු 11ට ජනාධිපති ලේකම් කාර්යාලයට සියලු ඇමතිවරු කැඳවා ඇති බව සඳහන්. අමාත්‍ය මණ්ඩල සංශෝධනය ලබන ඉරිදා දින සිදුවනු ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න (23) පැවසීය. සේනරත්න මහතා එලෙස කීවේ  කළුතර මහ රෝහලේ පැවැති උත්සවයකට සහභාගී වෙමිනි.

ඒ සම්බන්ධයෙන් ඊයේ දිනයේද දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා.

අද  (25) දින කැබිනට් සංශෝධනයක් වෙන බවත් අද ඇමති හෙට මන්ත්‍රී විය හැකි බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහා ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා ඊයේ (24) දින අගුණකොළපෑලැස්සේ පැවති උත්සවයකදී පැවසීය.දක්ෂයන්ට තැනක් හිමි වෙන කැබිනට් සංශෝධනයක් සිදු වෙනු ඇති බවට රටේ ජනතාව බලා පෙරොත්තු වෙන බවත් ඒ අනුව කටයුතු කිරීම ජනාධිපතිවරයාගේ අරමුණ බවත් ඇමතිවරයා පැවසීය.

මේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පළ කළ අමාත්‍ය මනෝ ගනේෂන් මහතා කියා සිටියේ 25 උදෑසන 11ට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙන ලෙසට ආරාධනා කර තිබෙන බවයි. සිදුවන සංශෝධනයන් මොනද යන්න තමා නොදන්නා බවත් එය දන්නේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා බවයි ඔහු කියා සිටියේ. එසේම පසුගිය මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට කණේ පහරක් එල්ල කර ඇති බවට පාඨලි චම්පික රණවක මහතා කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම පිලිගන්නා බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා. එම නිසා කැබිනට් සංශෝධනය කිරීමේදී මූණු මාරු කරලා, ඔළුගෙඩි මාරු කරලා ෂේප් න්‍යායෙන් කටයුතු කළ නොහැකි බවත් සැබෑ ලෙසම කැබිනට් සංශෝධනයක් කළ යුතු බවයි ඔහු පවසන්නේ. එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් අවදානයට ගනු ඇතැයි තමා විශ්වාස කරන බවද අමාත්‍යවරයා කියා සිටියා.

බලංගොඩ ප්‍රදේශයේදී නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණ විතාන මහතා ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කරමින් කියා සිටියේ කැබිනට් සංශෝධනය හෙට සිදුවන බවත් තමාටද පැමිණෙන ලෙසට ආරාධනා කර ඇති බවයි ඔහු කියා සිටියේ. අමාත්‍ය ධුරයේ වෙනසක් වන්නේදැයි කළ විමසීමට පිළිතුරු ලබාදෙමින් ඔහු කියා සිටියේ එය කෙසේ වන්නේදැයි නොදන්නා බවත් ඕනෑම අමාත්‍යංශයක වැඩ කිරීමට කැමති බවද ඔහු කියා සිටියා. තමා නියෝජ්‍ය අමාත්‍යවරයකු බවත් ඇමැතිකම් ඉල්ලන්නේ නැති බවත් නියෝජ්‍ය ඇමැතිවරු නියෝජ්‍ය ඇමැතිවරු ලෙස සිටීමට කැමැත්තෙන් පසුවන බවයි ඔහු කියා සිටියේ. අධිකරණ අමාත්‍ය ධුරයට කරු පරණවිතාන මහතාගේ නම යෝජනා වී ඇතැයි ඇති ආරංචි  සම්බන්ධයෙන්ද ඔහු අදහස් දැක්වූවා. එහිදී ඔහු කියා සිටියේ තමාට වඩා සුදුසුකම් සහිත අයවළුන් සිටින බවත් තමා නිලධාරියෙක් ලෙස එහි සේවය කර ඇති බවත්ය.